- බාබු ආවේ පයින්. බයිසිකලයක් තල්ලු කරගෙන ආවා කියන එක වැරදි කතාවක්
- බාබු අත දිග ඇරලා වියදම් කළා. ඔහුට එතරම් සල්ලි කොහෙන්ද කියලා කවුරුත් හෙව්වේ නෑ.
- දුප්පතාගේ හිතවතා යන විරුදාවලියෙන් ජනාධිපතිවරයෙක් ප්‍රකටව සිටියා නම් ඒ ප්‍රේමදාස ජනාධිපතිවරයා විය යුතුය.
- ප්‍රේමදාස ජනාධිපතිතුමා ආමර් වීදියේදී ඝාතනය වුණේ 1993 මැයි පළමුවැනිදාය.
ප්‍රේමදාස මහතාගේ ඝාතනය සම්බන්ධ සිද්ධි දාමය තුළ මෙතෙක් හෙළි නොවූ බොහෝ කතන්දර ඇත. හෙළි නොවූ හෙළි නොකළ ඒ ඝාතන සිද්ධිය ගැන කියන්නට අප ආරාධනා කළේ සුදත් සිල්වාටය.
සුදත් සිල්වා යනු මෙරට විධායක ජනාධිපතිවරු පස්දෙනකුගේ සෙවණේ සිටි නිල ඡායාරූප ශිල්පියාය.
ප්‍රේමදාස ජනපතිවරයාට අමතරව, ඩී.බී. විජේතුංග, චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන විධායක ජනාධිපතිවරුන්ගේ නිල ඡායාරූප ශිල්පියා වීමේ භාග්‍යය සුදත් සිල්වා මහතාට හිමිවිය. එකී කාලය තුළ රාජ්‍ය නායකයන් ළඟින්ම සිටි ඔහු තොරතුරු ගබඩාවකි. ඒ තොරතුරු සංකීර්ණයේ ආර්. ප්‍රේමදාස ජනාධිපති ඝාතනයේ මතකය හා ඊට පසුබිම් වූ සිද්ධිදාමය ඔබට ලියමු. මෙහි මුල් කොටස ඉකුත් සතියේ පළවිය.
ළං වෙමින් තිබුණේ ජනපති ප්‍රේමදාසගේ ජීවන සැරියේ අන්තිම නිමේෂයයි. එක්සත් ජාතික පක්ෂයේ මැයි රැලිය පාරවල් දෙකකින් පැමිණෙන්නට සැලසුම් වී තිබිණ. එක පෙළපාළියක් මරදාන දෙසට එන්නට නියමිත වූයේ සුගතදාස පිට්ටනිය පැත්තේ සිටය. අනෙක් පෙළපාළිය ගුණසිංහපුර, අලුත්කඩේ ජනතාව සමග මැසෙන්ජර් වීදිය ඔස්සේ එන්නට සැලසුම විය. මැසෙන්ජර් වීදිය ඔස්සේ එන පෙළපාළියේ සිටියේ ප්‍රේමදාස ජනාධිපති තුමාගේ ප්‍රබලම ආධාරකරුවෝ ය. ජනපති ප්‍රේමදාසට හැමදාම හයියක් වුණු මිනිස්සු විශාල පිරිසක් මැසෙන්ජර් වීදියේ පෙළපාළියට එකතු වී සිටියහ.
වේලාව දහවල් 12.15 ට ආසන්නව ඇත. “සුදත්, පිට්ටනියේ කොච්චරක් විතර සෙනඟක් ඉන්නවාද?”
ජනපති ප්‍රේමදාස සුදත් සිල්වා දෙසට හැරී ඇසුවේ ය. ඒ වන විට ප්‍රේමදාස මහතා හිටියේ සුගතදාස පිට්ටනිය අසළ පාරට වෙන්නටය.
සුදත් සෙනඟ අතරින් පීරා ගොස් සුගතදාස පිට්ටනිය දෙස බැලුවේය. එය ජන ගඟකි.
“සර්, පිට්ටනිය පිරෙන්න සෙනඟ ඉන්නවා…” සුදත් ප්‍රේමදාස ජනාධිපතිතුමාට කීවේය.
