ආරියතිලක
2023.04. 21
“සාසනය රැකීමට තමන් වහන්සේට උවමනාවක් නැති බවත් ශාසනය රකින්න සිටින්නේ තමන් වහන්සේ පමණක් නො වන බවත් පූජ්‍ය වනවාසී රාහුල හිමියෝ ජාතික රූපවාහිනිය සමඟ කළ සාකච්ඡාවකදී සඳහන් කළ බව මාධ්‍ය වාර්තා කර තිබිණි.
තමන් එක් අර්ථයකින් ව්‍යවසායකයෙක් වන බවත් රෝස තිරුවානි කන්ද, නාමල් උයන තමන් මාකට් කරන බවත් උන්වහන්සේ එහිදී තවදුරටත් කියා ඇත.
මේ සාකච්ඡාව ඇසූ විට, තථාගත බුදු රදුන් අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවී වදාළ පසු, මහ කසුප් තෙරුන් වහන්සේ ප්‍රධාන බික් සඟන සම්බන්දව මහා පරිනිර්වාණ සූත්‍රයේ දේශිත සූත්‍ර පාඨයක් සිහි විය.
බුදු රදුන්ගේ ශ්‍රී දේහය දැකීමේ අභිලාශයෙන් පාවා නුවරින් කුසිනාරා නුවර බලා වැඩීමට , පන්සියයක් භික්ෂූන් වහන්සේලා සමඟ දීර්ඝ මාර්ගයට පිළිපන් මහ කසුප් තෙරණුවෝ, එ මඟින් ඉවත් ව එක්තරා රුකක් මුල වැඩ හුන්හ. එ සමයෙහි එක්තරා ආජීවකයෙක් කුසිනාරා නුවර සිට පාවා නුවරට යෑමට මාර්ගයට පිළිපන්නේ මහා කසුප් තෙරුණුවෝ එන්නා වූ ඒ ආජීවකයා දුරදී ම දක්නා ලදහ. මහ කසුප් තෙරුන් වහන්සේ ඒ ආජීවකයාගෙන් විමසන්නේ “ඇවැත්නි, අප ශාස්තෲන් වහන්සේ දනිවු දැ” යි විචාළාහ. “එසේ ය, ඇවැත්නි, දනිමි. අදට මහණ ගොයුමාණෝ පිරිනිවී සත් දවසක් ඇත්තෝ ය. මා විසින් එ තැනින් මේ මදාරා මල ගන්නා ලද යැ” යි ආජීවක කී ය.”
ඒ භික්ෂූන් වහන්සේලා අතර, රාගය ප්‍රහීණ නො කළ යම් භික්ෂූන් වෙත් ද ඒ භික්ෂූහු ශෝක කළහ. අඬා වැළපෙන්නට වූහ. බලවත් ලෙස වැළපෙන්නට වූහ.
, ඒ පිරිසෙහි සිටියා වූ මහළු කල පැවිදි වූ සුභද්‍ර නම් භික්ෂුව , මෙසේ ශෝක කරන, අඬන වැළපෙන අවීත රාග භික්ෂුනට,
“ඇවැත්නි, කම් නැත. ශෝක නොකරව්, .නො වැලැපෙවු. අපි ඒ මහා ශ්‍රමණයා ගෙන් මොනොවට මිදුණම්හ. ‘මෙය තොපට කැප වෙයි, මෙය තොපට නො කැප වේ’ යැ යි අපි ඔහුගෙන් උපද්‍රැතයෝ වමු. දැන් වනාහි යමක් අපි කැමැති වන්නමෝ ද, එය කරන්නමු, යමක් නො කැමැති වන්නමෝ ද, එය නො කරන්නමු”
යි කීය.
මහා පරිනිර්වාණ සූත්‍රයෙහි සුභද්‍ර භික්ෂුවගේ අභද්‍ර වචනය දක්වා ඇත්තේ මෙසේය.
“අලං ආවුසො, මා සොචිත්‍ථ, මා පරිදෙවිත්‍ථ. සුමුත‍්තා මයං තෙන මහාසමණෙන. උපද‍්දුතා ච හොම ඉදං වො කප‍්පති, ඉදං වො න කප‍්පතී’ති. ඉදානි පන මයං යං ඉච‍්ඡිස‍්සාම තං කරිස‍්සාම, යං න ඉච‍්ඡිස‍්සාම න තං කරිස‍්සාමා”ති.”
