Spread the News

පොලිසිය සහ හමුදාව මට අමානුෂික ලෙස පහර දුන්නා
– හිටපු ජනාධිපති
source:

* මාලදිවයින කෞතුකාගාරයේ තිබූ ඓතිහාසික
බුද්ධ ප්‍රතිමා සහ පුරාවස්‌තු රැසක්‌ කලහකාරීන් විසින් විනාශ කරලා

* හිටපු ජනාධිපති අබ්දුල් ගයුම්ගේ සගයන් ඇමැති ධුරවලට පත් කෙරේ

* නෂිඩ්ගේ ආධාරකරුවන් සියයකට පොලිසිය පහර දීලා

* මාලදිවයින හිටපු ආරක්‍ෂක ඇමැති තොල්හාන්
ඉබ්‍රාහිම් අත්අඩංගුවට ගන්නැයි වරෙන්තුවක්‌

* නෂිඩ් පත් කරගෙන තිබුණේ ගයුම්ගේ ගෝලයන්ලු

මාලදිවයිනේ හිටපු ජනාධිපති නෂිඩ් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක්‌ ප්‍රකාශයට පත්වීමත් සමගම මාලදිවයින අර්බුදය වර්ධනය වී ඇත. නෂිඩ් බලයෙන් පහ කිරීමේ කුමන්ත්‍රණයේ සුලමුල දැන් හෙළිවී ඇති අතර හිටපු ජනාධිපති අබ්දුල් මයුමි ගයුම්ගේ සගයන් නව රජයට පත්කර තිබේ. ගයුම්ගේ අධිකරණ ඇමැති ලෙස කටයුතු කළ මොහමඩ් ජමිල් නව ස්‌වදේශ ඇමැති ලෙස පත්වී ඇත. එසේම ගයුම්ගේ ජාතික ආරක්‍ෂක සේවා ප්‍රධානියා වූ මොහමඩ් කසිම් නව ආරක්‍ෂක ඇමැති ලෙස පත් කර ඇතැයි හෙළි විය. ගයුම්ගේ ආගමන විගමන පාලක වූ හුසෙන් ඉබ්‍රාහිම් යළිත් වරක්‌ ආගමන පාලක ලෙස පත්විය. 2008 දී ගයුම්ගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ කළමනාකරු මයුඩ් ඉමාඩ් නව ජනාධිපති මාධ්‍ය ලේකම් වී තිබේ. එසේම ගයුම්ගේ ප්‍රකාශයාව ක්‍රියා කළ මොහමඩ් ශරිප් නව ජනාධිපති වහිඩ්ගේ වැඩබලන ප්‍රකාශකයා වී ඇත.


හිටපු ජනාධිපති නෂිඩ්ව පිරිවරාගත් ආධාරකරුවන්

මහෙස්‌ත්‍රාත් අධිකරණයක්‌ ගිනිගනිද්දී

පොලිසිය ප්‍රහාරයකට සූදානම් වී


මේ පසුබිම මැද නෂිඩ්ගේ ආරක්‍ෂක ඇමැති ලෙස ක්‍රියා කළ තොල්හාන් ඉබ්‍රාහිම්ව ද අත්අඩංගුවට ගන්නැයි වරෙන්තුවක්‌ ප්‍රකාශයට පත්වී තිබේ. මෙලෙස හිටපු ජනාධිපති ගයුම්ට පක්‍ෂපාතී නව රජය නෂිඩ්ව අල්ලා ගැනීමට උත්සාහ කිරීම නිසා ඔහුගේ බිරිය වූ ලයිලා සහ දියණියන් දෙදෙනා ශ්‍රී ලංකාවේ රැකවරණ පතා පැමිණ ඇත. මේ අතර මාලේ නුවර සිය නිවසේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක්‌ ඇමතූ නෂිඩ් පොලිස්‌ හා හමුදා නිලධාරීන් 80 ක්‌ රජය වෙනස්‌ කිරීමට උත්සාහ කළ බවත් ඔවුන් තමාට අමානුෂික ලෙස පහර දුන් බවත් කියා සිටියේය.

“මාලදිවයින අද බරපතළ තත්ත්වයකට පත්වෙලා. අධිකරණ සේවා කොමිසම පවා පැවසුවේ විනිසුරු අබ්දුල්ලා එම ධුරයට සුදුසු නැතැයි කියලයි. මාලදිවයින ජාතික ආරක්‍ෂක බළකායේ හමුදා නිලධාරීන් පිරිසක්‌ හමුදා අවි ගබඩාව විවෘත කරන්නැයි මට කියා සිටියා. ඔවුන් පැවසුවා විරෝධතාකරුවන්ට ප්‍රතිචාර දක්‌වන්නම් කියලා. මා ඊට එකඟ වූයේ නැහැ”යෑයි නෂිඩ් පැවසුවේය.

