Sat. Jan 18th, 2025
Spread the News

ආරියතිලක
2024.10.19

පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ නැවත ආරම්භ කළ බව රජය නිවේදන කළේය. තවමත් පාස්කු බෝම්බ ප්‍රහාරයේ මහ මොළ කරුවන් අතඩංගුවට ගෙන නැත. ඔවුන් මෙරට හෝ විදේශයක හෝ නිදැල්ලේ ය. පාස්කු බෝම්බ පිපිරීම තරම් ම එය භයානක බව අමතක නො කළ හැකිය. 2019 අප්‍රේල් 21 දින සිට මහ මොළකරුවන් නිදැල්ලේ දිවි ගෙවන බව පැහැදිලි ය. ඒ අපරාධ කරුවන් කවරෙක් වුවද තමන් විසින් දියත් කළ ප්‍රහාරය පිළිබඳව නැවත විමර්ශන ආරම්භ කිරීම ගැන කිසි සේත් ම ඔවුහු නො කැමැති වන්නාහ. ඒ අපරාධයේ මහ මොළකරුවන් නිදැල්ලේ සිටීම පාස්කු බෝම්බ පිපිරීම තරම් ම එය භයානක බව අප කියන්නේ ඒ විමර්ශ නැවැත්වීම සඳහා තවත් එවැනිම හෝ ඊටත් වඩා වැඩි පිපිරවීමකට හෝ වැඩි බලය සහිත පහර දීමක් කිරීමට ඔවුන් පසු බට නොවන නිසා ය. එවැනි පිපිරවීමක් හෝ පහර දීමක් බොහෝ දුරට ඉලක්කය වන්නේ, ඒ පිළිබඳ විමර්ශනයය මෙහෙය වීමට අණ දෙන හා ක්‍රියා කරන දේශපාලන බල අධිකාරියට සහ ඒ වෙනුවෙන් ව්‍යාපෘත වන ඉහල පෙළේ බලලත් පිරිසට ය. විශේෂයෙන් රටේ ඉහලම දේශපාලන බල අධිකාරිය ඉලක්ක වන්නට ද පුළුවන.

“යන යකා කොරහත් බිඳ ගෙන යනවා” කියන ලෙස එවැනි අපරාධයක් සැළසුම් කර දියත් කළ පිරිසකට එවැනි මානසිකත්වයක් නැතයයි කිසි සේත් ම නො සිතිය හැක.

පාස්කු බෝම්බ ප්‍රහාරය සමාන්‍ය පුද්ගලයෙකුට හෝ සාමාන්‍ය පුද්ගල කණඩායමකට නො කළ හැකිය. ඒ සඳහා මනුෂ්‍යත්වය නොතකා හරිනු ලැබූ බලවත් හිංසාවාදී අපරාධමය සිත, මරාගෙන මැරෙන බෝම්බ සකස් කිරීමට සහ පුපුරුවා හැරීමට පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥ දැනුම, අවසන් ඉලක්කය සඳහා ප්‍රවේශ වීමට ඒ සියල්ල සාධනය කර ගැනීමට අවශ්‍ය ධන බලය, අවසන් ඉලක්කය සපුරා ගැනීමට ඇවැසි උපකාරක පිරිස් බලය, මේ සියල්ල ඒකාබද්ධ කිරීමට හේතු වූ ආගමික වශයෙන් හෝ වෙනයම් දේශපාලන අරමුණු සහිත හෝ සම්බන්ධ මනෝ මූලික සංකල්පය, යන කාරණා ප්‍රධාන වේ.