(දීඝ නිකාය, මහා පරිනිබ්බාන සූත්‍රය)
“සාසනය රැකීමට තමන් වහන්සේට උවමනාවක් නැති බවත් ශාසනය රකින්න සිටින්නේ තමන් වහන්සේ පමණක් නොවන බවත් ” කියන ප්‍රකාශය පිළිබඳව, බුදු රදුන්ගේ ධර්ම විනය අනුව කෙසේ පිළිගත යුතු ද යන්න විමසා බැලීම වටී.
වනවාසී රාහුල හිමියන් බුදු සසුනේ භික්ෂූන් වහන්සේ නමක් වශයෙන් සිටිමින් මෙම ප්‍රකාශය කරන බැවින් මෙය සමස්ත භික්ෂූන් වහන්සේලාගේ මතයක් ලෙස ගත යුතු ද?
තථාගත වහන්සේ ශාස්තෘන් වහන්සේ ලෙස පිළිගන්නා ගිහි උපාසක උපාසිකා පිරිස මෙය පිළිගත යුත්තේ කෙසේ ද යන්න විමසා බැලීම වටී.
යෙ සුප‍්පයුත‍්තා මනසා දළ‍්හෙන,
නික‍්කාමිනො ගොතමසාසනම‍්හි,
තෙ පත‍්තිපත‍්තා අමතං විගය‍්හ,
ලද‍්ධා මුධා නිබ‍්බුතිං භුඤ‍්ජමානා
ඉදම‍්පි සඞ‍්ඝෙ රතනං පණීතං
එතෙන සච‍්චෙන සුවත්‍ථි හොතු.
(ඛුද්දක නිකාය, ඛුද්දපාඨ, රතන සූත්‍රය)
“යමෙක් ස්තීර සිතින් යුතු ව ගෞතම (සම්බුදු) සසුනෙහි මනා කොට යුත්ත වී සියලු කෙළෙසුන් කෙරෙන් දුරු වී (නික්මි), ඔවුහු නිවනට බැස ගෙන අර්හත් ඵල නිවන නො මිලයේ ම වළඳනාහු ය. එය ද සංඝ රත්නයේ ප්‍රණීත වූ රත්න භාවයකි. ඒ සත්‍ය බලයෙන් සෙත් වේවා. “
යනු එහි තේරුම ය
මේ රතන සූත්‍රයේ සත් වෙනි ගාථාව ය. තථාගත බුදු රදුන් විසින් කිසිදු අය පඬුරක් නැති ව, කිසිදු මිළක් අය නො කර,කිසිදු ගුරු පූජාවක් නැතිව, නො මිළයේ ම දෙසන ලද ධර්මයෙන් අර්හත් මඟ ඵල අවබෝධ කර ගත් උතුමෝ නො මිළයේ ම නිවන් සැප වළදනාහු ය. අනෙකුත් මඟ ඵල ලාභී ආර්ය උතුමෝ ද නො මිළයේ ම මඟ ඵල අවබෝධ කරත්. මිළ ගෙ වීමක් නැත . ගුරු පූජාව වශයෙන් අය පඬුරක් නැත.
පෘථවි, ආප, තේජස්, වායු යන සතර මහා භූතයන්ට (ශුද්ධාෂ්ටක රූප කලාපවලට), සතර මහා භූතයන්ගෙන් හට ගත් දෙයට, ගල් කඳුවලට ගල් කුළු වලට ආර්ය මාර්ගයෙන් තොර ව, වටිනා කම් සෑදීමට බුදු රජුන්ගේ බුදු සසුනෙහි ඉඩක් තිබේ ද යන්න විමස බැලිය යුතු ය. නො මිලයේ ම නිවන් සැප වළඳන සංඝ රත්තය, ඇතැම් භික්ෂූන් වහන්සේලා සතර මහා භූත රූපයන්ට (ශුද්ධාෂ්ටක රූප කලාපයන්ට) මිළ සෑදීමට (මකට් කිරීමට) උත්සාහ කිරීම, විවිධ මාර්ග ඔස්සේ මිළ ඇති කිරීම කරත්. එවැනි කටයුතු බුදු රදුන්ගේ ධර්ම විනයට අනුව එකඟ ද යන්න පැහැදිලි කර ගැනීම නො වුන හොත් ධර්ම විනයට පටහැනි දේ හරි දේ වශයෙනු ත්, ධර්ම විනයට පටහැනි නො වන දේ වැරදි දේ වශයෙනු ත් ගෙන ජනතාව මුලාවට වැටීමට නො වැළැක්විය හැකි ය.