ඒ වචන ටිකට ජනපති ප්‍රේමදාසගේ මුවඟ සතුටු සිනහවක් මෝදු විය. එයට හේතුවක් තිබිණි. මේ කාලය වන විට එජාපයේ ප්‍රබලයන් දෙදෙනෙකු වූ ලලිත් ඇතුළත්මුදලි ද ගාමිණී දිසානායක ද එක්සත් ජාතික පක්ෂයේ නැත. ලලිත්ලා ගාමිණීලා නැතිව මැයි රැලියක් කරන්නට ජනපති ප්‍රේමදාසට සිදු වී තිබිණ. මේ නිසා මැයි රැලියට සෙනඟ අඩු වේවි යැයි අදහසක් ජනාධිපතිතුමාගේ හිතේ නොරැඳුණාම නොවේ.
සුදත් කී වචන ටික අසමින් ලේන්සුව අතට ගත් ජනාධිපතිතුමා එයින් මුහුණ පිස දමා එය ගසමින් සාක්කුවේ දමා ගත්තේය. මේ සියලු සිදුවීම් ජාතික රූපවාහිනිය මගින් වීඩියෝ කරමින් උන්නේ ය.
ජනාධිපතිතුමා ජාතික රූපවාහිනියේ කැමරා ශිල්පීන්ට කතා කළේය.
“ඔයගොල්ලො මෙතන ඉන්න එපා. පෙළපාළිය හොඳට පේන්නේ පංචිකාවත්ත පැත්තට. එහෙට යන්න” යි කීවේය. මේ සියල්ල සුගතදාස පිට්ටනිය ළඟදී සිදු වූ කතා පෙළයි.
ළඟ සිටි එජාප බලඇණියේ ප්‍රබලයන් කීප දෙනෙකුට, “අපි යමු..” යි කියමින් ජනාධිපතිතුමා සුගතදාස පිට්ටනිය ළඟ සිට ආමර් වීදිය දෙසට පයින් එන්නට පටන් ගත්තේය. ඒ මඟ හෙමින් හෙමින් ආමර් වීදිය දක්වා ප්‍රේමදාස මහතා ගමන් ගත්තේය.
ආමර් වීදියට ආවේ උදේ මීටිමේ දී සාකච්ඡා වුණු සැලසුමක් දිග හරින්නටය.
මේ සැලසුම නිසා ආමර් වීදිය එදා පෙළපාළියේ විශේෂ තැනක් බවට පත් විය.
වෙලාව දවල් 12.30 ද පසු වී තිබිණ. ජනපතිතුමා ඔරලෝසුව බලමින් ළඟ සිටි, එවන්ස්ට,
“එවන්ස්… 12.45 ගුවන්විදුලියේ ප්‍රවෘත්තිවලට නිවුස් එකක් දෙන්න. එක්සත් ජාතික පක්ෂ මැයි පෙළපාළියේ ලක්ෂයකට වඩා ගමන් කරමින් ඉන්න බව කියන්න.”
එවන්ස් කුරේ යනු, එදා ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ප්‍රවෘත්ති ලේකම්වරයා ය. ඔහු ජනපතිගේ පණිවුඩය රැගෙන දුරකතනය හරහා එය ගුවන් විදුලි සංස්ථාවට ලබාදීමට සුලෙයිමන් රෝහල දෙසට ගියේ ය. එවන්ස් කුරේ හා ප්‍රේමදාස ජනාධිපතිතුමා අතර වූ කතාබහ අවසන් සජීවී ඡායාරූපය ලෙස සුදත් සිල්වාගේ කැමරා කාචයේ සටහන් විය. ඉන් පසු කතාව සුදත් සිල්වා මහතා යළිත් අපට පවසයි.
