Spread the News

ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන්
කුමාර් : දිමුතු නිදහස්‌ කළ යුතුයි

-අනුර කුමාර දිසානායක
source:
අජිත් අලහකෝන්, ඡායාරූපය-ධම්මික සල්වතුර

ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් කුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල වහා නිදහස්‌ කළ යුතු බවට ආණ්‌ඩුවට බලකරන බව ජනතා විමුක්‌ති පෙරමුණේ දේශපාලන මණ්‌ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ (08) ප්‍රකාශ කළේය.

ආණ්‌ඩුවට එරෙහිව මත දරන පුද්ගලයන් පැහැර ගැනීම ආණ්‌ඩුව විසින් නීතියේම නිළ නොවන අංගයක්‌ බවට පත්කර ඇතැයි කී දිසානායක මහතා රට තුළ, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර නිදහස්‌ පරිසරයක්‌ වෙනුවට ආණ්‌ඩුව මර්දනය දියත් කරමින් සිටින්නේ යෑයිද කීය.

මාධ්‍ය වාර්තාවකට අනුව පසුගිය මාස දෙක තුළ පමණක්‌ පුද්ගලයන් විසිනවදෙනකු පැහැරගෙන ඇතැයිද කී අනුර කුමාර දිසානායක මහතා ආණ්‌ඩුව තම බලය උදෙසා ප්‍රජාතන්ත්‍රවාදය අවුරමින් කටයුතු කරන බවද කීය.

සුදුවෑන් සංස්‌කෘතිය රටේ නිළ නොවන නීතියක්‌ බවට පත්ව ඇතැයිද ඒ පිළිබඳ කිසිම පරීක්‍ෂණයක්‌ සිදු නොකරන ආණ්‌ඩුවේ මෙම ක්‍රියා පිළිවෙතට එරෙහිව ජනතාව පෙළ ගැසිය යුතු යෑයිද ඔහු කීවේය.

පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ සමුළුව කඩාකප්පල් කිරීම සඳහා මොවුන් දෙදෙනා පැහැරගෙන ගොස්‌ ඇතැයි යන්න තමන් විශ්වාස නොකරන බව කී දිසානායක මහතා මෙම ප්‍රශ්නය එතරම් ලඝූ නොකළ යුතු බවද කීවේය.

කුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල යන දෙදෙනා ජනතා විමුක්‌ති පෙරමුණේ සිටියද නැද්ද යන කරුණ නොව ඕනෑම පුරවැසියකුට දේශපාලනය කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී නිදහස හිමිවිය යුතු බව තමන් විශ්වාස කරන බව ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවැසීය.

මොවුන් දෙදෙනා පැහැර ගැනීම ජනතා විමුක්‌ති පෙරමුණ අනුමත නොකරන බවද, රජය මෙම පැහැර ගැනීමට සෘජුව සම්බන්ධ නැතිනම් මෙය පිටුපස සිටින්නේ කවුද යන්න සාක්‍ෂි සහිතව ඔප්පු කිරීමේ වගකීම රජය සතු බවද හේරත් මහතා කීවේය.

එම නිසා මේ පිළිබඳව නිවැරදි පරීක්‍ෂණයක්‌ කර කුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල පැහැර ගත්තේ කවුද යන්න ජනතාවට හෙළි කළ යුතු බවද, නැතිනම් මෙහි වගකීම රජය භාරගත යුතු බවද විජිත හේරත් මහතා කීවේය.

බත්තරමුල්ලේ ඇති ජනතා විමුක්‌ති පෙරමුණේ මූලස්‌ථානයේ ඊයේ (08 දා) සවස පැවැති මාධ්‍ය හමුවකදී මෙම අදහස්‌ පළ කෙරිණි.