බාහිර දේ රැකීම කළ ද බුදු රදුන්ගේ ධර්ම විනයට අනුව සාසනය නො රැක්කේ ද එවිට වෙන්නේ දෙළොව ම පිරිහී ම ය. ඇසුරු කරන සැම දෙනාට ම වන්නේ ද පිරිහීම ය.
සාසනය යනු කුමක් ද? සාසනය නම් බුදු රදුන්ගේ වචනය ය.
සාසන යන පාළි වචනයෙහි අවවාදය, අනුශාසනාව, පණිවිඩය, ධර්මය යන අරුත් දේ.
බුදු රදුහු මුල් වර්ෂ විස්ස කාලයේ උදේ සවස මහ සඟ රුවනට, ඕවාද පාතිමෝක්ෂයෙන් අනුශාසනා කොට වදාළහ. ඒ ඕවාද ප්‍රාතිමෝක්ෂය නම්-
1.ඛන‍්තී පරමං තපො තිතික‍්ඛා
නිබ‍්බානං පරමං වදන‍්ති බුද‍්ධා
න හි පබ‍්බජිතො පරූපඝාතී
සමණො හොති පරංවිහෙඨයන‍්තො.
2.සබ‍්බපාපස‍්ස අකරණං-
කුසලස‍්ස උපසම‍්පදා,
සචිත‍්තපරියොදපනං –
එතං බුද‍්ධාන සාසනං.
3.අනූපවාදො අනූපඝාතො- පාතිමොක‍්ඛෙ ච සංවරො,
මත‍්තඤ‍්ඤුතා ච භත‍්තස‍්මිං- පන‍්තඤ‍්ච සයනාසනං,
අධිචිත‍්තෙ ච ආයොගො-
එතං බුද‍්ධාන සාසනං~
මෙම ගාථා තුනෙහි 2 වන 3 වන ගාථාවල අවසන් පාදය වන
“එතං- බුද‍්ධාන සාසනං.”
යන පාදය අරුත මේ බුදුවරුන්ගේ අනුශාසනාව, දේශනාව,හෙවත් අවවාදය යන්නයි.
“එතං බුද්ධානං සාසනං ” යන පාළිය “එතං බුද්ධාන සාසානං ” ලෙස බුද්ධානං වචනයේ නිග්ගහීතය ලොප් වී සිද්ධ වී ඇත.
මෙය සියලු තථාගතයන් වහන්සේලාගේ අනුශාසනාව, කෙබඳු ද යන්න, කුමක් අරභයා තථාගතයන් වහන්සේලා විසින් වාදාරන ලද්දේ ද යන්නට පිළිතුරු ලෙස ගත හැකි දේශනවක් අඞ‍්ගුත‍්තරනි කායෙහි, සත‍්තක නිපාතයෙහි සත්ථුසාසන සුත්‍රයෙහි ඇත්තේ ය.
“යෙ ච ඛො ත්වං උපාලි, ධම‍්මෙ ජානෙය්‍යාසි: “ඉමෙ ධම‍්මා එකන‍්තනිබ‍්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ‍්ඤාය සම්බෝධාය නිබ‍්බානාය සංවත‍්තන‍්තී”ති, එකංසෙනුපාලි, ධාරෙය්‍යාසි: එසො ධම‍්මො, එසො විනයො, එතං සත්ථුසාසනන‍්ති.”
(අඞ්ගුත්තර නිකාය සත්තක නිපාත විනය වර්ගය)
යන සූත්‍රයෙහි තථාගතයන් වහන්සේ විසින් උපාලි තෙරුන් වහන්සේට වදාරා ඇතතේ;
“උපාලියෙනි, මෙ දහම්හු ඒකාන්ත කළකිරීම පිණිස,
විරාගය පිණිස,
නිරෝධය පිණිස, ක්ලේශව්‍යපශමය පිණිස, අභිඥානය පිණිස,
සම්බෝධිය පිණිස,
නිර්‍ර්වාණය පිණිස,
පවත්නාහයි තෝ යම් ධර්ම කෙනෙකුන් දනිහි නම්, උපාලියෙනි, තෙල ධර්මය වේ, තෙල විනය වේ, තෙල ශාස්තෘශාසනය වේ යයි ඒකාන්තයෙන් ධරවයි”
යන ලෙස ය. මේ මෙහි සිංහල තේරුම ය.