මාලදිවයින ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ සභාපති රීකා මුසෝ පොලිස්‌ පහරදීම්වලට ලක්‌වී දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන අතර ඔහු පැවසුවේ උඹව මරා දාන්න අපට ඕනෑ”යෑයි පොලිසිය ඝෝෂා කළ බවයි. මේ තත්ත්වය මැද බාලදිවයිනේ දූපත් 10 ක දැඩි කලබල ඇතිවී ඇත. මෙම කලබල සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්‌වූ නව ස්‌වදේශ ඇමැති මොහමඩ් ජමිල් මාලදිවයින ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ විරෝධතාකරුවන්ට ත්‍රස්‌තවාදී චෝදනා එල්ල කර දඬුවම් පමුණුවන බව පළ කළේය.

මෙලෙස මාලදිවයිනේ කලබලකාරී තත්ත්වය උත්සන්න වී ඇති අවස්‌ථාවක මාලදිවයින ජාතික කෞතුකාගාරයට කඩාවැදුණු හය දෙනකුගෙන් යුත් කණ්‌ඩායමක්‌ බෞද්ධ පුරාවස්‌තු රැසක්‌ විනාශ කර තිබේ.

මෙලෙස විනාශ කළ පුරාවස්‌තු අතර අලිවු කොදෙව් දූපතේ තිබී සොයාගත් 11 වැනි සියවසට අයත් ශෛලමය බුද්ධ ප්‍රතිමාවේ හිස ද වේ. මෙය කොරල්වලින් නිර්මාණය වූවකි. එසේම බොහෝමාලා පෞරාණික ලියවිලි ද හින්දු ජල දෙවියා වූ මකරාගේ කැඩී ගිය කොටසක්‌ ද විනාශ කර ඇත.

බෞද්ධ යුගය මාලදිවයින වෙත පැමිණි බවට ලත් මෙම පුරාවිදු සාක්‍ෂි ආවරණය කර තිබූ වීදුරු කූඩුව ද විනාශ කර තිබේ.

මෙයට සම්බන්ධ හය දෙනකු පොලිස්‌ අත්අඩංගුවට ගෙන ඇත. මෙම ඓතිහාසික පුරාවස්‌තු විනාශ කර ඇත්තේ ඉස්‌ලාමීය අන්තවාදීන් යෑයි හිටපු ජනාධිපති නෂිඩ් පවසයි. පකිස්‌තානය ඇතුළු සාක්‌ කලාපීය රටවල් විසින් 17 වැනි සාක්‌ සමුළුව ආරම්භවීමට පෙර මෙම පුරාවස්‌තු මාලදිවයිනට තෑගි කර තිබිණි.

පසුගිය දෙසැම්බර් 23 වැනිදා ආගමන කණ්‌ඩායම් හා විරුද්ධ පක්‍ෂයේ පිරිස්‌ විසින් මෙම පුරාවස්‌තු ඉවත්කරන ලෙස ඉල්ලා තිබිණි. මේ සම්බන්ධව මාලදිවයින කෞතුකාගාරයේ ප්‍රකාශකයකු පවසා ඇත්තේ පැරැණි පුරාවස්‌තු රැසක්‌ මාලදිවයිනට අහිමි වූ බවයි.

මේ අතර වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්‌වී දෙමසක්‌ තුළ මැතිවරණයක්‌ පවත්වන්නැයි හිටපු ජනාධිපති නෂිඩ් විසින් නව ජනාධිපතිගෙන් ඉල්ලා ඇත.

තමාව අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් වූවත් මාලදිවයින දමා පිටව යන්නේ නැතැයි පැවසූ නෂිඩ් පොලිසිය එනතුරු බලා සිටින බව පළ කළේය. මාල දිවයිනේ හමුදාපති ලෙස ක්‍රියා කළ මේජර් ජනරාල් මුසා අල් සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමත් සමග නව හමුදාපති ලෙස මේජර් ජනරාල් අහමද් ෂියාඩ් පත්වී ඇත.

අලුත්ම ආරංචි මාර්ග දක්‌වන්නේ මාලදිවයින ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයට සම්බන්ධ සියයකට අධික පිරිසක්‌ පොලිස්‌ අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මාලදිවයිනේ සිදුවූ මෙම කුමන්ත්‍රණය සම්බන්ධව ඉන්දියානු රජය නිහඬව බලා සිටින බව වාර්තාවේ. මෙයට පෙර මෙරට ප්ලොට්‌ ක්‍රියාකාරීන් පිරිසක්‌ හා මාලදිවයින හමුදා නිලධාරීන් කීප දෙනකු දියත් කළ කුමන්ත්‍රණය ඉන්දීය රජය විසින් ඔපරේෂන් කැක්‌ටස්‌ මෙහෙයුම යටතේ ව්‍යාර්ථ කෙරිණි.

කීර්ති වර්ණකුලසූරිය