මරාගෙන මැරෙන බෝම්බ කරුවන් මිය ගිය පමණින් ඉහත දැක්වූ හේතු නැති වූයේ නැත. මේ බෝම්බ ප්‍රහාරය සැලසුම් කළ මහ මොළකරුවන් තව ම නිදැල්ලේ බැවින් ඉහත් දැක්වූ හේතු වලින් අඩු වී ඇත්තේ මිය ගිය මරා ගෙන මැරුණු ඒ බෝමබ කරුවන් පමණි. එසේ වුව ද ප්‍රචණ්ඩකාරී හෝ අන්තවාදී ආගමික ත්‍රස්තවාදී කණ්ඩායමක හෝ දේශපාලන අරමුණු සහිත ව්‍යාපාරයක සමාජිකයන් කීප දෙනෙක් මළ පමණින් එවැනි මරාගෙන මැරෙන පුද්ගලයන්, ඒ ඒ අන්තවාදී ආගමික කණ්ඩායම් වලින් හෝ දේශපාලන ව්‍යාපාර වලින් හෝ අහෝසි වන්නේ නැත. විශේෂයෙන් ආගමික ත්‍රස්ත කණ්ඩායම්වල මූලික ඉලක්කය ඒ ඒ භූමියන්හි තම දේශපාලන බලය අත්පත් කර ගැනීම ය. ආගමික අන්තවාදී මතවාදය ව්‍යාප්ත කිරීම සහ භූමිය පාලනය අත්පත් කර ගෙන දේශපාලන අධිකාරී බලය පිහිටු වීම යන කරුණු දෙක ආගමික අන්තවාදී සංවිධානයක මුඛ්‍ය අරමුණු ය. මේ අරමුණු දෙක හේතු කොට ගොඩනැගුණු ආගමික අන්තවාදී කණ්ඩායම් මේ මොහොත වන විටත් ලෝකයේ බොහෝ රාජ්‍ය සාමකාමී බවෙන් තොර කර ඇත. විශේෂයෙන් මැද පෙරදිග කලාපයේ මුල් බැසගත් ආගමික අන්තවාදී ත්‍රස්තවාදය ආසියා, අප්‍රිකා, කලාපයන්හි ද ව්‍යාප්ත කර තව තවත් බලවත් කරමින් සිටී. යුරෝපා සහ ඇමරිකා කලාපවල ද ඔවුන්ගේ ත්‍රස්ත භීෂණය ඇති කිරීමට උත්සාහ කරත්. සමස්ථයක් ලෙස අද ගෝලීය ත්‍රස්තවාදයේ ප්‍රධානත ම ත්‍රස්ත සංවිධාන බිහි වී ඇත්තේ ඉහත දැක්වූ ආකාර ආගමික අන්තවාදී සංවිධාන වලින් බව කිව යුතු ය. ISIS සංවිධානය, අල් කයිඩා, හමාස්, මුජහිඩීන්, හවුති, හිස්බුල්ලා ආදී බලවත් ත්‍රස්ත සංවිධාන සියල්ල ආගමික අන්තවාදී මතවාද සහිත ත්‍රස්තවාදී සංවිධාන වේ. ලෝක ත්‍රස්තවාදී සංවිධාන පිළිබඳ ලැයිස්තු අධ්‍යනය කිරීමෙන්, බොහෝ ත්‍රස්ත සංවිධාන ආගමික අන්තවාදය මූලික කර ගත් සංවිධාන බව පැහැදිලි ය.

පාස්කු බෝම්බ ප්‍රහාරයේ මරාගෙන මැරුණු ප්‍රහාරකයෝ ආගමික අන්තවාදය පෙරදැරි කරගත් පුද්ගලයෝ වෙත්. එම මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාරකයින් මළ ද ඔවුන්ගේ මතවාදයට නායකත්වය දෙන පිරිස් තවත් බොහෝ ඇති බවට සැක නැත. එසේ වුවත් මෙහි මහ මොළ කරුවන් සියලු දෙනා එකී ආගමික අන්තවාදය මත සිටින පිරිස් නො වීමට පුළුවන. පටු දේශපාලන අවශ්‍යතාවයන් ඉලක්ක කර ගත් හෝ වෙනත් අවශ්‍යතාවයන් සහිතව හෝ මරාගෙන මැරුණ බෝම්බ කරුවන් යොදවා ගත්තා විය හැක. මරාගෙන මැරුණු පාස්කු බෝමබ කරුවන්ගේ සහ එයට පිටුපස සිටින මහ මොළකරුවන්ගේ අභිප්‍රායන් එකිනෙකට සමපාත නොවන්නට ඉඩ ඇත. මරාගෙන මැරුණු බෝම්බ කරුවන්ගේ අදහස ආගමික අන්තවාදය පාදක වූ අතර ඒ පිටුපස සිටින මහ මොළ කරරුවන්ගේ අභිප්‍රාය ආගමික අන්තවාදයෙන් තොර පටු දේශපාලන අරමුණක් හෝ වෙනත් අවශ්‍යතාවයක් හෝ විමට හේතු නොවේයයි කාටනම් කිව හැකිද?

කුමන තත්වයක මත වුව ද පාස්කු බෝමබ ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ අවසන් නැති වීම ත් සහ ඒ පිළිබඳ අධිකරණමය කටයුතු නිම වී නැති වීම ත්, මේ අපරාධයේ මහ මොළ කරුවන් නිදැල්ලෙ සිටීමට හේතු වී ඇත. නැවත මෙය විමර්ශනය කිරීම ඇරැඹීම මේ අපරාධයේ පිටුපස සිටින මහ මොළකරුවෝ කිසිසේත් ම නො කැමැති වන්නාහ. මේ අපරාධය විමර්ශනය කිරීම නැවත ඇරඹීම සමඟ ම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ සහ දේශපාලන බල අධිකාරියේ ආරක්ෂාව ලිහිල් කොට සැලකීම අතිශයින් භයානක බව අපගේ අදහස ය. පාස්කු බෝම්බ ප්‍රහාරයේ මරාගෙන මැරුණු ප්‍රහාරාකයින් අද ජීවතුන් අතර නැති වුව ද මේ අපරාධයේ මහ මොළ කරුවන් තවමත් නිදැල්ලේ ය. ලේ වලට ඉව අල්ලන ත්‍රස්තවාදියා පවතින ආරක්ෂ විධි විධාන අධ්‍යනය කර ඔවුන්ගේ ඉලක්ක සපුරා ගැනීමට සූක්ෂම වනවා ඇත.

ඇමැරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන තැත ව්‍යර්ථ වූයේ කෙස් ගසින් බව ද අමතක නො කළ යුතු ය.

Protected by Security by CleanTalk