මේ සූත්‍රයෙහි “සත්‍ථුසාසනන‍්ති” යන ශාස්තෲ සාසනය නම් බුදු රදුන්ගේ අනුසාසානාව ය; තථාගත දේශනාව ය; සම්බුදු රදුන්ගේ අවවාදය ය.
තත් සූත්‍රයට අරුත් කියන මනෝරථපූරණී අඞගුත්තර නිකායට්ඨකථාවෙහි ඉහත සූත්‍ර පාඨයට මෙසේ අරුත් දක්වා ඇත.
“නිබ්බිදායාති වට‍්ටෙ උක‍්කණ‍්ඨනත්ථාය. විරාගායාති රාගාදීනං විරජ‍්ජනත්ථාය. නිරොධායාති අප‍්පවත‍්තිකරණත්ථාය. වූපසමායාති කිලෙසවූපසමාය අප‍්පවත‍්තියා. අභිඤ‍්ඤායාති තිලක‍්ඛණං ආරොපෙත්‍වා අභිජානනත්ථාය. සම‍්බොධායාති මග‍්ගසඞ‍්ඛාතස්සම‍්බොධස්ස අත්ථාය. නිබ‍්බානායාති නිබ‍්බානස‍්ස සච‍්ඡිකරණත්ථය”
(මනොරථපූරණී අට්ඨකථා හේවාවිතාරණ මුද්‍රණය පිට 735)
“නිබ්බිදාය යනු භවයෙහි උකටලීවීම හෙවත් කළකිරීම සඳහායි,
විරාගාය යනු රාගාදියේ නොඇලීම සඳහායි,
නිරොධාය යනු නොපැවැත්ම කරනු සඳහායි.
වූපසමාය යනු කෙලෙස් සංසිඳීම සඳහායි,
නොපැවැත්ම සඳහායි, අභිඤ්ඤාය යනු ත්‍රිලක්ෂණයට නඟා මනාව දැනීම පිණිස ය. සම්බොධාය යනු මාර්ගය නමැති සම්බෝධිය සඳහායි,
නිබ්බානාය යනු නිවන පසක් කරනු සඳහායි.”
සම්බුදු රදුන්ගේ ශාසනය හෙවත් අවවාදය, අනුශාසනාව කුමක් පිණිස ද යන්න ඉහත සූත්‍ර සහ අටුවා පාඨයෙන් පැහැදිලි ය.
සම්බුදු රදින්ගේ ශාසනය ත්‍රිවිධ ය. එනම් පර්යාප්ති ශාසනය, ප්‍රතිපත්ති ශාසනය, ප්‍රතිවේධ ශාසනය ය. මේ ත්‍රිවිධ ශාසනයෙහි, තථාගත බුදු රදුන් විසින් පන්සාළිස් වසක් මුළුල්ලේ දෙසන ලද සහ බුදු රදුන් විසින් අනුදක්නා ලද ශ්‍රාවක (බුදු නුවණින් අනුමත වූ), භාසිත සියල්ල පර්යාප්ති ශාසනය නම් වේ.
ප්‍රතිපත්ති ශාසනය නම් තථාගත දේශනාව අනුව සතර මඟ සතර ඵලයෙන්ට පූර්වයෙහි වූ ධර්ම විනයට අනුකූල ව පවත්වන ප්‍රතපත්තිය ය.
ප්‍රතිවේධ ශාසනය නම් සෝතාපන්න අදී සතර මඟ සතර ඵල අවබෝධ කිරීමය . නිෂ්ඨාව අරහත් ඵලය වේ.
ඉහත දැක්වූ රතන සූත්‍ර ගාථාවෙහි
“ඉදම්පි සංඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු.”
යන පාද දෙකෙහි ” මෙය ද සංඝ රත්නයෙහි ප්‍රණීත වූ රත්න භාවයකි. ඒ සත්‍ය බලයෙන් සෙත් වේවා” යන සෙත් පැතීම, සඟ ගුණ බලයේ ආනුභාවයෙනි.
