Spread the News

පෝරකය ඉදිරිපිට නතර වූ සී/ස බඩෝවිට කුඩු සමාගම

මෙරට සිටි දැවැන්තම මත් කුඩු ජාවාරම්කරුවා යෑයි කී ගම්පොළ විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදාට ඉකුත් බදාදා කොළඹ මහාධිකරණය මගින් මරණීය දණ්‌ඩනය නියම කරනු ලැබීය.

ඔහුට මෙසේ දඬුවම් නියම කිරීමට පෙර මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා දඬුවම් නොකිරීම සඳහා නිදහසට යමක්‌ කීමට තිබේදැයි අවසන් වශයෙන් වෙලේ සුදාගෙන් විමසා සිටියේය.

“ස්‌වාමීනී.. මම නිර්දොaෂයි.. මම වරදක්‌ කළේ නැහැ.. මේ නඩුව පොලිසිය මට දැම්මේ අතින් කුඩු දාලයි..” මහාධිකරණ විනිසුරුවරයාගේ විමසීම හමුවේ අවසන් ප්‍රකාශය ලෙස වෙලේ සුදා කියා සිටියේ එවැන්නකි.

එහෙත් ඔහු එසේ සඳහන් කළද ඒ වන විට අදාළ නඩු විභාගයේදී සාධාරණ සැකයෙන් තොරව වෙලේ සුදාට එරෙහිව තිබූ චෝදනා ඔප්පු කිරීමට පැමිණිල්ල සමත්ව සිටියේය.

එහෙයින් සිය තීන්දුව ප්‍රකාශ කළ මහාධිකරණ විනිසුරුවරයා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා තීරණය කරන දිනක සහ වේලාවක ගම්පොළ විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නමැති වරදකරු වැලිකඩ බන්ධනාගාරයේ බිත්ති හතරක්‌ ඇතුළත ප්‍රාණය නිරුද්ධ වන තුරු එල්ලා තැබිය යුතු යෑයි සඳහන් කරමින් ඔහුට මරණීය දණ්‌ඩනය නියම කළේය.

සැබැවින්ම ඔහු අධිකරණය ඉදිරියේ කී ලෙස වෙලේ සුදා නිර්දොaෂී පුද්ගලයෙක්‌ද? ඔහු පෝරකය දක්‌වා ගිය ඒ ගමන ඇරඹෙන්නේ කොතැනින්ද?

එය ඉකුත් 2008 වර්ෂය විය. පොලිස්‌ වාර්තා අනුව එකී කාලසීමාව වන විට මෙරට මත් කුඩු ජාවාරමේ හිනිපෙත්තටම ළඟා වී සිටි වෙලේ සුදා ගල්කිස්‌ස බඩෝවිට ප්‍රදේශය සිය රාජධානිය කරගනිමින් ගාල්ල සහ මාතර ප්‍රදේශ ඇතුළුව කතරගම දක්‌වාම තමන්ගේ කුඩු පැකට්‌ එක බෙදා හරින්නට තරම් දක්‍ෂයකු වී සිටියෙකි.

පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උකුසු ඇස මුල් වරට දැඩි ලෙස ඔහු වෙත යොමු වන්නේ මෙකී කාලයේදීය. “සර් වෙලෙයා දැන් දවසට කුඩු කිලෝ එකහමාරක්‌ විතර පැකට්‌ කරනවා.. ඒවා රට වටේ බෙදන්න වෙනම බයික්‌ ටීම් එකකුත් ඉන්නවා.. බඩෝවිට ගමේ වැඩි දෙනෙක්‌ දැන් රස්‌සාවට කරන්නේ වෙලෙයගේ කුඩු පැකට්‌ කරන එක සර්.. ඌ සල්ලි විසි කරලා මුළු ගමම අල්ලගෙන ඉන්නේ සර්..”

මේ අන්දමින් විවිධ ඔත්තුකරුවන්ගෙන් පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් වෙත ලැබෙන්නට වූ තොරතුරු එසේ පොලිසියේ උකුසු ඇස වෙලේ සුදා වෙත යොමු වන්නට ප්‍රධානම හේතුව වී තිබිණි.

