Spread the News

පොලිස්‌ සැරයන්ට ශෝකය පළකර
ඊයේ පුත්තලමේ කඩ සාප්පු වැසේ
source:
හේමන්ත රන්දුණු සහ නලින් හෙන්දුරුගොඩ, සුබසිංහ බණ්‌ඩාර

සංවිධානාත්මක පිරිසකගේ ප්‍රහාරයෙන් ඝාතනයට ලක්‌වූ පොලිස්‌ සැරයන්ගේ අවසන් කටයුතු සිදු කළ ඊයේ (24 වැනිදා) දිනයේ ඊට ශෝකය පළ කිරීම සඳහා පුත්තලම නගරයේ සියලුම කඩසාප්පු වසා දමා තිබිණි.

පුත්තලම නගරයේ සිංහල ජාතික ව්‍යාපාරිකයෝ සිය වෙළෙඳසල් මුලින්ම වසා දමා පොලිස්‌ නිලධාරියාගේ මරණයට ශෝකය පළකළහ. පසුව පුත්තලම මුස්‌ලිම් ව්‍යාපාරිකයන්ද වෙළෙඳසල් වසා දමා තිබිණි. ඒ අනුව පුත්තලම නගරයේ පිහිටි 600 කට ආසන්න කඩ සාප්පු වසා දමා තිබූ අතර වාහන ගමනාගමනයද අඩාලවී තිබිණි.

මේ අතර පොලිස්‌ නිලධාරියා ඝාතනය කිරීමට විරෝධය පළකරමින් පුත්තලම නගරයේ තරුණයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ප්‍රධාන බස්‌ පොළේ දැවැන්ත විරෝධතාවක්‌ පැවැත්වීමට ඊයේ කටයුතු සූදානම් කර තිsබිණි.

එහෙත් පුත්තලම ප්‍රදේශයට පැමිණ සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති පුජිත් ජයසුන්දර මහතා කළ ඉල්ලීමකට අනුව එම විරෝධතාව පැවැත්වීම නතර කිරීමට තරුණයෝ පියවර ගත්හ.

පුත්තලම නගරයම ඊයේ සුදු කොඩි වලින් සරසා තිබූ අතර පොලිස්‌ නිලධාරියාගේ මරණයට ශෝකය පළ කරමින් විවිධ බැනර් ද ප්‍රදර්ශනය කර තිබිණි.

ප්‍රදේශයේ ආරක්‍ෂාව සඳහා යුද හමුදාව, නාවික හමුදාව, පොලිස්‌ විශේෂ කාර්ය බළකාය සහ පොලිසිය යොදවා තිබූ බව පොලිස්‌ ආරංචිමාර්ග කියා සිටියේය.

ඡායාරූපය :- නලීන් හෙන්දුරුගොඩ