Spread the News

සුජීව තත්සර
 Divaina:
saratfonseka පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයට සම්බන්ධ අන්තවාදීන් මුළුමනින්ම විනාශ කිරීමට මේ දක්වා හැකියාව ලැබී නොමැති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.

අන්තවාදීන් යටතේ පුහුණුව ලැබූ දහසකට වැඩි තවත් ත‍්‍රස්තයන් පිරිසක් මෙරට සිටින බවට විමර්ශනවලින් හෙළි වී ඇති බව ද ඒ මහතා පැවසීය.

පුද්ගලික රූපවාහිනි නාලිකාවක් සමග පෙරේදා (15 දා* පැවති සාකච්ඡුාවකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර සරත් ෆොන්සේකා මහතා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ෆොන්සේකා මහතා මෙසේ ද කීවේය.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හරහා සොයන්න පුළුවන් වුණේ වගකීම් ඉටු නොකරපු අය පිළිබඳව සහ ඉන්පසුව සිදු වූ දේ පිළිබඳව පමණයි. ඒ වාර්තාව අපි පාර්ලිමේන්තුවේදී කථානායකවරයාට භාර දුන්නා. ඒ පිළිබඳව එතුමා පියවරක්  නොගැනීම පිළිබඳව මටත් ප‍්‍රශ්නයක් තියනවා. මම එහිදී කෙලින්ම ඇඟිල්ල දිගු කළේ හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන කියන පුද්ගලයාට. මේ ජනාධිපති කොමිෂන් සභාව හරහාත් කර ඇත්තේ එයම තමා. නමුත් මේ ජනාධිපති කොමිෂන් සභාව හරහා එවකට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට චෝදනා ඉදිරිපත් කර නැහැ. නමුත් මගේ වාර්තාවේ ඔහු ආරක්ෂක කමිටුවේ නොසිටීම පිළිබඳවත් චෝදනා ඉදිරිපත් කළා. නමුත් මේ කොමිෂන් කිසිවකින් පාස්කු ප‍්‍රහාරයේ මහ මොළකරුවන් අල්ලන්න බැහැ.

ඒවා අල්ලන්න නම් බුද්ධි අංශ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පිරිස කි‍්‍රයාත්මක විය යුතුයි. අද මෛති‍්‍රපාල සිරිසේන මහතා චෝදනා මඟ හරින්න බලනවා. නමුත් එතුමා තමයි එදා ආරක්ෂක ඇමැති ලෙස කටයුතු කළේ.

මෙතරම් විශ්වාස කටයුතු තොරතුරු ලැබිලත් එතුමා ඒවා ගණන් නොගෙන කටයුතු කළා. බෝම්බ පිපිරීමෙන් පසුවවත් එතුමාට රටට එන්න උවමනාවක් තිබුණේ නැහැ. එදා එන්න ගුවන් යානා ඉඩ තිබුණේ නැති කතාවක් කිව්වා. නමුත් අපි සොයා බැලූවා එවැන්නක් සිදුව නැහැ. එන්න අවශ්‍ය ගුවන් යානා සහ එහි ඉඩ පහසුකම් තිබුණා. ජනතාව තුන්සියයක් පමණ මැරිලත් තව විශාල පිරිසක් තුවාල ලබලත් එන්න බෑ කියන්න බෑනේ ජනපතිවරයාට. එතුමාට තිරික්කලයක නැඟලා හරි එන්නැයි තිබුණේ. මේ ප‍්‍රහාරය පිටුපස ජාත්‍යන්තරය සිටිය හැකියි. මරාගෙන මැරෙන ප‍්‍රහාර සිදුකරන පිරිසක් පුහුණු කරන්න බෑ කෙළිලොල් වැඩක් විදිහට. මේක කාලයක් තිස්සේ සැලසුම් සහගතව කරපු වැඩක්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන විදිහට කඳවුරු 17 ක 1000 ක් පමණ පුහුණු වෙලා තියනවා මේ අන්තවාදී කි‍්‍රයා වෙනුවෙන්.

මරාගෙන මැරෙන්න කාන්තාවන් 15 ක් පුහුණු වී ඇති බවත් කියවෙනවා. ඇත්ත වශයෙන්ම මේ පුහුණුවීම් කළ පිරිසගෙන් 250 ක්වත් තවම අත්අඩංගුවට ගෙන නැහැ. ඒ සංවිධානය ඇතුළට ගිහින් එය විනාශ කරන්න අප කටයුතු කර නැහැ. අතනින් මෙතනින් දෙතුන් දෙනකු අහුවුණාට අනිවාර්යයෙන්ම ඔවුන් තවමත් කි‍්‍රයාත්මකයි. ඇල්ලූ පිරිස ගැන හිතලා අපි මෝඩයන් සේ හැසිරුණොත් ඉදිරියේදී ලොකු ඛේදවාචකයන්ට මුහුණ දීමට සිදු වෙයි.