Spread the News

de

මෙරට කතෝලික ජනතාව අතිශයින් කම්පාවට පත් කළ ඛේදවාචකය වූයේ පාස්කු දින එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයි. සහරාන් ප‍්‍රමුඛ මුග්ධ නඩය එල්ල කළ අතිශය අමානුෂික ප‍්‍රහාරය හමුවේ කතෝලික බැතිමත්හු සිය ගණනක් මියගියහ. තවත් පිරිසක් තුවාල ලැබූහ. මෙම ප‍්‍රහාරය නිසා අදටත් විඳවන කතෝලික බැතිමත්හු වෙති. තමන්ගේ

ආදරණීයයන්ගෙන් වෙන්ව හුදෙකලාව ජීවත් වීමට මේ නිසා ඇතැමුන්ට සිදුවිය. එනිසා පාස්කු කඳුළුවල සීතල තවමත් වියකී නොමැත. පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත්කළ කොමිසමේ වාර්තාව මේ වන විට නිකුත් වී තිබේ. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි විපක්‍ෂය පසුගිය දිනවල ඉල්ලීමක් කළේය. පෙරේදා ප‍්‍රවෘත්ති සාකච්ඡුාවක් පැවැත්වූ කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමාණෝ සඳහන් කළේ අදාළ කොමිෂන් වාර්තාවේ පිටපතක් තමන් ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවයි. එහිදී උන්වහන්සේ අවධාරණය කළේ පාස්කු ප‍්‍රහාරයෙන් පීඩාවට පත් පාර්ශ්වයට සාධාරණයක් නොවන්නේ නම් ජාත්‍යන්තර අධිකරණයට හෝ ගොස් මේ සම්බන්ධයෙන් විසඳුමක් බලාපොරොත්තු වන බවයි. එවැනි තීරණයකට යා නොදී ඉන් මෙපිට මෙම ප‍්‍රශ්නය විසඳා ගැනීමට තවමත් තමන් බලාපොරොත්තු වන බවද උන්වහන්සේ මෙහිදී අවධාරණය කළහ.

පාස්කු ප‍්‍රහාරය එල්ලවීමෙන් පසු මෙම ප‍්‍රශ්නය දඩමීමා කරගෙන ඇතැම්හු ජාතිවාදී ගිනිදැල් ඇවිළවීමට උත්සාහ කළහ. එම අවස්ථාවේදී ඒ සඳහා ඉඩ නොදී ජනතාව සන්සුන් කරමින් උන්වහන්සේ කි‍්‍රයාකළ ආකාරය අතිවිශිෂ්ට විය. උන්වහන්සේගේ ශාන්ත නිවුණු තැන්පත් වචන නිසා ඇතිවෙන්නට ගිය මහා විනාශයක් වැළකිණි. එනිසාම මේ මොහොතේ අදාළ බලධාරීන්ගේ යුතුකම මෙන්ම වගකීම විය යුත්තේ උන්වහන්සේගේ හඬට කන් දීමයි. උන්වහන්සේ නියෝජනය කරන කතෝලික බැතිමතුන් වෙනුවෙන් සාධාරණය ඉටුකිරීමයි.

කාදිනල්තුමාණෝ මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේදී අවධාරණය කළ කරුණක් ගැන අපගේ විශේෂ අවධානය යොමුවිය. පාස්කු ප‍්‍රහාරකයන්ට දඬුවම් ලබාදෙනවා සේම මෙම ප‍්‍රහාරය පිටුපස සිටින බලවේගය කවුරුන්ද යන්න හෙළිදරව් කර ගත යුතු බවද උන්වහන්සේ මෙහිදී කියා සිටියහ. උන්වහන්සේ අවධාරණය කරන මෙම කාරණය අතිශය වැදගත්ය. විශේෂයෙන් රටක් ලෙස අපට සිටින සතුරු මිතුරු බලවේගවල සැබෑ ස්වරූපය හඳුනා ගැනීමට එය හොඳ අවස්ථාවක් වනු ඇත. අනෙක් අතට අප රටේ ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම පිණිස අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට ද එය ඉවහල් වනු ඇත. පාස්කු ප‍්‍රහාරකයන්ගේ අරමුණ කතෝලික ජනතාව පීඩාවට පත්කිරීමම පමණක් නොව ඉන් එහා ගිය අරමුණු ද තිබිය හැකිය. එනිසාම උන්වහන්සේගේ වගකීම් සහිත පෙන්වා දීම අපේ රටේ බලධාරීන් නිසි ලෙස තේරුම්ගත යුතුව ඇත.

මේ සම්බන්ධයෙන් අපට වැඩිදුර යමක් කීමට තිබේ. එනම් පාස්කු ප‍්‍රහාරය එල්ල වන්නේ අප රටේ ජාතික ආරක්‍ෂාව බිංදුවට වැටී තිබුණු මොහොතක බව අමතක නොකළ යුතුය. මෙම ප‍්‍රහාරය පිළිබඳව කලින් තොරතුරු ලැබුණ ද එය නිසි ලෙස අධ්‍යයනය කර සිදුවූ මහා විපත වළක්වා ගැනීමට නොහැකි විය. අවසානයේදී සිදුවනුයේ එකිනෙකා එකිනෙකාට ඇඟිලි දිගු කිරීම පමණි. හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහත්වරු මෙන්ම පොලිස් ලොක්කන් ප‍්‍රහාරයේ වගකීම එකිනෙකාට පටවන අයුරු කොමිසමේ සාක්‍ෂි දෙද්දී අපට හොඳින් පෙනී ගිය කරුණක් විය. රටක ජාතික ආරක්‍ෂාව සැලසීමේදී හා එය තහවුරු කිරීමේදී උඩ සිට පහළට මෙන්ම පහළ සිට ඉහළට ගලා යන නිසි සන්නිවේදනයක් තිබිය යුතුය. පාස්කු ප‍්‍රහාරය එල්ල වන්නේ එවන් පසුබිමක් නොතිබූ නිසාවෙනි. එනිසාම යළිත් මෙවැනි ප‍්‍රහාරයකට ඉඩකඩ නොතැබීමට ද අදාළ සියලූ අංශ බුද්ධිමත්ව කි‍්‍රයාකළ යුතුව ඇත. යමක් වූ පසු එකිනෙකා පිට එම වගකීම පටවන්නේ නම් එතැන ජාතික ආරක්‍ෂාවක් තිබිය නොහැක. පාස්කු ප‍්‍රහාරයෙන් මෙම පාඩම් ද අප උගත යුතුය