Spread the News

පාප්තුමාට අසුන්ගන්න අලුත්ම පුටුව හදන මොරටුවේ බැසිල්

දෙදහස් පහළොව වසරේ ජනවාරි දහතුන්වන දින අතිඋතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන්ගේ ශ්‍රී ලංකා සංචාරය වතිකානයෙන් ස්ථිර වෙත්ම උන්වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරයෙහි සිදු කෙරෙන සුවිශේෂ මෙහෙයන් ගැන නැවතත් අවධානය යොමු කිරීමට ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයට සිදුවිය.

අති උතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන පරමාර්ථය වූයේ භාග්‍යවන්ත ජුසේ වාස් පියතුමන් සාන්තුවරයට එසැවීමේ මහෝත්සවය විය.

අති උතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන අති උත්කෘෂ්ට දිව්‍ය පූජාවකදී එය සිදුකිරීමට නියම විය. පාප්තුමන් ගාලුමුවදොර පිටියේ දී සිදුකෙරෙන එම දිව්‍ය පූජාව අති ගාම්භීර ආකාරයෙන් සිදු විය යුතුය. අති උතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා චාම් බව විශේෂයෙන් සලකන නිසා එම උත්සවය මෙන්ම උත්සව සැරසිලි ද චාම් විය යුතුය.

එනිසා මහනුවර වියානි රදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් ගාලුමුවදොර පිටියේ දිව්‍ය පූජා උත්සවය පිළිබඳව සංවිධානය කිරීමට කමිටුවක් පත්කෙරුණි. එහි එක් එක් අනුකමිටු භාරව ඒ ඒ ක්ෂේත්‍රයට දක්ෂ පියවරුන් පත්කෙරුණි.

එම කමිටුවල නිර්දේශ අනුව කොළඹ අගරදගුරු පදවියේ සෑම මීසමක් වෙතම දැනුම් දීමක් සිදුකෙරුණි. ඒ, උත්සවයේ එක් එක් කටයුතු ඉටුකිරීම සඳහා දක්ෂයන්ට ඉදිරිපත් වෙන ලෙසය. මොරටුව කඩලාන ශාන්ත අන්තෝනි දෙව්මැදුරේ ලලිත් පෙරේරා පියතුමා ‍ෙම් දැන්වීම කියෙව්වේ අගෝස්තු මාසයේ මුල් ඉරිදාවක රාත්‍රියේ හතට ශාන්ත අන්තෝනි පල්ලියේ දී පැවැත්වුණ මීසම් සභා රැස්වීමකදීය.

“පාප්වහන්සේ ගාලු මුවදොර පිට්ටනියෙ පවත්වන පූජාවෙදි උන්වහන්සේට වාඩිවෙන්න ආසනයක් අලුතෙන් හදන්න ඕනැවෙලා තියෙනවා. එහෙම ආසනයක් හදල පරිත්‍යාග කරන්න කෙනෙක් ඉන්නව නම් සොයා බලා මට කියන්න” ලලිත් පෙ‍ෙර්රා පියතුමා පැවසීය. “ඇයි පියතුමනි ගිය පාර දෙවන ජුවාම් පාවුලු පාප් උන්නාන්සේ වැඩිය වෙලාවෙත් ඉඳගන්න ආසනේ හැදුවෙ අපේ මැරුණ මාටින් බාස්නෙ” මීසම් සභාවේ සිටියෙකු පැවසීය.

“ඔව් මාටින් බාස්ගෙ දරුවොත් වඩුවැඩනේ කරන්නෙ. ඒගොල්ලො කරල දෙයිනේ” තවත් කෙනෙකු පැවසීය. මේ සියල්ල මීසම් සභාවේ සිටි තවත් සාමාජිකාවක් හොඳින් අසා සිටියාය. දිව්‍ය හෘදය සමිතියේ සභාපතිනිය වූ ඇය මාර්ටින් බාස්ගේ එක් පුතෙකු වූ බැසිල් මාකස් ප්‍රනාන්දුගේ බිරිය වූ මල්ලිකා රූපසිංහය. මීසම් සභා රැස්වීම අවසන් වී නිවෙසට පැමිණි මල්ලිකා තමන් දැනගත් තොරතුරු සැමියාට පැවසුවාය.

මල්ලිකා

“ලොකු මුදලක් වියදම් වේවි. ඒත් ඒක අපි කරමු” බැසිල් එය පිළිගත්තාය.පසුදින උදෑසනම දේවස්ථානයට ගිය බැසිල්, ලලිත් පෙරේරා පියතුමන්ට තම කැමැත්ත දැනුම් දුන්නේය.“මම බිෂොප් පැලස් එකේ රැස්වීමට යනවා. බැසිල්ගෙ කැමැත්ත මම කියන්නම්” පියතුමා පිළිතුරු දුන්නේය. ඊළඟ අඟහරුවාදා බැසිල් පියතුමා හමුවිය. “ඔයා හෙටම ගිහිල්ල බොරැල්ල බිෂොප් පැලස් එකේ භාණ්ඩාගාරික ශාන්ති කුමාර් පියතුමා හමුවෙන්න” පියතුමා පැවසීය.