“එවන්ස් කුරේ සුලෙයිමන් රෝහල දෙසට යද්දී මමත් වාහනයට නගින්න ඔහු පසුපසින් ගියා. ඒ වෙද්දි ජනාධිපතිතුමාත් ජීප් එකකට නගින්න ලෑස්ති වෙලා හිටියේ. ආමර්වීදියේ දී ජනාධිපතිතුමා පොඩි සංඥාවක් දෙන්නයි සැලසුම වුණේ. ඒ තමයි ප්‍රේමදාස මහත්තයාගේ අතිප්‍රබලම ආධාරකාරයෝ ටික ආවේ මැසෙන්ජර් වීදියේ ඉඳලා. ඒ අය පෙළපාළියේ ඉදිරියෙන්ම යවලා, පෙළපාළියේ පිටුපස කොටසට සුගතදාස පිට්ටනියේ ඉඳන් එන ආධාරකරුවන් එකතු කිරීම එතැන සිදු වුණේ. ආමර්වීදියේදී ජනාධිපතිතුමා පාරවල් දෙකකින් ආපු පෙළපාළියේ මැසෙන්ජර් වීදියෙන් ආපු අලුත්කඩේ, ගුණසිංහපුර ජනතාව ඉදිරියට ගත්තා. එපමණයි.
මැසෙන්ජර් වීදියේ පෙළපාළිය ඉදිරියට ගනිද්දිමයි බෝම්බෙ පුපුරා ගියේ. මම හිතන්නේ මායි, එවන්ස් කුරේයි දෙන්නත් එතැනින් ගිහින් එක තත්පර ගාණක් ඇති. මට වුණත් මීටර් 15 ක් යන්න බැරි වුණා. බ්ලාස්ට් එක වුණා…”
“ඊට පස්සෙ වුණු දේ හිතාගන්නත් බැරි වුණා..” සුදත් සිල්වා මහතා කියයි.
“මේ වෙද්දි කවුද ප්‍රේමදාස මහත්තයා ළඟම හිටපු අය ?” මම විමසීමි.
“ඇත්තටම… අවසන් තත්පර කීපයේ එතුමා හිටියේ ආරක්ෂක වළල්ලක් තුළ. එතැන හිටියා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොනී ගුණසිංහ, සහකාර පොලිස් අධිකාරී සරත් මහින්ද, විශේෂ කාර්ය බළකායේ ප්‍රධාන පොලිස් පරීක්ෂක උපාලි සිල්වා වගේ අය. ඊළඟට මොහිදින් කියලා කෙනෙක් හිටියා. එයා ප්‍රේමදාස මහත්තයා ළඟ නිතරම හිටපු කෙනෙක්. පියන් කෙනෙක් වගේ හිටියේ. එතුමාගේ දුරකතනය ඇමතුම් එහෙම අරන් දෙන්නේ මොහිදින්. මේ අය ඇතුළුව ආරක්ෂක වළල්ලම මියගියා. කවුරුවත් ඉතිරි වුණේ නෑ…”
“එතකොට ඔබට මොකුත් වුණේ නැද්ද ?” මා යළි විමසීමි.
“මගේ කොන්දේ වම් පැත්තේ මොකක්ද වුණා වගේ දැනුණා. එක්වරම හිරි වැටුණා. කම්පනයකුත් එක්ක. ඒ ගමන්ම පිට අතගාලා බැලුවා. මගේ වම් උරහිසේ මස් කෑල්ලක් එල්ලෙනවා. ලේත් එක්ක. ප්‍රේමදාස ජනාධිපතිතුමා හිටපු තැන බැලුවා. එතැන මිනිස් කොටස් විතරයි. මහා දුමක් එක්ක.
මගේ ළඟම හිටියා කොළඹ නියෝජ්‍ය පොලිස්පතිව සිටි ඒ. එස්. ඒ. සෙනෙවිරත්න මහත්තයා. එයා මට කිවුවා…“ සුදත්, ඉක්මනට මේ වටේ ඡායාරූප ටික ගන්න..” කියලා.
මම ඒ සමගම අවට සියලු ඡායාරූප ගත්තා. අද ඒ සියල්ල මා සතුව තියෙනවා. ඒ බොහෝ ඒවා මෙතෙක් මාධ්‍යයක පළ නොවූ ඒවා. මම ඩී. අයි. ජී. සෙනෙවිරත්න සර්ගෙන් ඇහුවා, “සර් කෝ ජනාධිපතිතුමා ?” කියලා.
