පෝප්තුමාගේ අවවාදය හා 13 වන සංශොධනය

Spread the News

පෝප්තුමාගේ අවවාදය හා 13 වන සංශොධනය

“එක පවුලක් ලෙස ජීවත්‌වන්න යයි” පෝප්තුමා ලංකාවාසීන්ට අනුශාසනා කර ගියේය. ඉන්පසු දිනක ඉස්ලාම් ත්‍රස්තවාදීන් ප්‍රංශ කාටූන් පත්තර කන්තෝරුවට පහරදුන් සිද්ධිය ගැන එතුමා කියා සිටියේ “යමෙක් ඔබේ අම්මාට අපහාස කලොත් ඊට යම් ප්‍රතිචාරයක් ඔහු විසින් ඔබගෙන් (මූණට තදබල පාරක් හෝ වෙඩි උණ්ඩයක්) බලාපොරොත්තු වියයුතු බවය.” මේ දෙකෙන් ලංකාවාසීන්ට දුන් අවවාදය කොළඹ කාඩිනල්තුමා විසින් පෝප්තුමාට ලියාදුන් කථාවේ තිබුණ දෙයක් විය යුතුය. දෙවන කියමන ක්‍ෂණයකින් ඉබේම එතුමාගේ හිතට ගලා ආ අදහසක් විය යුතුය. පුදුමයකට මෙන් එය “ඇහැට ඇහැක්” යන පරණ බයිබල් කථාවද සිහිකරවයි.

කෙසේ වෙතත් මේ අවවාද දෙක ලංකාවේ 13 වන සංශොධනය ආශ්‍රයෙන් සලකා බලන්නට මට සිතුනේ ලංකාව ථේරවාද බුද්ධාගමේ මධ්‍යස්ථානය කරන්නට අගමැති රනිල් මහතා විසින් දැන් අළුතින්ම යෝජනාකර ඇති නිසාය. මා සලකන්නේ මේවා පුස් යෝජනා නොහොත් ඇස්බැන්ඳුම් කියාය. ඊට හේතුව රනිල් “ඒකීය රටක් තුල සම්පූර්‍ණ ස්වයංපාලනයක් 13-ඒ යටතේ උතුරු-නැගෙනහිර පලාත්‌වලට දෙන්නට යනවා නම්” එවිට බුද්ධාගමටත්, සිංහල බෞද්ධයින්ටත් වෙන්නේ අබසරණ නිසාය. ජනාධිපතිවරයා හා චම්පික රණවක හැරෙනවිට රනිල්ගේ කැබිනට් එකේ සිටින කිසිම කෙනෙක් 13 සංශොධනයට විරුද්ධ නැත. මේ නිසා රනිල් හා චන්ද්‍රිකා 1994-2005 කාලයේදී රටට කරන්නට ගිය නැස්පත්තිය දැන් 2015 දී කරන්නට යාමෙන් වැලැක්‌වීමට සිංහල බෞද්ධ බලවේගය සීරුවෙන් සිටිය යුතුය.

රනිල්ට අවස්ථාව ලැබුණේ සෝම හාමුදුරුවන්ට පසුව යටගොස් තිබූ සිංහල බෞද්ධ බලය බොදු බල සේනාව විසින් යළි මතුකරලීම නිසාය. මාදුළුවාවේ සෝභිත හිමියන් හඬ නැගුවේ මේ බලයමය. රතන හාමුදුරුවන් නිර්භීතව ජනාධිපතිව එලවනවා කිව්වේද ඒ බලය නිසාමය. අහිංසක නියම ගැමි සිංහල බෞද්ධයෙක් සොයා ගත හැකිවූයේ මහින්ද රාජපක්‍ෂ රජයේ දූෂණ නිසාය. මේ නිසා සිංහල බෞද්ධයින්ගේ ඇසට වැලිගසා රට කැඩීමට හැකිවෙතැයි රනිල් හා මංගල නොසිතිය යුතුය.

මෙහිදී ඉතාමත් වැදගත් වෙනත් හදිසි කටයුතු රැසක්ම තිබියදී මේ 13-ඒ වැඩේට, ලබන පාර්ලිමේන්තු චන්දයට පෙර අතනොගසන ලෙස බලකර සිටීමය. දින 100 තුල මෙයට අතගැසීමට ඉඩදීම රටේ විනාශයට මුල වනු ඇත. පසුගිය ජනාධිපති මැතිවරණය මේ 13-ඒ සම්බන්‌ධයෙන් දුන් ජනතා තීරණයක් නොවේ. එම මැතිවරණයේදී කවුරුවත් කතා නොකල තහනම් වචනයවූයේ 13-ඒ යන වචනයය. මේ නිසා ඒ ගැන දැන් පස්සා දොරෙන් කතා කිරීම ලිච්චවි ක්‍රමයටද පටහැනි සද්භාවයෙන් තොර ක්‍රියාවකි. රාජපක්‍ෂලාගේ දූෂණ පස්සේ එලවන එක ජනප්‍රිය මාධ්‍ය සංදර්‍ශනයක් කර, යටින් හොර රහසේ, කඩිමුඩියේ 13-ඒ සෙල්ලම ක්‍රියාත්මකවන බව මහජනයාට නොතේරේ.
සාධාරණ (රීසනබල්) හා අසාධාරණ අවවාද