එසේ නම් බුදු රදුන් වදාළ සඟ ගුණ දක්වා ඇති පාඨය අනුව සංඝ රත්නයේ අරුත් සෙවිය යුතු ය. සංඝ යනු සමූහය ය. සඟ ගුණ පාඨයේ සඳහන් සඞඝ නම් තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සඞඝ වූ සඞඝ සමූහය ය. සඟ ගුණ පාඨය තථාගත බුදු රදුන් විසින් බොහෝ සූත්‍ර වල වදාරා ඇත්තේ ය.එසේම ඒ සඟ ගුණ පාඨය විස්තරාර්ථ වශයෙන් ද තථාගතයන් වහන්සේ විසින් වදාරන ලදී. එක හා සමාන ලෙස සඟ ගුණ පාඨය වදාළ සූත්‍ර අතරින් සංයුත‍්ත නිකායෙහි සගාථවර්ග සක්ක සංයුත‍්තයෙහි ධජග්ග සූත්‍රයෙහි
“සුපටිපන‍්නො භගවතො සාවකසඞ‍්ඝො.
උජුපටිපන‍්නො භගවතො සාවකසඞ‍්ඝො.
ඤායපටිපන‍්නො භගවතො සාවකසඞ‍්ඝො.
සාමීචිපටිපන‍්නො භගවතො සාවකසඞ‍්ඝො.
යදිදං චත‍්තාරි පුරිසයුගානි, අට‍්ඨපුරිස පුග‍්ගලා,
එස භගවතො සාවකසඞ‍්ඝො, ආහුනෙය්‍යො පාහුනෙය්‍යො දක‍්ඛිණෙය්‍යො අඤ‍්ජලිකරණීයො අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්සා”ති.
යනුවෙන් වදාළ සඟ ගුණ පාඨයෙන් කියවෙන් සඞඝ රත්නයේ පිළිබඳව තථගතයන් වහන්සේ මෙසේ වදාරා ඇත්තේ ය.
“යාවතා භික‍්ඛවෙ, සඞ‍්ඝා වා ගණා වා, තථාගතසාවකසඞ‍්ඝො තෙසං අග‍්ගමක‍්ඛායති. යදිදං චත‍්තාරි පුරිසයුගානි අට‍්ඨපුරිසපුග‍්ගලා එස භගවතො සාවකසඞ‍්ඝො ආහුනෙය්‍යො පාහුණෙය්‍යො දක‍්ඛිණෙය්‍යො අඤ‍්ජලිකරණීයො අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්ස. යෙ භික‍්ඛවෙ, සඞ‍්ඝෙ පසන‍්නා, අග‍්ගෙ තෙ පසන‍්නා. අග‍්ගෙ ඛො පන පසන‍්නානං අග‍්ගො විපාකො හොති.”
(අග‍්ගප‍්පසාද සූත්‍රය, අඞ‍්ගුත‍්තරනිකාය, චතුක‍්ක නිපාතය, පඨමො පණ‍්ණාසක සහ මේ සූත්‍ර පාඨය ඛුද‍්දකනිකාය,ඉතිවුත‍්තක පාළි තිකනිපාතය, පඤ්චම වර්ගයෙහි ද ඇත්තේ ය. )
මෙහි සිංහලාර්ථය මෙසේ ය.
මහණෙනි, යම් පමණ සඟහු හෝ වෙත් ද, ගණහු හෝ වෙත් ද, තථාගතශ්‍රාවකසඞ්ඝ ඔවුනට අග්‍රය යි කියනු ලැබේ. යම් සතර පුරුෂයුග කෙනෙක් වෙත් ද,
අෂ්ට ආර්ය පුද්ගල කෙනෙක් වෙත් ද, බුදුන් ගේ මේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ ආහුණ්‍යෙය සඞ්ඛ්‍යාත සත්කාරයට නිසිය, පාහුණ්‍යෙය සඞ්ඛ්‍යාත ආගන්තුක සත්කාරයට නිසිය. දක්ෂිණාවට නිසිය. අඤ්ජලිකරණයට නිසිය, ලෝකයාහට අනුත්තර පුණ්‍යක්ෂේත්‍රය වෙයි.
