ලුණුගම්වෙහෙර තලල්ලේ
ප්‍රඥරත්න විදානගමාච්චි
10-02-2014
(මොහෙට්‌ටිවත්තේ ගුණානන්ද හිමියන් ගේ ජන්ම දිනය ඊයේ දිනයට (09 වැනිදාට) යෙදී තිබිණි. පිළිබඳ මේ ගුණ කථනය එතුමා උපන් පෙබරවාරි 9 දා වෙනුවෙනි)
ඈත අතීතයේ ආගම් අතර පැවැති නොයෙක් නොයෙක් අදහස් හා මත වාදයන් තුරන් කිරීමට පැවැත්වූ වාද අතර “පානදුරාවාදය” ලොව ප්‍රකට වාදයක් බවට පත්ව ඇත. මෙම වාදයට සවන්දීම සඳහා නොයෙක් ආගමිකයන් දසදහසකට අධික ප්‍රමාණයක් එක්‌රැස්‌වී ඇත.
මෙම වාදයේ පුරෝගාමිකයාගේ 191 වැනි උපන් දිනය ඊයේ දිනට (9 දා) යෙදී තිබිණි.
සේන ගුත්තික රජ සමයේ සිංහල ජාතියටත් බුදු සමයටත් පහර එල්ල වූ සැටි මහසෙන් රජ දවස පන්සල්, වෙහෙර, විහාර 367 ක් පොළොව සමතලා කෙරුණු සැටි, රුවන් වැලි සෑය වටේ උඳු වැපුරූ හැටි, පිඬු සිඟා වඩින භික්‍ෂු නමකට පිණ්‌ඩපාතය පිළිගැන්වීම දඬුවම් ලැබිය හැකි වරදක් වූ හැටි වංශ කතාවලින් අපට පෙන්වා දී ඇත.
එළාර රජ සමයද වසර හතළිස් හතරක් දක්‌වා පැවතියද ඒ කිසිම කෙනෙකුට බුදු දහම හෝ සිංහල ජාතිය විනාශ කිරීමට නොහැකි විය. විදේශීකයන්ගේ අප රටට විශාල ප්‍රහාර එල්ල වෙද්දී 1823 පෙබරවාරි 9 දා බළපිටිය ග්‍රාමයේ දී පින්වත් කුමරෙක් ඉපදින. හේ ගිංගම ලද්දු මිගෙල් මැන්දිස් නමින් විය. ඔහුගේ පියා ගිංගම ලද්දු අසනේරිස් මැන්දිස් වූ අතර මව කළුදුර මල්දොaද සිල්වා නමින්ද විය.
මෙම මිගෙල් මැන්දිස් දරුවා පන්සල් අධ්‍යාපනය ලබා පසුව රෝමානු පූජක උතුමන් වෙතින් කිතු දහමේ ධර්මතා සියල්ල රිසිසේ ප්‍රගුණ කළහ. පසුව 12 වැනි විය පසුකිරීමටත් පෙර දෙමාපියන්ගේ ආශිර්වාදය මත තෙලිකඩ පියරතන නායක හිමියන්ගේ ශිෂ්‍යයෙකු ලෙස “මොහොට්‌ටිවත්තේ ගුණානන්ද” නමින් පැවිදි දිවියට සැපත්විය. පසුව උන් වහන්සේට මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියන් සහ මොහොට්‌ටිවත්තේ ගුණානන්ද නමින්ද ඇමතීමට ප්‍රදේශවාසීන් පුරුදු පුහුණු විය.
පැවිදි දිවියට පත් ගුණානන්ද හිමියෝ බළපිටියේ ගුණරත්න හිමියන් සමඟ කොළඹ දීපදුත්තාරාම විහාරස්‌ථානයට පැමිණ වැඩ වාසය කළේ ගුණරතන හිමියනට තිබූ ඥති සම්බන්ධතාවයටද ගරු කරමිනි.