“ජනාධිපතිතුමා වාහනේක නැගලා ගියා” කියලා එතුමා කිවුවා. ඊට පස්සෙ මම කෙළින්ම ආමර්වීදිය පොලිසියට ගියා. ගිහින් අපේ ගෙදරට කෝල් එකක් දුන්නා.
ඒ වෙද්දි කවුදෝ අපේ තාත්තාට කියලා බෝම්බයෙන් මමත් මියගියා කියලා.
“බොහෝම සුළු වේලාවක් ඇතුළත මම සුචරිතයට ගියා…”
සුදත් සිල්වා මහතා සුචරිතයට යන විට බෝම්බය පිපිරී විනාඩි 10 ක් පමණ වෙන්නට ඇත. සුචරිතයට යද්දීම එහි දුරකතනය නාදවෙමින් තිබිණ. එය අතට ගත්තේ සුදත්ය.
“සුදත් දැන්ද ආවේ… ඒ හඬ මැඩම් ප්‍රේමදාසගේය.
“ඔව් මැඩම්..” සුදත් සිල්වා කීයේය.
“කෝ සර්… සර්ට මොකද වුණේ…”
“දන්නෙ නෑ මැඩම්.. මමත් ආවේ සර්ව බලන්න තමා” කියලා කීවා.
“ඊට සුළු මොහොතක් යද්දී ප්‍රේමදාස ජනාධිපතිතුමා බෝම්බයෙන් ඝාතනය වුණු බව දැනගන්නට ලැබුණා.
ඉන් පස්සෙ මම ජනාධිපති කාර්යාලයට ගියා. ඒ වෙද්දි ජනාධිපති කාර්යාලයේ, ඩී. බී. විජේතුංග, රනිල් වික්‍රමසිංහ (එදා සභානායක), නීතිපති මේ සියලු දෙනාම හිටියා. ඒ වන විටත් ප්‍රේමදාස ජනාධිපතිතුමා ඝාතනය වූ බවට නිල නිවේදනය සකස් වෙමින් තිබුණු මොහොතයි.
ටික වේලාවකින් මට ජනාධිපති ලේකම්ව සිටි විජයදාස මහත්තයා කතා කළා.
“සුදත්… අද හවස විජේතුංග මහත්තයා වැඩ බලන ජනාධිපති විදියට දිවුරුම් දෙනවා. ඒක ආවරණය කරන්න කීවා.
ඒ අනුව එදා සවස ඩී. බී. විජේතුංග මහත්තයා වැඩබලන ජනාධිපති විදියට අගවිනිසුරුතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා.
සුදත් සිල්වා මහතා කියයි.
“ප්‍රේමදාස මහත්තයාගේ ඝාතකයා ‘බාබු’ ගැන බොහෝ දෙනෙක් අහලා තියෙනවා. ඔහුව ප්‍රේමදාස ජනාධිපතිතුමා දැනගෙන හිටි වගත් කියනවා. ඝාතකයා සුචරිතයට ආ ගිය කතාත් කියනවා. මොකක්ද මේ කතාවල ඇත්ත නැත්ත? මා සුදත් සිල්වා මහතාගෙන් විමසීමි.
“ඒක දිග කතාවක්… “බාබු” ඔහු තමයි සූසයිඩර්. ප්‍රේමදාස මහත්තයා ඝාතනයට එල්.ටී.ටී.ඊ සංවිධානය පත් කරපු නිල මරාගෙන මැරෙන ජනපති ඝාතක ත්‍රස්තවාදියා. ඔහු ඉලක්කය පිළිවෙළට සකස් කරගෙන හිටපු බව ඒ කතාව දෙස බලද්දී පේනවා.”
සුදත් සිල්වා මහතා කියයි.
සූසයිඩර් බාබු තමන්ගේ ඉලක්කය සඳහා තෝරා ගත් ස්ථානය සුචරිතයට කිට්ටුම තැනකි. ඒ ඩයස් ප්ලේස්හි මහල් නිවාසයක යට තට්ටුවේ පිහිටි කිරි කඩයකි. මේ කිරි කඩය අයිතිව තිබුණේ සිංහල ව්‍යාපාරිකයෙකුටය. කිරි කඩේ ගෝල රස්සාවට ආවේ බාබු ය.
