පිල්ලේට එන්න දෙනවාද නැද්ද

Spread the News

පිල්ලේට එන්න දෙනවාද නැද්ද
පක්‍ෂ නායක රැස්‌වීමක්‌ හෙට – යෝජනාව 17 දා පාර්ලිමේන්තුවට

දයා ලංකාපුර source:

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌ නවනීදන් පිල්ලේ මහත්මිය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීම සඳහා පත්කොට ඇති කමිටුවේ සාමාජිකයන්ට මෙරටට පැමිණෙන්නට ඉඩදෙනවාද නැද්ද යන්න තීන්දු කිරීම සඳහා වූ යෝජනාවක්‌ මෙම 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්‌ඩුව කටයුතු කරගෙන යයි.මේ පිළිබඳ යෝජනාව විවාදයට ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කොට තීරණයක්‌ ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායකයන්ගේ

රැස්‌වීමක්‌ හෙට (13 වැනිදා) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත බව පක්‍ෂ නායකයෙක්‌ ‘දිවයින’ට පැවැසීය. මේ අනුව එම යෝජනාව 17 දා ම විවාද කොට සම්මත කර ගැනීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දැනගන්නට ඇත.

මේ අතර නවනීදන් පිල්ලේගේ පරීක්‍ෂණ කමිටුවේ සාමාජිකයන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අවසර නොදිය යුතු යෑයි කියෑවෙන යෝජනාවක්‌ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්‌ විසින් මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ලබාගැනීම අරඹා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි.

එක්‌සත් ජාතීන්ගේ පරීක්‍ෂණ කණ්‌ඩායමට මෙරටට පැමිණෙන්නට ඉඩ දෙනවාද නැද්ද යන්න තීන්දු කිරීමේ වගකීම පාර්ලිමේන්තුවට පැවරීමට තීරණය කොට ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පසුගිය 10 දා මැදිරිගිරිය ජාතික පාසලේ පැවැති උත්සවයකදී ප්‍රකාශ කොට තිබිණි.

එක්‌සත් ජාතීන්ගේ පරීක්‍ෂණ කණ්‌ඩායමට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට ඉඩ දෙනවාද නැද්ද යන්න තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යන යෝජනාව සම්බන්ධයෙන් තම පක්‍ෂයේ තීරණය ජුනි 17 දා පෙරවරුවේ පැවැත්වෙන එජාප පාර්ලිමේන්තු කණ්‌ඩායම් රැස්‌වීමේදී තීරණය කරන බව එක්‌සත් ජාතික පක්‍ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා ‘දිවයින’ට පැවැසීය.

මේ අතර ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය ද 17 දා පෙරවරුවේ රැස්‌වී මෙම යෝජනාව පිළිබඳව තීරණයක්‌ ගැනීමට නියමිත බව එම පක්‍ෂයේ මහ ලේකම් හසන් අලි මහතා පවසයි.