කොළඹ කාඩිනල් වරයා විසින් ලියා පෝප්තුමා විසින් කියවූ අවවාදය හා පෝප්තුමා විසින් ක්‍ෂණික පිලිතුරක් වශයෙන් ප්‍රංශ කාටූන්කරුවන්ට දුන් අවවාදය එකිනෙකට පටහැනිය. ලංකාවේ දුප්පත් සිංහල කතෝලිකයින්, සිංහල බෞද්ධයින්, දෙමල හින්දුන්, දෙමල කතෝලිකයින්, මුස්ලිම්, මැලේ හා බර්‌ගර් ජනයා එකපවුලක් ලෙස ජීවත්‌වන්නේ නැද්ද? එසේ ජීවත් නොවනවා යයි කියන්නේ කවුද? එසේනම් ඊට හේතු මොනවාද? මේ නිසා ලංකාවේදී පෝප්තුමා නොමග යැවීම අසාධාරණය. ප්‍රංශ සිද්ධියේදී එතුමාගෙන් ඇසූ ප්‍රශ්නයට දුන් ක්‍ෂණික උත්තරය සාධාරණය. මොන මාධ්‍ය නිදහසක් යටතේ හෝ අනිත් ආගමකට අපහාස කිරීම හේතු ඵල න්‍යාය අනුව එතුමා විග්‍රහ කලේය. මෙවැනි විග්‍රහයක් කොළඹ කතෝලික කාඩිනල් වරයා විසින් කර නැත. මේ මගින් ඔහු සිංහල බෞද්ධයින්ට අසාධාරණයක් කර ඇත.

අයුතුලෙස, සදාචාර ව්‍රෝධීලෙස කරගෙනයන අන්‍යාගම්වලට හැරවීම, හලාල් අර්බුදය, ෂාරියා ආක්‍රමණය, අන්තවාදීන් ලෙස ජාතික හෙළ උරුමය හා බොදු බල සේනාව හංවඩු ගැසීම, දෙමල රටක් පිහිටුවා ගැනීමට ඇති ලෝක ව්‍යාපාරය යන මේවා ගැන කාඩිනල් පෝප්තුමාට කිව්වාද? බුරුමයේ විරතු හාමුදුරුවන් බෞද්ධ ත්‍රස්තවාදියෙක් ලෙස ටයිම් සඟරාවේ මුල්පිටුවේ දැම්මාට බුරුම වැසියා බුරුමයේ ඇමෙරිකන් තානාපති කාර්‍ය්‍යාලයට ගල් ගැසුවාද? බැමියන් බුදු පිලිම මුළු ලෝකයටම වටිනා ඓතිහාසික වස්තු වුවත් ඒවා විනාශකලාට බෞද්ධයින් ඉස්ලාම් පල්ලි වලට ගල් ගැසුවාද?

දෙමල පවුල

එක පවුලක් ලෙස එකමුතුව ඉන්නට නම් පවුල් දෙකක් ලෙස නොසිතන ලෙස පෝප්තුමා නොකිව්වේ ඇයි? ලෝක දෙමල සංවිධානය ලෝකයේ වෙනම දෙමල රටක්, ටැමිල්නාඩ් වල නොව ලංකාවේ හදාගන්නට ක්‍රියාකිරීම නිසා සිංහල ජනයා බලවත් මානසික ආතතියකට පත්‌වී සිටිනා බව කාඩිනල් පෝප්ගෙන් සඟවා ඇත. ඊට හේතුව කාඩිනල්ද රටකැඩීමේ ව්‍යාපාරයට හවුල් නිසා නොවේද? මේ ගැන සිතාගෙන යනවිට මුළු දෙමල බෙදුම්වාදී ව්‍යාපාරයම දෙමල ක්‍රිස්තියානි ව්‍යාපාරයක් බව පෙනීයයි. එය ඉන්දියාව කැබලිකිරීමේ ලෝක ක්‍රිස්තියානි ව්‍යාපාරයේම කොටසකි.

