Spread the News

පැරීසිය යළි සසල වෙයි

චතුර පමුණුව, කීර්ති වර්ණකුලසූරිය
ප්‍රංශ පොලිසිය හා එරට විශේෂ බළකාය ඊයේ (18දා) අලුයම 4.30 ට පැරිස්‌ නුවර අසල සේන්ට්‌ ඩෙනිස්‌හි මහල් නිවාසයක්‌ වැටලීමේදී සිදුවූ වෙඩි හුවමාරුවකින් එක්‌ ත්‍රස්‌තවාදියකු මරණයට පත්වී ඇති අතර එම ත්‍රස්‌තවාදියා සමඟ සිටි කාන්තාවක්‌ මරාගෙන මැරෙන බෝම්බයක්‌ පුපුරවාගෙන සිය දිවි නසාගෙන ඇත.

ත්‍රස්‌තයා මියගොස්‌ ඇත්තේ ප්‍රංශ විශේෂ බළකා ස්‌නයිපර් තුවක්‌කුකරුවකුගේ වෙඩි ප්‍රහාරයකිනි.

මෙම වෙඩි හුවමාරුවේදී පොලිස්‌ නිලධාරීන් පස්‌දෙනකු තුවාල ලබා ඇති අතර පොලිස්‌ සුනඛයකු ත්‍රස්‌ත වෙඩි පහරින් මරුමුවට පත්ව ඇත.

ඉකුත් සිකුරාදා පැරීසියට එල්ල වූ ත්‍රස්‌ත ප්‍රහාරයේ ප්‍රධාන මොළකරු වන 27 හැවිරිදි අබ්දෙල් හමීඩ් අබාවුඩ් මෙම මහල් නිවාසයේ සැඟවී ඇති බවට ලැබුණු තොරතුරු මත මෙම මෙහෙයුම දියත් කර තිබේ.

මෙහිදී බෝම්බයක්‌ පුපුරවාගෙන සියදිවි නසාගත් කාන්තාව ඒ. කේ. 47 වර්ගයේ තුවක්‌කුවකින් පොලිසියට වෙඩි තබා පසුව තම බෝම්බය පුපුරවාගෙන ඇත.

මෙම වෙඩි හුවමාරුවත් සමඟ විශාල පිපිරීම් ගණනක්‌ සිදුවූ බව බ්‍රිතාන්‍ය ඩේලිමේල් පුවත්පත කියයි.

මෙම මහල් නිවාසයේ සැඟවී සිටි ත්‍රස්‌තයෝ පොලිස්‌ නිලධාරීන් වෙත අත්බෝම්බ ප්‍රහාරයක්‌ද එල්ල කර ඇත. මෙම වෙඩි හුවමාරුවෙන් පසුව ආරක්‍ෂක අංශ මගින් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම තවත් පුද්ගලයන් දෙදෙනකු මහල් නිවාසය අසලදී අත්අඩංගුවට ගෙන ඇත.

පෙ.ව. 7.30 පමණ වනවිට එම ප්‍රදේශයේ වෙඩි හඬ නතරවුවත් පොලිස්‌ හා හමුදා භටයන් මෙහෙයුම්වල නිරත වන බව ප්‍රංශ පුවත් සේවය කියයි.

මෙම සිද්ධිය සිදුවූ මහල් නිවාසය අසල ජීවත්වන අමීන් ගුසාහි ප්‍රකාශ කරන්නේ පැයකට වඩා කාලයක්‌ වෙඩි හුවමාරුවක්‌ සිදුවූ බවයි.