මෙබඳු ශ්‍රාවකසඞ්ඝයා යි. මහණෙනි, යම් කෙනෙක් සඟුන් කෙරෙහි ප්‍රසන්න වෙත් ද,
ඔහු අග්‍රස්ථානයෙහි ප්‍රසන්නයහ. අග්‍රස්ථානයෙහි ප්‍රසන්නයනට අග්‍රවිපාකයෙක් වෙයි.
තථාගත බුදු රදුන් විසින් දේශනා කොට වදාරන ලද ආහුණ්‍යෙය වූ, පාහුණ්‍යෙය වූ , දක්ඛිණ්‍යෙය වූ, අඤ්ජලිකරණීය වූ, ලෝකයාට අනුත්තර පුණ්‍යක්ෂේත්‍ර වූ ලෙස සඞ්ඝ රන්නයට, භික්ෂූන් වහන්සේලාට මේ ගුණ පද හිමි වීමට, මේ ගුණ පද භාවිතා කිරීමට සුදුසු කම,වශයෙන් කරුණු පහකින් සමන්විත බව තථාගත බුදු රදහු වදාළහ.
එකි කරුණු පස නම් මේ බුදු සසුනෙහි භික්ෂූන් වහන්සේ
ශීල සම්පන්න වෙයි,
සමාධි සම්පන්න වෙයි,
පඤ්ඤා සම්පන්න වෙයි,
විමුත්ති සම්පන්න වෙයි,
විමුක්ති ඤාණ දස්සන සම්පන්න වෙයි
යන කරුණු පස ය.
මේ පිළිබඳව තථාගත බුදු රදහු
සීල සම්පන්න සූත්‍රයේ මෙසේ වදාළ සේක.
“පඤ‍්චහි භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු ආහුනෙය්‍යො පාහුනෙය්‍යො දක‍්ඛිණෙය්‍යො අඤ‍්ජලිකරණීයො අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්ස. කතමෙහි පඤ‍්චහි?
ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සීලසම‍්පන‍්නො හොති, සමාධිසම‍්පන‍්නො හොති, පඤ‍්ඤාසම‍්පන‍්නො හොති, විමුත‍්තිසම‍්පන‍්නො හොති, විමුත‍්තිඤාණදස‍්සනසම‍්පන‍්නො හොති.
ඉමෙහි ඛො භික‍්ඛවෙ, පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු ආහුනෙය්‍යො පාහුනෙය්‍යො දක‍්ඛිණෙය්‍යො අඤ‍්ජලිකරණීයො අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්සාති.”
(අඞ‍්ගුත‍්තරනිකාය, පඤ‍්චකනිපාත තතියං පණ‍්ණාසකං. ඵාසුවිහාර වග‍්ග)
සැවැත්නිදානයි
මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත මහණ ආහුනාර්හ වෙයි, පාහුණාර්හ වෙයි, දක්‍ෂිණාර්හ වෙයි, අඤ්ජලිකරණාර්හ වෙයි, ලෝකයාට අනුත්තර පිං කෙත වෙයි. කවර පසෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ සීලසම්පන්න වෙයි, සමාධිසම්පන්න වෙයි, ප්‍රඥාසම්පන්න වෙයි, විමුක්තිසම්පන්න වෙයි, විමුක්තිඥානදර්ශනසම්පන්න වෙයි.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්වගත මහණ ආහුනාර්හ වෙයි, පහුණාර්හ වෙයි, දක්‍ෂිණාර්හ වෙයි, අඤ්ජලිකරණාර්හ වෙයි, ලෝකයාට අනුත්තර පිං කෙත (පුණ්‍යක්ෂේත්‍ර) වේ ය යි.
යනු මෙහි සිංහලාර්ථය ය.
ලොව යම්තාක් හේතු පත්‍යයෙන් හටගත් ධර්ම වේ නම් ඒ සියලු ධර්මයහි ආර්ය අෂ්ටාංගික මාර්ගය අග්‍ර යයි තථගතයන් වහන්සේ විසින් වදාළහ.
ඒ බැව් “අග්ගප්පසාද සූත්‍රයෙහි
“යාවතා භික‍්ඛවෙ, ධම‍්මා සඞ‍්ඛතා, අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො තෙසං අග‍්ගමක‍්ඛායති.”
( අඞ‍්ගුත‍්තරනිකාය, චතුක‍්ක නිපාතය, සහ ඛුද‍්දක නිකාය,ඉතිවුත‍්තක පාළි )
මහණෙනි, යම් පමණ හේතුයෙන් නිපන් දහම්හු ඇත් ද, ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔවුනට අග්‍රය යි කියනු ලැබේ.