මේ අනුව ඉකුත් 2008 වසරේ මුල සිටම පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් කණ්‌ඩායමක්‌ වෙලේ සුදා කොටු කර ගැනීමට සුදානමින් ඔහු පසුපස ලුහු බඳින්නට වූහ. පොලිස්‌ පරීක්‍ෂක රංගජීව එම කණ්‌ඩායමේ නායකත්වය ගෙන සිටියේය.

එහෙත් පොලිසිය කොතෙක්‌ ලුහු බැන්දද වෙළේ සුදා කොටු කර ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක්‌ නොවිනි. එසේ වුවද පොලිස්‌ පරීක්‍ෂක රංගජීව ඇතුළු පිරිස සිය උත්සාහය අත් හැරීමට සුදානම් නොවූහ. ඔවුන් ඉතාම රහසිගතව වෙලේ සුදා පිළිබඳ ටිකින් ටික වැදගත් තොරතුරු රැස්‌ කරන්නට විය.

එහිදී වෙලේ සුදා යනු ඔත්තුකරුවන් කී ලෙසම දිනකට මත් කුඩු කිලෝ ග්‍රෑම් එකහමාරක්‌ පමණ බෙදා හරිමින් මහා පරිමාණයෙන් ජාවාරම කරගෙන යන බවත් එහිදී තමන්ගේ ගමන් බිමන් සඳහා සුඛෝපභෝගී මෝටර් රථ පහක්‌ පමණ භාවිතා කරන ඔහු ආරක්‍ෂිත පියවරක්‌ ලෙස අතරමගදී වාහනයෙන් වාහනයට මාරු වීම පුරුද්දක්‌ වශයෙන් සිදු කරන බවත් පොලිසිය අනාවරණය කර ගන්නේය.

එසේම කුඩු ලෝලීන්ට බඩෝවිට කුඩු පැකට්‌ එක හඳුනා ගැනීමට පහසු වනු පිණිස සිය මත් කුඩු පැකට්‌ සඳහා මුද්‍රිත වෙළෙඳ ලකුණක්‌ පවා භාවිත කරන වෙලේ සුදා මත් කුඩු පැකට්‌ බෙදා හැරීම සඳහා අධිවේගී යතුරු පැදි කණ්‌ඩායමක්‌ යොදවා සිටින බවද හෙළි කර ගැනීමට රංගජීව ඇතුළු නිලධාරිහු සමත් වූහ. ඒ වින විට වෙලේ සුදාගේ එකම විනෝදාංශය බවට පත්ව තිබුණේ ගිනි අවි එකතු කිරීමට බවද පොලිසියට වාර්තා විය.

මේ අන්දමින් මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් වෙලේ සුදා පිළිබඳ අවධානයෙන් පසු වුවද ඒ පිළිබඳ කිසිත් වෙලේ සුදා හෝ ඔහුගේ කල්ලිය දැන නොසිටියේය. එය එතරම්ම රහසිගතව සිදු වූවක්‌ම විය. මෙසේ පොලිසිය වෙලේ සුදා කෙසේ හෝ කොටු කර ගැනීම සඳහා මානබලමින් සිටියදී කාලය කෙමෙන් ගෙවී යමින් තිබිණි.

ඒ අතරේ ඉකුත් 2008 වසරේ දෙසැම්බර් මාසයේ දිනක පොලිස්‌ පරීක්‍ෂක රංගජීව මහතා වෙත විශේෂ ඔත්තුකරුවකුගෙන් හදිසියේම දුරකථන ඇමතුමක්‌ ලැබෙන්නට විය. ඒ වන විට පොලිස්‌ පරීක්‍ෂක රංගජීව සිටියේ උදැසන සේවයට වාර්තා කර මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පුටුවකට බර දී වෙලේ සුදා කොටු කර ගැනීමට උපක්‍රමයක්‌ කල්පනා කරමිනි.

