Spread the News

පොදු අපේක්‍ෂකයා ලෙස මා පත් කිරීම පිළිබඳව
එක්‌සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ සෙසු පක්‍ෂවලට
ස්‌තුතිය පළකරනවා

– මෛත්‍රීපාල සිරිසේන කියයි

ජරාජීර්ණ දේශපාලනය අවසන් කළ යුතුයි
– රාජිත
දේශපාලන ඩයස්‌පෝරාවෙන් රට ගලවා ගන්නවා
– චන්ද්‍රිකා


ඊයේ පුවත්පත් සාකච්ඡාවේදී.. පින්තූරය-කමල් බෝගොඩ

ඉදිරියේදී පිහිටුවන ආණ්‌ඩුවේ අගමැතිවරයා ලෙස විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පත්කරන බව පැවසූ මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්‍ෂකයා ලෙස පත්කිරීම පිළිබඳව එක්‌සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ සෙසු පක්‍ෂවලට ස්‌තුතිය පළකරන බව ද පැවසීය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය, ධීවර ඇමැති රාජිත සේනාරත්න, අධ්‍යාපන සේවා ඇමැති දුමින්ද දිසානායක, බුද්ධ ශාසන නියෝජ්‍ය ඇමැති එම්. කේ. ඩී. එස්‌. ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අර්ජුන රණතුංග, මහාචාර්ය රජීව් විඡේසිංහ, වසන්ත සේනානායක යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් “සුපිරිසිදු නායකත්වයක්‌, මෛත්‍රී පාලනයක්‌” යන තේමාව යටතේ මේ මාධ්‍ය සාකච්ඡාව පැවැත්විණි.

දූෂණය, වංචාව රටෙන් තුරන් කර ස්‌වාධීන අධිකරණයක්‌, ස්‌වාධීන අපක්‍ෂපාතී රාජ්‍ය සේවයක්‌ ඇතිකර දූෂිත මැතිවරණ ක්‍රමය අහෝසි කරන බව ද සැබෑ මාධ්‍ය නිදහසක්‌ රටේ ඇති කරන බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී පැවැසීය.

තමන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම්වරයා ලෙස වසර 13 ක්‌ තිස්‌සේ කටයුතු කරන බව කී ඒ මහතා තමන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට සම්බන්ධ වී වසර 47 ක්‌ බව ද පැවැසීය.

රට තුළ ඇති කළ යුතු ප්‍රජාතන්ත්‍රවාදී වෙනස්‌කම් ඇති කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය හා එක්‌සත් ජාතික පක්‍ෂය එක්‌ව එකඟතාවයක්‌ ඇති කරගෙන තිබෙන බව ද පැවසීය.

අද වන විට රටේ ආර්ථිකය පාලනය, දේශපාලන පක්‍ෂ කළමනාකරණය එක පවුලක්‌ විසින් අල්ලාගෙන තිබෙනවා. අද රටේ පාලනය සොඳුරු ආඥාදායකයකු අතට පත්වෙලා. ඊට විරුද්ධව පක්‍ෂයේම පිරිසක්‌ මෙලෙස එක්‌ වුණා යෑයි ද පැවසූ මෛත්‍රීපාල සිරිසේන මහතා සිගරට්‌ පැකට්‌ටුවේ රූපමය අවවාදයේ ගැටලුවක්‌ හා ඖෂධ පනත සම්බන්ධ ප්‍රශ්නයේදී තමන් දැඩි ලෙස බලපෑම්වලට ලක්‌ව අසරණ වූ බව ද හැඟීම්බරව ප්‍රකාශ කළේය.

නීතිය, සාධාරණය, යුක්‌තිය රජයන රටක්‌ සඳහා ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයාට ඡන්දය ලබා දෙන ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ඒ මහතා පැවැසීය.

මෙහිදී අදහස්‌ දැක්‌වූ ධීවර ඇමැති රාජිත සේනාරත්න මහතා

මම ආණ්‌ඩුවෙන් ඉවත් වුණේ ඕනෑම දෙයකට මුහුණ දීමේ අරමුණින්. මට තවම මගේ කියා වාහනයක්‌ නැහැ. කොළඹ ගෙයක්‌ නැහැ. මගේ ඇමැති ධුරයට අදාළව අමාත්‍යාංශයෙන් ලබාදුන් වාහනයත් භාර දෙනවා.

මම හම්බකරගත්ත දෙයක්‌ නැහැ. මට පෝස්‌ටරයක්‌වත් ගහගන්න සල්ලි නැහැ.

මේ පවතින ජරාජීර්ණ දේශපලනය අවසන් කළ යුතුයි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය අදහස්‌ දක්‌වමින් මෙසේ කීවාය.

අද වසර 9 කට පස්‌සේ මම මගේ නිහඬතාවය බිඳලා යම් තරමකින් දේශපාලනයට පිවිසෙන්න තීරණය කළා. ඒ මම වින්ඳ වධ හිංසා නිසාම නොවේ. ඒවා මතක්‌ කරන්න මම කැමැති නැහැ. මට අවශ්‍ය රටට ඇති වී තිබෙන අවාසනාවන්ත භාවයෙන් හා අපේ පක්‍ෂයට අත් වී තිබෙන ඉරණමෙන් එය ගලවා ගන්නයි. හරියටම කියනවා නම් මම මැදිහත් වූයේ දේශපාලන ඩයස්‌පෝරාවෙන් රට ගලවා ගන්නයි. මේ පක්‍ෂය මේ තරම් දුර රැගෙන ආවේ බොහෝ දෙනෙකුගේ ජීවිත පවා කැප කරලයි. ශ්‍රීලනිපය ජනතාවගේ පක්‍ෂයක්‌. ජනතා පුත්‍රයන්ට තැන දුන්න පක්‍ෂයක්‌. හොරකමට ඉඩ දුන්න පක්‍ෂයක්‌ නොවෙයි.

යුද්ධය දිනපු මනුස්‌සයා පේන්න නැහැ. ඒක පෙන්න පෙන්න මේ අය වැජඹෙනවා. රාජ්‍ය සේවකයන්ගේ වැටුප අවුරුදු ගාණකින් වැඩි වෙලා නැහැ. ජීවන වියදම අහස උසට නැගලා. අපි පාරේ යනකොට මිනිස්‌සු ඇවිත් කියනවා මිනීමැරුම් දූෂණය අද රජ කරනවා. පොලිස්‌ සේවය බාල්දු කරලා. අධිකරණයේ ස්‌වාධීනත්වය ගැන කතා කරලා වැඩක්‌ නැහැ.

මේ ඇති වී තිබෙන දූෂණයට විරුද්ධව කිසි කෙනෙකුට කතා කරන්න බැහැ. කථා කළොත් සුදු වෑන් ඇවිත් උස්‌සන් යනවා. නැත්නම් පාරවල්වල මරලා දාලා තිබුණු අවස්‌ථාත් තිබුණා.

රට වෙනුවෙන් හිතලා මෙවැනි තීන්දුවක්‌ ගැනීම ගැන මම මේ හැම දෙනාටම ස්‌තුතිවන්ත වෙනවා.