යනු එහි අදහස ය.
සාරච්චසමුච්චය නම් චතුභාණවර අට්ඨකථාවෙහි
“අග්ගප්පසාදං සුත්තං චෙත්ථ සාධකං- වුත්තං හේතං “යාවතා භික‍්ඛවෙ, ධම‍්මා සඞ‍්ඛතා, අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො තෙසං අග‍්ගමක‍්ඛායති” ති එවමාදි- චතුබ්බිධඅරියමග්ගසම්ඞ්ගීනං චතුසාමඤ්ඤඵලසමාධිවාසිතඛන්ධසත්තා නානඤ්ච පුග්ගලානං
සමූහො දිට්ඨිසීලසංඝාතේන සංහතත්තා සඞඝො”
(චතුභාණවරට්ඨකථා හේවාවිතාරණ මුද්‍රණය පිට 07)
“අග්ග්ප්පසාද සූත්‍රය යන මෙහි මේ සාධකය කියන් ලද්දේ ය. ය්මහණෙනි, යම් පමණ හේතුයෙන් නිපන් දහම්හු ඇත් ද, ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔවුනට අග්‍රය යි කියනු ලැබයි යන මේ ආදී චතුර්විධ ආර්ය මාර්ගයෙන් යුත්ත වූ සතර ශ්‍රමණ ඵලයන් සමඟ ඉවසන ලද ස්ඛන්ධ සන්තාන ඇති පුද්ගලයන්ගේ දෘෂ්ටිය සහ සීලය නැසීමෙන් ස්ථීර වූ බැවින් සඞඝ යනු වේ.”
යනු සිංහල අරුත් වේ.
සංෂිප්තයෙන් දැක්වූ සූත්‍ර සහ අටුවා පාඨ අනුව සම්බුද්ධ සාසනය යනු තථාගත දේශනාව අනුව අවිච්ඡින්නවූ සඞඝ රතනයේ පැවැත්ම ය. ඒ පැවැත්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව පවත්වනවා හැර වෙන ආකාර නැත්තේ ය. ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩීම, භාවිතා කිරීම පිණිස භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා වහන්සේලා උදෙසා විනය අනුදැන වදාළහ. සම්බුද්ධ ශාසනයාගේ ආයුෂය විනය බව ප්‍රථම සංගීතිකාරක මහරහතුන් වහන්සේලා විසින් අනුදක්නා ලදහ. ඒ බව සමන්තපාසාදිකා විනය අටුවාවෙහි දක්වා ඇත්තේ මෙසේ ය.
“විනයෝ නාම බුද්ධසාසනස්ස ආයු”
විනයං ඨිතෙ සාසනං ඨිතං හොති”
(සමන්තපාසාදිකා විනය අට්ඨකථා හේවාවිතාරණ මුද්‍රණය පිට 07)
එහි තේරුම නම්
“විනය බුද්ධ ශාසනයාගේ ආයුෂය වේ,
විනය සිටිකල්හි ශාසනය සිටියේ වේ”
තථාගත සම්බුදු රජාණන් වහන්සේ කශ්‍යප මහරතුන් වහන්සේ විසින් අසන ලද පැනයකට පිළිතුරු ලෙස, තථාගත සම්බුදු රජාණන් වහන්සේ
සද‍්ධම‍්මපතිරූපක සුත්‍රය වදාළ හ. එම සූත්‍ර දේශනාවෙන් කොටසක් මෙහි දක්වමු. සුත්‍රය සම්පූර්ණ ලෙස අධ්‍යනය සඳහා සංයුත‍්ත නිකාය, කස‍්සප සංයුත්තයෙහි
සද‍්ධම‍්මපතිරූපක සූත්‍රය කියවීමෙන් බලා ගත හැකි ය.
“න ඛො කස‍්සප, පඨවීධාතු සද‍්ධම‍්මං අන‍්තරධාපෙති.
න ආපොධාතු සද‍්ධම‍්මං අන‍්තරධාපෙති.
න තෙජොධාතු සද‍්ධම‍්මං අන‍්තරධාපෙති.
න වායොධාතු සද‍්ධම‍්මං අන‍්තරධාපෙති.