නමුත් මෙම කාලය බුදු දහමට එතරම් යහපත් කාලයක් නොවීය. අබෞද්ධ බලවේගය ඉස්‌මතුවී තිබිණ. සිංහල ජනතාව තමන් බෞද්ධයන් බව පවා ප්‍රකාශ කිරීමටද මැලි වූහ. විවාහය සිදුකළේද බයිබලයේ අත තබා දිව්රුමෙනි. මෙම තත්ත්වය අනුව ගුණරතන හිමියන් සමඟ ආපසු තමන් පැවිදි වූ පින් බිම වූ බලපිටියේ සුභද්‍රdරාම විහාරයට වැඩම කරවීමට ගුණානන්ද හිමියනට සිදුවිය.
මේ කාලය තුළ තම ගුරු-දෙවි බලපිටියේ ගුණරතන නායක හිමියන් අපවත්වීම ගුණානන්ද හිමියන්ට බලවත් පාඩුවක් විය. එම කාලය තුළ තම පියාණන්ද මියයැම නිසා තම මෑණියන්ද තනිවීම මුන්වහන්සේට විශාල ප්‍රශ්නයක් විය.
එයට පිළියමක් වශයෙන් නැවත ගිහි බවට පත්වූ ඔහු තම මවට ජීවත්වීමට සෑම උපකාරයක්‌ම කරන්නට විය. අවාසනාවක මහිම, හදිසියේ රෝගාතුරුවූ මවද මියයැම බරපතළ ප්‍රශ්නයක් විය.
මේ අතර බලපිටියේ ප්‍රසිද්ධව සිටි ඒබ්‍රහම් අල්විස් මුදලිතුමා මෙම දරුවා වැඩිදුර අධ්‍යාපනය සඳහා තේවිස් නමැති අදිගුරුතුමකු වෙත භාරදෙන ලදී. එතුමා විසින් මෙම කුමරා කොළඹ වෙස්‌ලි විදුහලට ඇතුළත් කළහ. එහිදී ඔහුට ඉංග්‍රීසි භාෂාවත්, බයිබලය හැදැරීමටත් කටපාඩම් කර කියා ගැනීමටත් අවස්‌ථාව උදාවිය.
මේ වන විට මෙම දරුවාට එවකට පැවැති “සිලෝන් ඔබ්සවර්” පත්‍රයේ රැකියාවක් ලැබිණ. අනතුරුව තම ඥති කොටහේනේ දීපදුත්තාරාම විහාරස්‌ථානයේ වැඩි සිටි සීනිගම ධීරක්‌ඛණ්‌ධ හිමියන් මොහුට නැවත පැවිදි දිවියට ඇතුළත්වීමට සියලු කටයුතු යොදා තිබිණ.
මේ වන විට කොළඹ ප්‍රදේශයේ අබෞද්ධ බලවේග විශාල අභියෝගයක්‌ද වී තිබිණ. දිනක් මොහු ධීරක්‌ඛන්ද හිමියන් බැහැ දැකීමට යද්දී පිටකොටුවේ බෝධිය අසල විශාල පිරිසක් රැස්‌වී සිටින බව දිස්‌විය. එහිදී ඔහුට දක්‌නට ලැබුණේ හැඩි දැඩි චීන තරුණයෙකු පැමිණ සිටි පිරිස අමතා මල්ලව පොර සටනකට පැමිණෙන ලෙසයි. මෙය අසා සිටි මිගෙල් මැන්දිස් තරුණයා එම ජනකාය මැදින් ඉදිරියට පැමිණ එම අභියෝගය භාරගත්හ. වටේ සිටි සිංහල තරුණ පිරිස් උද්ධාමනයට පත්වී ඔල්වර හඬ දුන්හ. මල්ලව පොර තරගය ආරම්භ විය. එය අවසානවීමට පැය ගාණක් ගත නොවීය. ඉතා නිමේෂයකින් චීන ජාතික තරුණයා අල්ලා පොලොවේ ගැසීමෙන් පසු එම තරගය නිමාවට පත්විය. පැමිණ සිටි පිරිස් තුෂ්නිම්භූතව බලා සිටියහ.