කාඩිනල් පවුල විනාශ කිරීමට උඩින් හා යටින් ක්‍රියාකරන ගමන් පෝප් ලවා බණ දේශනාකිරීම ලංකාවේ ජනාධිපතිට දිරච්ච ලණුදීමක් නොවේද? තමන්ගේ දෙමල නිජභූමියක් ලංකාවේ තිබෙනවායයි කියන චෙල්වනායගම් නම් ක්‍රිස්තියානිකරුගේ මතය අනුමත කරන කාඩිනල්, 13-ඒ ක්‍රියාවට යොදවන්න යයි කියන්නේ පවුල එකමුතුකරන්නද? රනිල් විසින් ගෙනයන බොරු ප්‍රචාරයක් නම් 13-ඒ ක්‍රියාවේ යෙදවීමට අළුත් ආණ්ඩුව එකඟවීසිටිනවා යන්නය. මෙය බොරුවක් බව චම්පික රණවක පෙන්වා දේ. ලිච්චවි රජවරු මෙසේ බොරු කිව්වේ නැත.
කාඩිනල් විසින් වටිකන්වලට මාසිකව වාර්‌තා යවනවා නම් දන්වා යැවියයුතු දෙයක් වන්නේ 13-ඒ විසඳුමක් නොවන බව ඒබ්‍රහම් සුමන්තිරන් විසින් කියන බවය. සුමන්තිරන් වැනි ටී එන් ඒ එකේ ඉන්නා මධ්‍යස්ථ, රීසනබල් කෙනෙක් මෙසේ කියනවානම්, රනිල් හදන්නේ පිලිකාවට මස් කවා පිලිකාව සුවකරන්න හැකිය කියමින් සිංහලයා රැවටීමට සිතීම නොවේද? එසේ නැත්නම් රනිල් හදන්නේ 13-ඒ හරහා සුමන්තිරන්ලාට ඊලම් වේදිකාව සදාදීම නොවේද? මහින්ද රාජපක්‍ෂ කලින් කාඩිනල් හා එකතුව 13-ඒ වේදිකාව සදාදී ගියේය.

මේ පෝප්-කාඩිනල් එකගෙයි කෑමේ කතාවේ සවුත්තුම දෙය, බොදු බල සේනාව අන්තවාදී සංවිධානයක් ලෙස නොකියා කීමය. කාඩිනල් නියම සත්‍යය නොදන්නවා නොවේ. මහින්ද රාජපක්‍ෂ රජය ඉස්ලාම් අන්තවාදය ලංකාවේ පැතිරයාමට ඉඩදී නිහඬව සිටියේ මුස්ලිම් චන්ද කෑදරකම නිසාය. ඒ මගින් සිංහලයාට, සිංහල බෞද්ධයාට වන විනාශය ගැන පෙන්වාදීම නිසා බොදු බලය ක්‍රිස්තියානි හෝ මුස්ලිම් මූලධර්‍මවාද සමග සමාන කල හැකිද?

ෂාරියා නීතිය ලංකාවේ පවුල්කෑමට ගැලපේද? පෝප් විසින් ප්‍රංශයේ ෂාරියා නීතිය අනුමත කරනවා යයි ඔහු ප්‍රංශයට දුන් අවවාදයෙන් අදහස් නොවේ. ඔහු කියන්නේ අහක යන නයි ඇඳුම ඇතුලට දා නොගන්නා ලෙස වැනි කතාවකි. එහෙත් ලංකාවේ තැන තැන ඉස්ලාම් ජනපද/බලකොටු පිහිටුවා ගැනීමට ඉඩ දිය හැකිද?

එක පවුලක් සේ සිටීමට ධනවත් කතෝලික පල්ලියෙන් කල හැකි දේවල් කීපයක්ම ඇත. ඉන්දියන් ජාතික ජුසේ වාස් ශාන්තුවරයෙක් වූයේ ලන්දේසිකාලයේ ඔහු ලංකාවට පැමිණ කතෝලික ආගම රැකගත් නිසානම් ඔහුට ඒ සඳහා රැකවරණය ලබාදුන් සිංහල බෞද්ධයින් හා සිංහල රජවරුන් අමතක කල හැකිද? අඩුතරමින් මේ නිසාවත් පෘතුගීසීන් ආගම වෙනුවෙන් ලංකාවේ කල මිනිස් සංහාරය ගැන පෝප්තුමාට සමාව ගන්නට ඉඩ තිබුණි. ඒ වෙනුවට සිදුවූයේ ඉන්ටර්ෆේත් (සර්‍වාගමික) රැස්වීමක් වගේ දෙයක් කැඳවීමය. සර්‍වබලධාරී දෙවියෙක් පිලිනොගන්නා බුද්ධාගම හා ඒබ්‍රහම් හා සම්බන්‌ධ ආගම් අතර එකමුතුවීමක් විය හැකිද? මේ ඉන්ටර්ෆේත් හා බහු ජාතික කතාව නිසා සිංහල බෞද්ධයින් විශාල පිරිසක් මහින්ද රාජපක්‍ෂ මහතාට නැතිවිය.