අථ ඛො ඉධෙව තෙ උප‍්පජ‍්ජන‍්ති මොඝපුරිසා යෙ ඉමං සද‍්ධම‍්මං අන‍්තරධාපෙන‍්ති.
සෙය්‍යථාපි කස‍්සප, නාවා ආදිකෙනෙව ඔපිලවති, න ඛො කස‍්සප, එවං සද‍්ධම‍්මස‍්ස අන‍්තරධානං හොති.
පඤ‍්ච ඛො මෙ කස‍්සප, ඔක‍්කමණියා ධම‍්මා සද‍්ධම‍්මස‍්ස සම‍්මොසාය අන‍්තරධානාය සංවත‍්තන‍්ති. කතමෙ පඤ‍්ච?
ඉධ කස‍්සප, භික‍්ඛූ භික‍්ඛුනියො උපාසකා උපාසිකායො සත්‍ථරි අගාරවා විහරන‍්ති අප‍්පතිස‍්සා, ධම‍්මෙ අගාරවා විහරන‍්ති අප‍්පතිස‍්සා,
සඞ‍්ඝෙ අගාරවා විහරන‍්ති අප‍්පතිස‍්සා,
සික‍්ඛාය අගාරවා විහරන‍්ති අප‍්පතිස‍්සා,
සමාධිස‍්මිං අගාරවා විහරන‍්ති අප‍්පතිස‍්සා.
ඉමෙ ඛො කස‍්සප, පඤ‍්ච ඔක‍්කමණියා ධම‍්මා සද‍්ධම‍්මස‍්ස සම‍්මොසාය අන‍්තරධානාය සංවත‍්තන‍්ති.”
මෙම සූත්‍ර පාඨයෙහි සිංහලාර්ථය නම්:
කස්සප, පඨවිධාතුව සදහම් අතුරුදන් නො කෙරෙයි.
ආපෝධාතුව සදහම් අතුරුදන් නො කරයි.
තේජෝධාතුව සදහම් අතුරුදන් නො කෙරෙයි.
වායෝධාතුව සදහම් අතුරුදන් නො කෙරෙයි.
වැලි, යම් කෙනෙක් මේ සදහම් අතුරුදන් කෙරෙද්ද, ඒ හිස් පුරුෂයෝ මේ සසුනෙහි ම උපදිත්.
කස්සප, යම් සේ නැව වඩාලා බඩු ගැණීමෙන් ම ගිලේ ද, කස්සප, එසෙයින් (පරියත්ති ආදීන් පිරීමෙන්) සදහම් අතුරුදන් නො වේ.
කස්සප, පිරිහීමට හේතු වන මේ දහම් පසෙක් සදහම්හුගේ නැසීම පිණිස අතුරුදන් වීම පිණිස පවතී. කවර පසෙක් ද යත්.
කස්සප, මේ සසුන්හි භික්‍ෂූහු භික්‍ෂුණීහු උපාසකයෝ උපාසිකාවෝ ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තාහු යටත් පැවතුම් නැත්තාහු වෙසෙත්.
ධර්මය කෙරෙහි ගෞරව නැත්තාහු යටත් පැවතුම් නැත්තාහු වෙසෙත්.
සඞ්ඝයා කෙරෙහි ගෞරව නැත්තාහු යටත් පැවතුම් නැත්තාහු වෙසෙත්
ශික්‍ෂාව කෙරෙහි ගෞරව නැත්තාහු යටත් පැවතුම් නැත්තාහු වෙසෙත්.
සමාධිය කෙරෙහි ගෞරව නැත්තාහු යටත් පැවතුම් නැත්තාහු වෙසෙත්.
කස්සප, පිරිහීමට හේතු වන මේ දහම් පස සදහම්හුගේ නැසීම පිණිස, අතුරුදන් වීම පිණිස පවතී.
මෙය සම්පාදනය කිරීමේදී තථාගතයන් වහන්සේගේ දේශනාව සහ ආචරිය මතය (අටුවා) ගෙනහැර දැක්වීමට උත්සුක වීමු. එ මගින් තථාගතයන් වහන්සේගේ ධර්ම විනයට අනුව මේ පිළිබඳව සෙවිමට, විමසීමට, ගවේශනයට බොහෝ දෙනාට මඟ පෑදෙනු ඇතැයි අපි හඟිමු.