මේ දිනවල දොඩන්දූව ගලඋඩ විහාරස්‌ථානයේ ත්‍රිපිටකය ලිවීමේ මහා පිංකමක් විය. එහි දායකත්ව බාරගත් බොහෝ දෙනා පළාතේ ප්‍රසිද්ධ ධර්මදේශකයාණන් වහන්සේලා වැඩමවා ධර්මදේශනා පැවැත්වූහ. එක් දායකත්වයක් භාරගත් මිගෙල් මැන්දිස් තරුණයා ධර්මදේශනා දිනය ළඟා වෙනතෙක් කිසිම ධර්මදේශකයාණන් වහන්සේ නමකට ආරාධනා කර නොතිබීම අනික් දායකයන්ගේ කනස්‌සල්ලටද හේතුවී තිබිණ. අන්තිම මොහොතේ අට පිරිකරක් හිස උඩ තබාගෙන එහි විහාරාධිපති සෝනුත්තර හිමියන්ට අටපිරිකර පූජා කොට හාමුදුරුවන් මගේ අම්මත් තාත්තාත් දෙදෙනාම නැහැ, රටත් විනාශයට යනවා. මට මහණ කමත් බණ කියන්නත් පුළුවන්. ඊට අපල උපද්‍රවවලින් බේරා ගැනීම සඳහා මා අදම මහණ කරන ලෙස ඉල්ලීය. එම ඉල්ලීම එවේලේම ඉටුවිය.
එවෙලේම මොහොට්‌ටිවත්තේ ගුණානන්ද හිමියෝ “මහා මංගල සූත්‍රය” මාතෘකා කර ධර්මදේශනය පැවැත්වූයේ සියලු දෙනාගේම සිත් සතන් දහම් සුවඳින් ආලෝක කරමිනි.
ගුණානන්ද හිමියෝ 1844 දී බලපිටිය උදකුක්‌ෙ€ප සීමා මාලකයයේදී අධි සම්පන්න උපසපන් සීලයට පත්විය. බණ දහම් ගැන විශාල දැනුමක් ලබා සිටි ගුණානන්ද හිමියෝ 1849 දී කොළඹ කොටුවේ “කොට්‌ටම්භ ගහයට” විශාල ප්‍රසිද්ධ ධර්මදේශනයක් පැවැත්වූයේ දහස් ගණනක් ඉදිරියේදීය.
මෙතුමා දිනක් ධර්මදේශනයකට වඩිනා විට “මිගෙල්” නමැති පළාතේ බලය තහවුරු කරගෙන සිටි ක්‍රිස්‌තියානි පූජකවරයා බක්‌කි කරත්තෙන් ඉදිරියට පැමිණියහ. එදා ඔහුට ගරු කළ සියලු දෙනා පූජකවරයා එන මගට අවතීර්ණ නොවීය. නමුත් ගුණානන්ද හිමියන් වැඩම කළ බක්‌කිකරත්තය පූජකවරයා ඉදිරියට ගමන්ගත්තේ මහත් ආඩම්බර ලීලාවකින් පූජකවරයාට කිසිම ගෞරවයක් නොවන පරිද්දෙනි.
පසුව අශ්වකරත්තයෙන් බිමට බට පූජකවරයා ගුණානන්ද හිමියන් අමතා මම කවුද කියා දන්නවාද? මම තමයි මිගෙල්. එවිට ගුණානන්ද හිමියන්ද මමත් කවුද කියා දන්නවාද? මමත් මිගෙල්.
පූජකවරයා කේන්තියෙන් පුපුරා ගියේය. ඒ බැව් දැනගත් ගුණානන්ද හිමියන් කේන්ති ගන්න එපා උපාසක මහත්මයා. මම තමයි මොහොට්‌ටිවත්තේ ගුණානන්ද. ඒ නම අසා සිටි පූජකතුමා ගුණානන්ද හිමියන් සමඟ පෙර ගමන්ද කළහ.
