පිර-පාහරන් සහ එළාර රජතුමා
එළාර නම් සොළි කුමාරයෙක් මහා සේනා රැගෙන සිංහලයට ගොඩ බැස ක්‍රි.පූ. 215 සිට 205 දක්වා දැහැමින් රට පාලනය කළ අසේල රජු මරා රජ විය. එළාර රජු පිළිබඳ මහා වංසයේ සඳහන් වන්නේ ද ධාර්මිෂ්ට රජෙකු ලෙස ය. එහි එන එක් කතා පුවතක් මෙසේ ය.
“ රජතෙමේ විනිශ්චය කාලයෙහි සතුරන් කෙරෙහිත් මිතුරන් කෙරෙහිත් මධ්‍යස්ථවී. ඇඳ ඉස පසෙක ඉතා දික් යොතකින් විනිශ්චය කැමතිවුන් විසින් හඬවනු පිණිස මිණියක් එල්වීය. ඒ රජහුගේ එක් පුතෙක් ද එක් දුවක් ද වූහ. ඒ කුමාර තෙමේ රථ නැඟී තිසාවැවට යන්නේ මව් සමග මග ගොස් ඉතා තරුණ වස්සෙකු රියසකින් බෙල්ල ඇක්ස නොදැන මැරූයේය. ඒ දෙන් තොමෝ, කිපීසිත් ඇත්තී ගොස් ඒ මිණිගෙඩිය ගැසුවාය. රජතෙමේ ඒ වක්‍රයෙන්ම පුත්‍රයාගේ හිස් සිඳවි.” (82, 1912 _ මහාවංසය)
සිංහල ජනප්‍රවාදයේ පැවසෙන්නේ එළාර දස රාජ ධර්මයෙන් රජ කළ රජෙකු බව ය. විශේෂයෙන් දුටුගැමුණු රජු පිළිබඳ වීර කාව්‍යයක් වන මහාවංසය පවා ඒ මතය සනාථ කරන බව ඉහත නිදර්ශනයෙන් පැහැදිළි වෙයි.
එළාර ධාර්මිෂ්ට රජෙකු බව කීමට මහාවංසකාර මහානාම හිමි ඔහුගේ පාලන කාලයට අදාළ තවත් සිද්ධි ගණනාවක් සිහිපත් කරයි. එළාර රජු බෞද්ධයෙකු නොවුණත් පෙර සිට එන චාරිත්‍ර කඩ නොකළේ ය. වරක් විහාරයට ගොස් එන අතර ඔහුගේ රිය සක වැදී චෛත්‍යයක කොනක් බිඳිණි. කම්පාවට පත් රජ බිමට බැස සිය හිස මතින් රිය ගෙන යන්නැයි නියෝග කළ ද බෞද්ධ ඇමතිවරු එය වළකාලූහ. සෑය යළි සදා දෙන්නැයි ඉල්ලූ හ. එකල රජතුමා කහවනු 15 000ක් ඒ සඳහා පූජා කළේ ය. වරක් සිය පැටියා සර්පයකු කෑ නිසා දුකට පත් කිරිල්ලියක වෙනුවෙන් ද රජු යුක්තිය ඉටු කළේ ය. තවත් වරක් අකල් වැස්සකින් වී තෙමී අසරණ වූ මැහැල්ක් වෙනුවෙන්, කලට වැසි වාසීවායි සිතා පෙහෙවස් සමාදන්ව කළ සත්‍යක්‍රියා නිසා අකල් වැසි රටට නොලැබිණැයි වංසකතාකරු මහත් අභිරුචියෙන් පවසයි.
රජු මෙතරම් ධාර්මිෂ්ට නම් කුමට ඔහු හා යුද කළේ දැයි කෙනෙකු තර්ක කළ හැකි ය. සැබවින් ම ඔහු කෙතරම් ධාර්මික වුව ද ආක්‍රමනිකයෙකි. ඔහු තවත් ධාර්මික රජෙකු වූ අසේල රජු මරා මෙරට රජ විය. එමෙන් ම එළාර ධාර්මිෂ්ට වුව ද ඔහුගේ සහචරයින්ගෙන් බෞද්ධ ශාසනයට අනේක හානි වූ බව 23 වන පරිච්ඡේදයේ එන නන්දිමිත්‍ර කතා පුවතින් පැහැදිළි වෙයි. ඒ අනුව දුටුගැමුණු එළාර යුද්ධය ජාතිවාදී යුද්ධයක් නොව හුදු ආක්‍රමණිකයාට එරෙහි යුද්ධයක් බව ද පැහැදිලි වෙයි. එහෙත් මෙරට සිටින 4/1 මාක්ස්වාදීන් සහ ඊළාම්වාදීන් දුටුගැමුණු සිංහල ජාතිවාදී නායකයා ලෙසත් එළාර ද්‍රවිඩ ජාතිවාදී නායකයා ලෙසත් නිරූපණය කිරීමට කැමැති ය.