“බාබු කාලයක් මේ කිරි කඩේ වැඩ කරලා තියෙනවා. බාබු හිටපු කිරි කඩේ අයිති කෙනාගෙ යාළුවෙක් ප්ලැට් එකේ උඩුමහලේ ගෙදරක හිටපු බව ආරංචියි. එයත් සිංහල. බාබුත් දෙමළ වුණාට අරක්කු, සිගරට් නොබොන ගුණගරුක කෙනෙක් විදියට පෙනී ඉඳලා තියෙනවා.
කිරි කඩේ තිබුණු මහල් නිවාසයත් ප්‍රේමදාස මහත්තයාම හදපු එකක්. මේ කිරි කඩේ අයිති ව්‍යාපාරිකයා උඩුමහලේ හිටපු යාළුවාගේ නංගි අතර ප්‍රේම සබඳතාවයක් තිබිලා තියෙනවා. ඉතින් බාබු කිරිකඩේ මුදලාලි සහ ඔහුගේ යාළුවා නිතර හමු වූ තිදෙනෙක්. මේ හිතවත්කම උඩ, බාබු උඩුමහලේ යාළුවාගේ ගෙදරට දවසක් යනවා. ඒ නිවසට ගියාම බාබු දකින්නේ නිවසේ හැමතැනම එල්ලා තිබෙන ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ පින්තූර.
‘ජනාධිපතිගෙ මෙච්චර පින්තූර..’ බාබු ඒ දෙස බලා කල්පනා කළේය.
මේ ගැන බාබු කඩේ මුදලාලිගෙන්ද විමසුවේය.
බාබුට දැනගන්නට ලැබුණේ මුදලාලිගේ යාළුවා ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ අතිශය කිට්ටුවන්තයෙකු බවය.
“ජනාධිපතිතුමා දුර යද්දි සාමාන්‍යයෙන් එතුමාට කෑම උයන කෝකියා, උයන්න උවමනා බඩු, ව්‍යායාම කරන බයිසිකලය ආදී දේවල් කලින් දවසේ වාහනයක යවනවා. ඒ එක්ක මුදලාලිගේ යාළුවත් යනවා. සමහරදාට මුදලාලිත් යනවා. බාබුත් මේ එක්ක යනවා. ඉතින් මේක සාමාන්‍ය දෙයක් වුණා. හැබැයි කවදාවත් බාබු ප්‍රේමදාස මහත්තයාට පේන්න හෝ මුහුණ දෙන්න එන්නේ නෑ. මම දැකලත් නෑ බාබුව. …” සුදත් සිල්වා මහතා කියයි.
ප්‍රේමදාස ජනාධිපතිතුමා ගිය දුර ගමන් කීපයකට බාබු පෙර දවසේ ගොස් ඇත. ඒ මුදලාලිගේ යාළුවා සමගය. මේ යාළුවා ප්‍රේමදාස මහතාගේ කණ්ණාඩි දෙකේ සිට සියලු උයන පිහන දේ පවා කළමනාකරණය කළ පුද්ගලයා ය. එසේම ජනාධිපතිතුමා නින්ද යන තුරු හිස සම්භාහනය කළේ ද ඔහුය. ඔහු සමග මිත්‍ර වී බාබු සුචරිතයට ගියේ ය. එහි හිටි ආරක්ෂකයන්ට පවා බාබු ලොකු අමුත්තෙකු නොවිණ. දුර ගමන්වලට ද බාබු ගියේ ය. එහි ද ආරක්ෂකයන්ට බාබු වෙනස් අයකු නොවිණ. බාබු බොහෝ විට නිතර කෝවිල් යාම පුරුදු කර උන්නේය. ඒ බවද සමහරු දැන උන්හ.
“මේ විදියට වෙද්දි කිරි කඩේ බංකොලොත්වීමක් වෙලා තියෙනවා. නමුත් මේ කිරි කඩේ නැවත ගොඩනගලා දියුණු කරන්න සල්ලි දීලා තියෙන්නෙ බාබු. ඒ විතරක් නෙවෙයි, ප්‍රේමදාස මහත්තයාගේ වැඩවලට දුර ගමන් යද්දි කලින් දවසේ යන අයට අත දිග හැර බාබු වියදම් කරලත් තියෙනවා. නමුත් බාබුට වියදම් කරන්න මෙපමණ සල්ලි කොහෙන්ද ? වගේ දේවල් සෙවුවාද ? කියන එක ගැටලුවක්.