මෙම කාලය තුළ බද්දේගම වාදය, 1865 දී ද වරාගොඩ වාදය 1865 අග භාගයේදීද, උදන්මිට වාදය 1866 දීද, ගම්පළ වාදය 1871 දීද, පානදුරා වාදය 1873 අගෝස්‌තු මාසයේදී ද පැවැත්විණ. මෙයින් පානදුරා වාදය මිෂනාරි වරුන්ට මරු පහරක් ද විය.
මෙය ලොව පුරා ප්‍රචලිත විය. අමෙරිකාවේ වාසය කළ හෙන්රි ස්‌ටීල් ඕල්කොට් තුමාද මෙය දැනගත්හ. ඒ අනුව ලංකාවට 1880 මැයි 16 දා පැමිණි ඕල්කොට් 1880 මැයි 25 දා ගාල්ලේ විජයනන්ද විහාරයේදී බුදු දහම වැළඳ ගැනීම ගුණානන්ද හිමියන්ටද මහත් රුකුලක් විය.
මේ වන විට සිංහල පාසල් වසා ඉංග්‍රීසි පාසල් ආරම්භ කිරීමේ කටයුතුද රහසේ පැවැත්විණ. එයට මුහුණ දුන් ගුණානන්ද ඕල්කොට් දෙපොළ 1836.02.1 දි “කලම්බු ඇකඩමිය” නමින් විදුහලක් ආරම්භ කළහ. අද එය “රාජකීය විදුහලයි” ද 1887.06.30 “මහනුවර ධර්මරාජ විදුහල” ද 1892.02.02 දින “ගාල්ලේ මහින්ද විදුහල” ද 1925.11.01 දින “කොළඹ නාලන්ද විදුහල” ද බිහි විය.
මෙම සියලුම කටයුතුවලට හික්‌කඩුවේ ශ්‍රී සුමංගල, වැලිගම සුමංගල, වලානේ ශ්‍රී සිද්ධාර්ථ, බත්තරමුල්ලේ ශ්‍රී සුභූති, දොඩන්දූවේ පියරතන, රත්මලානේ ධම්මාලෝක වැනි හිමිවරුන් මෙන්ම දොන් කරෝලිස් හේවාවිතාරන, රොබට් සිල්වා, විලියම් ආබෲ, ආර්. ඒ. මිරැන්ඩෝ, ඩේවිඩ් හේවාවිතාරන (අනාගාරික ධර්මපාල), වලිසිංහ හරිස්‌චන්ද්‍ර, මල්ලිකා හේවාවිතාරණ, මාරි මියුසියස් හිගින්ස්, ජෙරමියස් දියස්, මුහන්දිරම් හෙන්රි අමරසූරිය වැනි වියතුන්ගේ නොමඳ සහායද ගුණානන්ද හිමියන් ලැබිණ.
මෙහි ප්‍රතිඵලයක් වශයෙන් නීල, පීත, ලෝහිත, ඕදාත, මාන්ජ්‍යෙෂ්ඨ, ප්‍රභාෂ්වර, වර්ණ සහිත බෞද්ධ කොඩිය 1885.04.28 වන දින වෙසක් පුන් පොහෝදා කොටහේනේ දීප දුත්තාරාමයේදී ඔසවන ලද්දේ මේ වාදීභසිංහ මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියන් අතිනි.
ලක්‌මිණි කිරුළ, සත්‍ය මාර්ගය, රිවිරැස, ක්‍රිස්‌තියානි විසාතතිය”, බෞද්ධ ඇදහිල්ල ආදී ග්‍රන්ථ රැසක් සම්පාදනය කළ වාදීභසිංහ මොහෙට්‌ටිවත්තේ ගුණානන්ද හිමියෝ 1890 සැප්තැම්බර් මස 21 දා අපවත්වී වදාළ සේක.