එම බදාදා දිනයේ බැසිල් මාකස් ප්‍රනාන්දු, කොළඹ බොරැල්ලේ අගරදගුරු මැඳුරේ භාණ්ඩාගාරික ශාන්තිකුමාර් පියතුමා මුණගැසීමට යන විට විශේෂ ඡායාරූපයක් ද රැගෙන ගියේය. ඒ, 1995 දී අති උතුම් දෙවන ජුවාම් පාවුලු ශුද්ධෝත්තම පියතුමන් සිරිලකට වැඩම කර කොළඹ ගාලුමුවදොර පිටියේ පැවැත්වූ දිව්‍ය පූජාවේදී උන්වහන්සේ වාඩි වූ ආසනය ය. මොරටුවේ ලී බඩු ව්‍යාපාරික පී.ඩී. ප්‍රනාන්දුගේ මුදල් පරිත්‍යාගයෙන් එම ආසනය නිර්මාණය කළේ බැසිල් මාකස්ගේ පියා වූ මාර්ටින් බාස් උන්නැහේය.

බැසිල් මාකස් රැගෙන ආ ඡායාරූපය බැලූ ශාන්ති කුමාර් පියතුමා පැවසුවේ අති උතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් බෙහෙවින් සරල චාම් අයකු නිසා උන්වහන්සේ වෙනුවෙන් නිර්මාණය වන ආසනය නිතැතින්ම චාම් එකක් විය යුතු බවය. එය සම්පූර්ණයෙන්ම පසුගියවර නිර්මාණය වූ ආසනයේ ස්වරූපයෙන් වෙනස් විය යුතු බවය. අති උතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන්ගේ පෞද්ගලික යාච්ඤා කුටියේ දී උන්වහන්සේ භාවිත කරන ආසනයහි ඡායා පිටපතක් ලබා දුන් පියතුමා එහි ස්වරූපයට සමාන වන ලෙස ආසනයක සැලැස්ම සකස් කර ඉදිරිපත් කරන ලෙස පැවසීය.

නිවෙසට පැමිණි බැසිල් තම වැඩිමල් සොහොයුරකු වූ මර්ල් ප්‍රනාන්දු සමඟ පාප්තුමන් වෙනුවෙන් සකස් කරන ආසනයේ සැලැස්ම ගැන සාකච්ඡා කළහ. ආසනය නිර්මාණය විය යුත්තේ මැහෝගනි ලීයෙන් බවට දෙදෙනා ප්‍රථමයෙන්ම තීරණය කළහ. ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ඡායාරූප කීපයක්ම පරීක්ෂා කළ ඔවුන්, එතුමා අඩි පහයි අඟල් අටක් පමණ උසකින් යුක්ත වේ යැයි සිතා ආසනය එම උසෙන් උන්වහන්සේට පහසුවෙන් වාඩිගත හැකි ආකාරයට නිර්මාණය විය යුතු යැයි තීරණය විය.

බැසිල් ඉදිරිපත් කළ ආසනයේ සැලැස්ම පරීක්ෂා කළ ශාන්ති කුමාර් පියතුමා ආසනය නිර්මාණය කිරීමේ අවසරය බැසිල්ට දුන්නේය. ආසනය නිර්මාණය කිරීම සඳහා බැසිල් කඩලාන ලී මෝලකින් අඩි විසිහයක් දිග අඩි හතරහමාරක් විෂ්කම්භය ඇති මැ‍හෝගනි දැව කඳක් රුපියල් විසිනවදහසක මුදලකට මිලදී ගත්තේය. තමන්ට අවශ්‍ය ප්‍රමාණයට ලී ඉරාගත් ඔහු මෝලකින් කෘත්‍රිම ලෙස වියළා නොගෙන ස්වභාවික හිරු එළියෙන්ම එම දැව කොටස් වියළා ගත්තේය.

“අපි කඩලාන සන්තන්තෝනි පල්ලියට අයිති මිනිස්සු. අන්තෝනි මුනින්ද්‍රයා කෙරෙහි අපේ හි‍තේ තියෙන්නෙ ලොකු භක්තියක්. අන්තෝනි මුනින්ද්‍රයා වෙනුවෙන් කැපවුණු දවස තමයි අඟහරුවාදා. අපි ඕනෑම වැඩක් පටන්ගන්නෙ අඟහරුවාදා” බැසිල් ඒ අනුව අඟහරුවාදා දිනයක පාන්දරම පල්ලියට ගොස් අන්තෝනි මුනිඳුන්ගේ ප්‍රතිමාව ඉදිරිපිට දනින් වැටී තමන්ගේ මෙම සද්කාර්යය, සාර්ථකව ඉටුකැර ගැනීමට පිහිටවන ලෙස ඉල්ලා සිටියේය.

