පැහැරගෙන යැම් ශ්‍රී ලංකාවේ දෛනික අංගයක්‌ වෙලා

Spread the News

පැහැරගෙන යැම් ශ්‍රී ලංකාවේ
දෛනික අංගයක්‌ වෙලා

source:
පැහැරගෙන යැම්, අතුරුදන් කිරීම් දැන් ශ්‍රී ලංකාවේ දෛනික ජන ජීවිතයේ අංගයක්‌ වී ඇති බවත් ජන අරගල ව්‍යාපාරයේ ක්‍රියාකාරී දෙපලගේ අතුරුදන්වීම කෙරෙහි සිය බලවත් සැලකිල්ල යොමුවී තිබෙන බවත් එක්‌සත් ජාතික පක්‍ෂයේ නායක සහ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ නිවේදනයක දැක්‌වේ. ජන අරගල ව්‍යාපාරයේ ප්‍රේමකුමාර් ගුණරත්නම් මහතා සහ දිමුතු ආටිගල මහත්මියගේ අතුරුදන්වීමේ

සිද්ධිය පිළිබඳව විපක්‍ෂ නායකවරයා විසින් නිකුත් කර ඇති එම නිවේදනයේ තවදුරටත් මෙසේද දැක්‌වේ.

ජන අරගල ව්‍යාපාරයේ ක්‍රියාකාරී නායකයින් දෙපළක්‌ වන ප්‍රේමකුමාර් ගුණරත්නම් මහතා සහ දිමුතු ආටිගල මහත්මියගේ අතුරුදන්වීම සම්බන්ධව අපගේ බලවත් සැලකිල්ල යොමුවී ඇත.

පැහැරගෙන යැම් සහ අතුරුදන් කිරීම් දැන් ශ්‍රී ලංකාවේ දෛනික ජන ජීවිතයේ අංගයක්‌ බවට පත්වී තිබීමෙන් පැහැදිලි වන්නේ රටේ නීතිය හා ආරක්‍ෂාව ක්‍රියාත්මක වන ආකාරයයි.

පසුගිය මාස හයක කාලය තුළ අතුරුදන්වීමේ සිද්ධීන් 56 ක්‌ වාර්තා වී තිබේ. එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව ජිනීවා නුවර පැවැත්වූ කාල වකවානුව තුළ පමණක්‌ අතුරුදන්වීම් 19 ක්‌ සිදු වුණා. මෙය ඉතා කනගාටුදායක හා භයානක තත්ත්වයකි.

ජාතික වශයෙන් පමණක්‌ නොව ජාත්‍යන්තර වශයෙන් ද රට අවමානයට හා අපකීර්තියට පත් කෙරෙන මේ අතුරුදන්වීම් වළක්‌වාලීමට හෝ එA පිළිබඳව විධිමත් හා නිසි පියවරක්‌ ගැනීමට හෝ එවැනි සිද්ධීන්ට වගකිවයුත්තන් නීතිය ඉදිරියට පැමිණවීමට ආණ්‌ඩුව අසමත් වී තිබේ.

රට වැසියනට නොබියව හා ආරක්‍ෂිතව ජීවත්වීමේ පරිසරයක්‌ සකසා දීම ආණ්‌ඩුවක වගකීමකි. නමුත් මේ ආණ්‌ඩුව නිර්මාණය කර දී ඇත්තේ සාමාන්‍ය ජනතාව, ව්‍යාපාරිකයන්, මාධ්‍යවේදීන් හා දේශපාලන පක්‍ෂ නායකයන් පවා අතුරුදන් කරවන සමාජයකි.