Spread the News

පොදු අපේක්‌ෂක මෛත්‍රීපාල

1951 සැප්තැම්බර් මස 3 වැනිදා උපත ලැබූ මෛත්‍රීපාල සිරිසේන පොලොන්නරුව රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. කුන්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලයෙන් කෘෂිකර්මය හැදෑරු ඔහු ග්‍රාම නිලධාරියකු ලෙස සේවය කළේය. 1967 දී තම පාසල් දිවියේම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයට බැඳුණු මෛත්‍රීපාල සිරිසේන මහතා මුලින්ම මැතිවරණ වේදිකාවක කතාවක්‌ කළේ 1969 පොලොන්නරුව නගර සභාව සඳහා පැවැති මැතිවරණයේදීය.

1970 පාසල් ශිෂ්‍යයකු ලෙස එවකට පැවති මහ මැතිවරණයේදී සක්‍රිය දායකත්වයක්‌ ලබාදුන් ඔහු 1979 දී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ දිස්‌ත්‍රික්‌ ලේකම්වරයකු ලෙස පත් කෙරිණි.

ඉන්පසු 1981 දී ඔහු පොලොන්නරුව ආසනයේ සංවිධායක ලෙස පත් කෙරුණේ සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය විසිනි. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ සමස්‌ත ලංකා තරුණ සම්මේලනයේ භාණ්‌ඩාගාරික ලෙස 1981 වසරේදීම පත්වූ මෛත්‍රිපාල සිරිසේන 1983 දී එම සම්මේලනයේ සභාපති තනතුරට පත්විය.

1983 දී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ දේශපාලන මණ්‌ඩලයට තේරී පත්වූ ඒ මහතා පක්‌ෂයේ උප ලේකම්වරයකු ලෙස කටයුතුකරමින් සිට 2001 වසරේදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ ප්‍රධාන ලේකම් තනතුරට පත්විය. ඊයේ වනවිටත් ඔහු එම තනතුරු හෙබවීය.

1989 පෙබරවාරි 15 දා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් මුලින්ම පාර්ලිමේන්තුවට පිවිසි ඒ මහතා එතැන් සිට මේ දක්‌වාම අඛණ්‌ඩව වසර විසිපහක්‌ පාර්ලිමේන්තුව නියෝජනය කරයි.

1994 දී වාරිමාර්ග නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස පත්වූ ඒ මහතා 1997 දී මහවැලි සංවර්ධන ඇමැතිවරයා ලෙස පත්විය. 2001 වසරේදී මහවැලි සංවර්ධන හා පාර්ලිමේන්තු කටයුතු ඇමැතිවරයා ලෙස පත්විය.

2004 වසරේ නැවත මහවැලි සංවර්ධන ඇමැතිවරයා ලෙස පත්වූ ඔහු 2005 මහින්ද රාජපක්‌ෂ රජයේ කෘෂිකර්ම, වාරිමාර්ග මහවැලි, ස්‌වාභාවික සම්පත් හා පරිසර ඇමැතිවරයා ලෙස කටයුතු කළේය. 2008 වසරේදී මරාගෙන මැරෙන ත්‍රස්‌ත ප්‍රහාරයකින් නූලෙන් දිවි ගලවා ගත්තේය.

ඔහු ඊයේ වනවිටත් සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.

ඊයේ මාධ්‍ය හමුවේ විවිධ අවස්‌ථා ඡායාරූප වලින් දැක්‌වේ.

ජනිත සෙනවිරත්න
ඡායාරූප – කමල් බෝගොඩ