නිවෙසට පැමිණි බැසිල් ලීවලට සහ තම උපකරණවලට සුවඳ දුම් අල්ලා තම කාර්යය මර්ල් අයියා සමඟ ආරම්භ කළේය. බැසිල්ගේ බිරිය මල්ලිකා ද ඉතා කැපවීමෙන් ඔහුගේ සහායට ඉදිරිපත් වූවාය. පාප්තුමන් වෙනුවෙන් නිර්මාණය වන මේ ආසනය ගැන බැසිල් මෙන්ම උනන්දු වූ මල්ලිකා උපතින් බෞද්ධ තරුණියක වූවාය. අනුරාධපුරයේ පදිංචිකාරියක වන ඇය බැසිල් හඳුනාගෙන ඇත්තේ චිත්‍රකතා පත්තරයක පළවූ මිතුරු හමුවක් මාර්ගයෙනි. 1991 දී ඇතිවූ එම හැඳිනීම වසර හතරකට පමණ පසු ඵල දැරුවේ ඇය කතෝලික දහම වැලඳ බැසිල් සමඟ විවාහවීමෙනි. ඔවුනට දැන් පිරිමි දරුවන් දෙ‍ෙදනෙකු ඇත.

“දැන් හුඟාක් අය වඩු වැඩ කරද්දි මැෂින් පාවිච්චි කරන්නෙ. ඒත් මේ ආසනය හදද්දි මම කිසිම මැෂිමක් පාවිච්චි කළේ නැහැ. ඔක්කොම පරණ අත් උපකරණ තමයි පාවිච්චි කළේ. ලී යතුගෑවෙත් පරණ යතු කැටයකින්.” බැසිල් පවසන්නේ පාප්තුමන් ඉඳගන්නා ආසනය නොඉඳුල් ආකාරයෙන් නිර්මාණය කිරීම සඳහා විශේෂ කැපවීමක් සිදු කළ බවය. මේ ආසනයෙහි විශේෂත්වයක් වන්නේ එය නිර්මාණය කිරීමේ දී කිසිදු යකඩ ඇණයක් හෝ ලී ඇණයක් භාවිතා කර නොතිබීමය.

“කුෂන් කරන්න ඉස්සරවෙලා ඉඳගන්න කොටස වේවැල්වලින් විව්වා. පිට හේත්තු කරන ස්ථානය අඟල් දෙකක් පළල කැන්වස් පටිවලින් තිරස්ව හා සිරස්ව පැදුරක් වගේ විව්වා. එතකොට පිට හේත්තු කළාම පහසුයි.” බැසිල් පවසන්නේ පාප්තුමන් ‍වෙනුවෙන් නිර්මාණය කළ ආසනය සඳහා එක් කළ විශේෂ පහසුකම් පිළිබඳවය. ආසනය නිර්මාණය කිරීමේ ලී වැඩ සඳහා බැසිල්ට දවස් විස්සක පමණ කාලයක් ගතවිය.

ආසනය කුෂන් කිරීමේ දී භාවිත වූයේ අඟලක් ඝනකම් ලේටෙක්ස් ෆෝම් රබර් කොටස්ය. ළා ක්‍රීම් පැහැති රෙද්දකින් පුටුව කුෂන් කළ අතර, සිරුර හේත්තුවන කොටස් කුෂන් කළ කොටසේ මැද රත්රන් පැහැති රිබන් පටියකින් දිගැටි කොටුවක් නිර්මාණය විය. සනය නිර්මාණය කර අවසන් වූ පසු එහි බර කිලෝ තිස්පහක් විය. ආසනය නිර්මාණය කිරීම සඳහා බැසිල්ට රුපියල් තිස්පන්දහසකට ආසන්න මුදලක් වැය විය.

“මුදල් වියදම් වුණාට මට හරිම සන්තෝෂයි. ලංකාවෙ කොතරම් වඩු කාර්මිකයො හිටියත් ෆ්‍රැන්සිස් පාප්තුමන් ලංකාවට ඇවිල්ල ජුසේවාස්තුමන් සාන්තුවරයට ඔසවන පූජාවෙදි වාඩිවෙන්නෙ මම හැදූ පුටුවක. ඒ ආඩම්බර කතාව කියන්න පුළුවන් මට විතරයි” බැසිල් මාකස් ප්‍රනාන්දු සතුටින් පවසයි.