Spread the News

පොලිස්‌ බුද්ධි අංශය වෙත තොරතුරු
පුත්තලම සැරයන් ඝාතනයේ
පිරිසකට දේශපාලන රැකවරණ

හේමන්ත රන්දුණු
source:
පුත්තලම නගර මධ්‍යයේදී පොලිස්‌ කොස්‌තාපල්වරයකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් ප්‍රධාන පෙළේ සැකකරුවන් කීප දෙනෙකු ප්‍රදේශයේ දේශපාලනඥයන්ගේ රැකවරණය ලබමින් සැඟවී සිටින බවට පොලිස්‌ බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇත.

මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් බේරා දෙන ලෙස කියමින් ඇතැම් දේශපාලනඥයන් උසස්‌ පොලිස්‌ නිලධාරීන්ට ආයාචනා කරන බවද වාර්තාවෙයි. මේ සම්බන්ධයෙන් “දිවයින” කළ විමසීමකදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති පුජිත් ජයසුන්දර මහතා කියා සිටියේ මෙම කෲර මිනිස්‌ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් කිසිවකුටත් සමාවක්‌ ලබා නොදෙන බවයි.

පොලිස්‌ නිලධාරියා කපා කොටා ඝාතනය කරනු ලැබූ සංවිධානාත්මක කණ්‌ඩායමට සම්බන්ධ සියලුම සැකකරුවන් පිළිබඳව තොරතුරු ලැබී ඇති බවත් ඔවුන් සියලු දෙනා ඉදිරි දින කීපය ඇතුළතදී අත්අඩංගුවට ගෙන දැඩි දඬුවම් ලබාදීමට කටයුතු කරන බවත් ඒ මහතා පවසයි.

මෙම ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු ඇතුළු සැකකරුවන් 21 දෙනෙකු ඊයේ වන විට අත්අඩංගුවට ගෙන තිබිණි.

රහස්‌ පොලිසිය රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකය ඇතුළු විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් කීපයක්‌ මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වාගෙන යයි.