කෙසේ වුව ද විජිතපුර මහ සටනින් එළාර රජ මරණයට පත් කල දුටුගැමුණු රජු විසින් එළාර දේහයට බුහුමන් කර සෑයක දවා එම සෑය පසු කර යන රජෙකු වුව රියෙන් බැස තූර්ය වාදන ආදිය නතර කොට බුහුමන් කළ යුතු යයි ආඥාවක් කළේ ය. එම ආඥාව යුරෝපීය ආක්‍රමණිකයා අපේ රට අල්ලා ගන්නා තුරුම සිංහල රජ දරුවන් ආරක්ෂා කළේ ය. එමෙන් ම සිංහල ඉතිහාසයේ සොහොනක් කළ එකම රජතුමා ද ඔහු ය. අද ද එය ශේෂව තිබේ.
කෙසේ වුව ද එළාර රජුට බුහුමන් කළ බැව් කීමෙන් එදා නැවත වරක් රට එක්සේසත් කිරීමේ ප්‍රීතිය එකල ජනතාව නොසැමරූ බවක් නොපැවසෙයි. ජනතාව එම ජයග්‍රහණය මහත් පෙරහැර කර සැමරූ බව සයිමොන් ද සිල්වාගේ ‘ලංකා කථාව’ කෘතියේ සඳහන් වේ. (37, 2003, විසිදුනු)
එළාර රජුගේ මරණයත් සමග දුටු ගැමුණු රජු අනුගමනය කළ ක්‍රිය මාර්ගය පිටුපස කාරණා කිහිපයක් තිබිණි. පළමුව, එළාර හෙවත් පරාජිතයාගේ ශේෂ්ඨත්වයේ සෙවනැල්ල තිබිණි. හෙතෙම නිතර ම යුක්තිය වෙනුවෙන් පෙනී සිටියේ ය. ඔහු අන්‍යාගමිකයෙක් වුව ද බුදු දහමට සහ මෙරට සංස්කෘතියට ගරු කළ බැව් පැහැදිළි ය. ඔහුගේ හමුදාවේ සිංහලයින් ද සේවය කළේ ය. නන්දිමිත්‍ර යෝධයාගේ මයිලනුවන් වන මිත්‍ර නම් සෙනවියා ඊට නිදසුනකි. එළාර ආක්‍රමණිකයෙක් වුව ද ඔහු සිංහලයින් පිරිසක් ද ඒ වන විට දිනා ගෙන සිටියේ ය. වසර 44ක් මෙරට පාලනය කිරීමේ රහස එයයි.
ආධුනික දුටුගැමුණු මළ එළාරට ගරු කිරීම පිටුපස ජනතාව ඔහු වෙත දිනා ගැනීමේ දේශපාලන උවමනාව තිබිණි. එසේ නොකළා නම් ජන උදහස ඔහු වෙත එල්ල වන්නට ඉඩ තිබිණි. එමෙන් ම ඔහු වෙත බුදු දහම ද බලපෑ බැව් පෙනේ.
කෙසේ වුව ද දුටු ගැමුණු වීර කාව්‍යය මහාවංසය නමින් කළ කතුවරයාට පවා නොතකා හළ නොහැකි වූ ශ්‍රේෂ්ඨ එළාර චරිතය පිර-පාහරන් වන් ත්‍රස්තයෙකුට සම කිරීම එම චරිතයට කළ හැකි විශාලම නින්දාව නොවන්නේ ද?, සිය රිය සක බුදු සෑයක අත් වරදකින් වැදුනයි එම රිය සක සිය ගෙළ මතින් ගෙන යන්නැයි කී ශ්‍රේෂඨ නරපතියෙකුට, දළඳා මාළිගාවට බෝම්බ ලොරියක් එවා, අරන්තලාවේ භික්ෂූන් පෙති ගසා මැරෑ ම්ලේච්ඡයෙකුට සම කිරීමට වඩා කළ හැකි නින්දාව කුමක් ද? එළාර රජුට දුටුගැමුණු රජු ලබා දුන් බුහුමන් පිර-පාහරන්ට ද ලබාදීම ඒ ශ්‍රේෂ්ඨ චරිතයට කළ හැකි අනෙක් නින්දාවයි.