ප්‍රේමදාස ජනාධිපතිතුමා ඝාතනය වෙන්න කලින් අවසන් වරට දුර ප්‍රදේශයකට ගිය සංචාරය යෙදුනේ කතරගමට. ඒ ගමනේත් බාබු ඉඳලා තියෙනවා. ජනාධිපතිතුමා රාත්‍රිය ගත කළ බංගලාවේ කොටසක බාබු සහ මිතුරන් එකට ඉඳලා තියෙනවා. රාත්‍රියේ ඒ අය අතර මධුවිත පානයකුත් වෙලා තියෙනවා.
බාබු තම ඉලක්කය නිවැරදි වෙන තුරුම ඉවසා සිටියෙකි. ඔහු ඉලක්කය සඳහා කලබල වූ බවක් පෙනෙන්නට නැත. එක බංගලාවේ ප්‍රේමදාස ජනාධිපතිතුමා සිටියද එය අවස්ථාව කර ගනිමින්, ඝාතනය සඳහා යොමු වූයේ නැත. හැම විටම බාබු කර ඇත්තේ ලැබෙන හැම අවස්ථාවකම තමන් විශ්වාසියෙකු බවට වන කාරණය රැක ගැනීමය. එය කොයිතරම් සාර්ථක වීද යත් ප්‍රේමදාස ජනාධිපතිතුමා සමග ළඟින් සිටි සෑහෙන පිරිසක්ද ආරක්ෂකයන්ද බාබුගේ මිතුරෝ වී ඇත. බාබු හැම විටම සෙවුවේ සැකය නොරැඳුණු ඉලක්කයකි. ඒ සඳහා මැයි දිනය ඔහුට හොඳම අවස්ථාව ලෙස දැනෙන්නට ඇත.
“මැයි 01 දවල් 11.00 ට ඉවර වුණ රැස්වීමේ තොරතුරු කෙසෙල්වත්ත, ගුණසිංහපුර සංවිධායකයන් හරහා බාබු දැනගෙන තියෙනවා. ආමර්වීදියේදී මැසෙන්ජර් වීදියෙන් එන පෙළපාළිය ඉස්සරහට දාන්න ප්‍රේමදාස මහත්තයා ඉන්න බව බාබු දැන ගත්තා. බාබු එන්නේ කෙසෙල්වත්ත, ගුණසිංහපුර, අලුත්කඩේ අවට ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ප්‍රබලම ආධාරකරුවන් එක්ක…
මේ පෙළපාළියේත් ඉදිරියෙන් තමයි බාබු ඇවිත් තියෙන්නෙ. මොකද, පෙළපාළියට ඉදිරියට එන්න සංඥා කරල එක විනාඩි කීපයයි බෝම්බය පිපිරෙද්දි… බාබු ආවේ පයින්. ඔහු බයිසිකලයක ආවා කියන කතාව වැරදි ආරංචියක්. බයිසිකලයක ඇවිත් තිබුණේ වෙනත් පුද්ගලයෙක්. ඝාතනයට පසු බාබුගේ හිස මීටර් 3-4ක් දුරින් වැටිලා තිබුණා.
ඊළඟට, ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ සිරුර ගොඩක් පිළිස්සී තිබුණා. නමුත් යම් පමණකට හඳුනාගන්නට පුළුවන්කම තිබුණා. අතක් කැඩී තිබුණා. අවට තිබුණු මළ සිරුර අතරින් වැඩිම හානියක් වෙලා තිබුණේ ජනාධිපතිතුමා ළඟම හිටපු මොහිදීන්ට. පේන විදියට මොහිදීන් වෙන්න ඕනෑ බෝම්බය පුපුරා යද්දි ළඟම හිටපු කෙනා. සිය මතකය ආවර්ජනය කරමින් සුදත් සිල්වා මහතා අපට පැවසීය.
සටහන – අසංක ආටිගල : Lankadeepa