Spread the News

පාසල් පෙළ පොත්වල ඉතිහාසය වෙනස් කරලා….

අන්‍යාගමික පාසල් පෙළ පොත් මගින් ශ්‍රී ලංකාවේ ප්‍රෞඪ ඉතිහාසය විකෘති කිරීමේ …වැඩ පිළිවෙලක් දියත් කර ඇතැයි රත්මලාන ධර්ම පර්යේෂණාලය කළ පර්යේෂණයකින් හෙළි කරගෙන ඇත. මනඃකල්පිත ඉතිහාසයක් නිර්මාණය කරමින් ව්‍යාප්ත කරන්නේ මහා ආක්‍රමණශිලී කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙළක් බව එහි අධ්‍යක්ෂ හෑගොඩ විපස්සී හිමියෝ පැවසූහ. ඉස්ලාම් ධර්මය උගන්වන පාසල් පෙළ පොත්වල මෙසේ ‍ශ්‍රී ලංකාවේ ඵෙතිහාසික ඉතිහාසය වෙනස් කර ඇති බව එම පර්යේෂණයෙන් හෙළි වී ඇත. රජයේ පාසල්වල 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මුස්ලිම් දරුවන් සඳහා ලබා දෙන මුස්ලිම් ආගම පොතේ වැරැදි තොරතුරු වැඩි වශයෙන් දක්වා ඇති බවද ඉන් පෙන්වා දෙයි. එම ඉස්ලාම් ආගම පොතේ මෙලෙස සදහන් වෙයි. “ ශ්‍රී ලංකාව හා අරාබිවරුන් අතර වූ සබඳතාවය ඉතා පැරැණිය. ආර්යයෝ ලංකාවට පැමිණීමට පෙර අරාබිවරුන් මෙහි පැමිණි බව විලියම් හයිගර් යන අය සඳහන් කරයි. පසුගිය අවුරුදු 2000 පුරා අරාබිවරුන් මෙහි වාසය කරන නිසා එකල සිටි වැද්දන් හෝ අනෙකුත් පෞරාණික වැසියන් මෙන්ම ඔවුන්ද මේ රටේ පුරවැසියන් බව හිටපු පුරා විද්‍යාඥයෙකු වන ආචාර්ය බාලේන්ද්‍ර සඳහන් කරයි.” මෙම තොරතුරු සම්පූර්ණයෙන් වැරැදි බවත් විලියම් හයිගර් නැමැති විද්වතෙක් පිළිබඳ කොහේවත් සඳහන් නැති බවත් පර්යේෂණාලය පවසයි. එසේම ශ්‍රී ලංකාවේ පුරාවෘත්ත, ශිලා ලේඛණ, මහා වංශය, දීප වංශය, අටුවා ආදී ඵෙතිහාසික ලේඛණ කිසිවක් නොසලකා රටේ බෞද්ධ ඉතිහාසය විකෘති කරමින් මෙම පෙළ පොත් ලියා ඇති බව පෙනී යන්නේ යැයි හෑගොඩ විපස්සී හිමියෝ පැවසූහ. ඉතිහාසඥ මහාචාර්ය විමල විජේසූරිය මහතා, අන්‍යාගමික පාසල් පෙලපොත් මඟින් ශ්‍රී ලංකාවේ ඉතිහාසය විකෘති කර ඇති බවත්, එය නිවැරැදි කරන ලෙසත්, බලධාරින් දැනුවත් කළද මෙතෙක් එම පෙළ පොත් නිවැරැදි කිරීමට කටයුතු කර නැති බවද උන් වහන්සේ පෙන්වා දෙයි. එසේම කිතු දහම අනුරාධපුර යුගයේ පැවතුන බවටත් විවිධ පොත්පත්වල සඳහන් කර තිබුණත් එයද අසත්‍ය තොරතුරක් බව උන්වහන්සේ පෙන්වා දෙයි. අධ්‍යාපන බලධාරින් විසින් මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර ඉතිහාසය විකෘති කරන වැඩ පිළිවෙල වැළැක්වීමට කටයුතු කළ යුතුව ඇතැයි උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ.

රන්මලී සෝමසිරි- ලක්බිම