පිත්තල හන්දියේ ත්‍රිවිල් බෝම්බය එල්ටීටීඊ සැකකරුවනට නඩු පවරයි

Spread the News

පිත්තල හන්දියේ ත්‍රිවිල් බෝම්බය

එල්ටීටීඊ සැකකරුවනට නඩු පවරයි

රෝෂන් තුෂාර source:

කොළඹකොල්ලුපිටිය පිත්තල හන්දියේදි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ආරක්ෂක නිලධාරීන් ඉලක්ක කරමින් ත්‍රිවීල් බෝම්බයක් පුපුරුවාහැර හමුදා නිලධාරීන් තිදෙනකු මරණයට පත්කළ එල්ටීටීඊ සැකකරුවන් පස් දෙනකුට එරෙහිව නීතිපතිවරයා ඊයේ (10) කොළඹ මහාධිකරණයේ දී අධි චෝදනා ගොනු කරමින් නඩු පැවරීය.

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මරා දැමීමට තැත්කිරිම, ඒ සඳහා කුමන්ත්‍රණය කිරිම, ආධාර අනුබල දීම, හමුදා නිලධාරින් තිදෙනකු මරණයට පත්කිරිම ඇතුළු චෝදනා යටතේ මේ නඩුව පවරා තිබිණි.

2006 ජුලි මස හා දෙසැම්බර් මාසය අතර කාලය තුළදි දැනට මියගොස් ඇති බාල සිංහම් විජේ කුමාර් නමැති අය සමඟ එක්ව කුමන්ත්‍රණය කැර ත්‍රස්තවාදි කටයුතු කිරිම, දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඩුවම් ලැබිය යුතු වැරැදි සිදු කිරිම ඇතුළු චෝදනා නීතිපතිවරයා ඉදිරිපත් කැර ඇත.

පොන්නසාමි කාතුගේසු සිවාජි, සිවලිංගම් අරූරන්, පද්මනාදන් අයියර්, ශ්‍රි ස්කන්ධ රාජා ශර්මා,හා සෙල්වචන්ද්‍රන් වෙල්ලයියා තලායන් යන සැකකරුවන්ට මේ චෝදනා ගොනු කෙරිණි.