Spread the News

ප්‍රධාන එන්ජීඕ රැසක්‌ යුද්ධය නැතිව “බංකොලොත්”

දයා ලංකාපුර source:

බටහිර රටවල ආධාර මත පවත්වාගෙන ගිය මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය නොවන සංවිධාන රැසක්‌, යුද්ධය අවසන් වීමෙන් පසු එම රටවලින් අරමුදල් නොලැබීම නිසා බරපතල මූල්‍ය අර්බුදයකට මුහුණපා ඇති බව වාර්තාවේ.

මෙම තත්ත්වය උද්ගත වී ඇත්තේ මේ රටේ සාමය, සංහිඳියාව හා යහපාලනය පවත්වාගෙන යාම උදෙසා විවිධ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කළ රාජ්‍ය නොවන සංවිධානවලටය.

මේ නිසා ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන සිය සේවක සංඛ්‍යාව විශාල ලෙස අඩුකර ඇති අතර එම සංවිධාන පවත්වාගෙන ගිය විශාල ගොඩනැඟිලි වලින් බැහැරව කුඩා ස්‌ථානවල කාර්යාල පවත්වාගෙන යැමට පටන්ගෙන ඇත. මෙවැනි එක්‌ සංවිධානයක්‌ කොළඹ 7 පවත්වාගෙන ගිය සිය ප්‍රධාන කාර්යාලය මේ වන විට කොළඹින් පිටතට ගෙන ගොස්‌ තිබේ. තවත් ආයතනයක්‌ එහි ව්‍යාපෘති භාරව සිටි සේවකයන්ට මාස 3 ක වැටුප් දී ගෙදර යවා ඇත.

ශ්‍රී ලංකාවේ යුද්ධය පැවති සමයේ යුද්ධය නතරකොට සාම සාකච්ඡා පවත්වා සාමය ඇති කිරීම සඳහා ඇමරිකාව, බ්‍රිතාන්‍යය, නෝර්වේ, ජර්මනිය, නෙදර්ලන්තය හා යුරෝපා සංගමයේ රටවල් විසින් මෙරට රාජ්‍ය නොවන සංවිධාන රැසකට නොයෙකුත් ව්‍යාපෘති ඇරැඹීම සඳහා රුපියල් කෝටි සිය ගණනින් අරමුදල් සපයනු ලැබීය.

එහෙත් යුද්ධය අවසන් වී කොටි සංවිධානය පරාජය වීමත් සමග තම සාම ප්‍රයත්නය අතහැර දැමූ එම රටවල් ඒ වෙනුවෙන් මෙරට රාජ්‍ය නොවන සංවිධානවලට දුන් ආධාර විශාල වශයෙන් කපා හැරීමට පටන්ගෙන ඇතැයි ප්‍රධාන පෙළේ රාජ්‍ය නොවන සංවිධානයක ප්‍රධානියෙක්‌ “දිවයින ඉරිදා සංග්‍රහය”ට පැවසීය.

මේ හැර මෙරටේ රාජ්‍ය නොවන සංවිධානවලට විශාල වශයෙන් අරමුදල් සැපයූ “සීඩා” සහ “නොරාඩ්” යන ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවෙන් ඉවත් වී යැමද මෙරට රාජ්‍ය නොවන සංවිධාන අර්බුදයට පත්වීමට තවත් ප්‍රධාන හේතුවක්‌ වී ඇති බවද ඔහු කීය.

මේ වන විට ඇතැම් ප්‍රධාන රාජ්‍ය නොවන සංවිධාන පවත්වාගෙන යන්නේ මෙරට බටහිර තානාපති කාර්යාල කිහිපයකින් ලැබෙන සුළු පරිමාණ ව්‍යාපෘති පවත්වාගෙන යැමෙන් බවද එම නිලධාරියා තවදුරටත් පැවසීය.