“සර්.. වෙලෙයයි හොඳම ගෝලයෙකුයි නඩුවකට ඉදිරිපත් වෙන්න අද ගල්කිස්‌ස උසාවියට එනවා.. උගේ කාර් එක තමයි ඉස්‌සර වෙලා එන්නේ.. ඒත් ඌ එන්නේ පිටිපස්‌සෙන් එන බයික්‌ එකක.. නඩුවට ඇවිත් යන ගමන් ග්‍රෑම් 100 ක ඩීල් එකකුත් දාන්න සෙට්‌ වෙලා ඉන්නේ.. සර්ලා අද ආවොත් බඩු අතටම අල්ල ගන්න පුළුවන් වෙයි..”

ඔත්තුකරු විසින් රංගජීව මහතාට ලබා දුන් ඇමතුමෙන් කියන්නට වූයේ ඒ කතාවය. ඒ සමගම වහා ක්‍රියාත්මක වූ රංගජීව මහතා එවකට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්‌පති එරික්‌ පෙරේරා සහ ස්‌ථානාධිපති විනිඳු කුමාරතුංග යන මහත්වරුන් දැනුවත් කර තම පොලිස්‌ කණ්‌ඩායමද සමග ගල්කිස්‌ස අධිකරණය වෙත පිටත්ව යන්නේ විදුලි වේගයෙනි.

මෙසේ ගල්කිස්‌ස අධිකරණය ආසන්නයට සමීප වූ පොලිස්‌ පරීක්‍ෂක රංගජීව ඇතුළු පිරිස ඒ අවට රැකවල් ලා සිටින්නට වූහ. එවකට පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සිටි මත් ද්‍රව්‍ය වැටලීම්හි දක්‍ෂයකු වූ උප පොලිස්‌ පරීක්‍ෂක විඡේසිංහද මේ කණ්‌ඩායමට අයත් විය.

පොලිසිය එසේ සුදා එනතුරු බලා සිටියදී ඔත්තුකරු කී ලෙසම මුලින් පැමිණි සුඛෝපභෝගී මෝටර් රථයකට පසුව යතුරු පැදියක නැගි වෙලේ සුදා තවත් සගයකුද සමගින් අධිකරණයට පැමිණියේය. එසේ පැමිණි ඔහු අධිකරණය තුළට යන අයුරුද පොලිසිය බලා සිටියේය. එහෙත් ඒ වන විට සුදාගේ ආරක්‍ෂාවට අධිකරණය අවට රඳවා සිටි ගෝලබාලයෝ කිසිවකුත් ඒ බව නොදත්හ.

මෙසේ කාලය ගෙවී යමින් තිබිණි. ඒ අතරේ නඩුවට සහභාගි වූ වෙලේ සුදා යළි අධිකරණයේ සිට පිටතට පැමිණ තම සගයන් සමගද මඳක්‌ රැඳී සිට අනතුරුව සුඛෝපභෝගී මෝටර් රථයට නැගී පිටත්ව යන්නට සුදානම් විය. ඒ තනිවම නොව සමීපතම ගෝලයකුද සමගය.

එහෙත් ඒ මොහොතේ වහාම ක්‍රියාත්මක වූ පොලිස්‌ කණ්‌ඩායම වෙලේ සුදා සහ සගයා අත්අඩංගුවට ගනු ලැබීය. ඒ පොලිස්‌ ඔත්තුකරු කී පරිදි අතරමඟදී දැමීමට නියමිතව තිබූ ඩීල් එකට සුදානම් කරන ලද මත් කුඩු පාර්සලයද සමගිනි.

අවසානයේ අත්අඩංගුවට ගත් වෙලේ සුදා සහ සගයා පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත රැගෙන ආ පොලිස්‌ පරීක්‍ෂක රංගජීව ඇතුළු නිලධාරිහු ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම ඇරඹූහ.

කවුරුන් කුඩු පැකට්‌ කළද මත් කුඩු සමග වෙනත් ද්‍රව්‍ය කලවම් කිරීමේදී එය කිසිවකුටත් පැවරීමට සිය ජාවාරමේදී වෙලේ සුදා කටයුතු නොකළේය. ඔහු එසේ කළේ තම කුඩු පැකට්‌ටුවේ ප්‍රමිතිය ආරක්‍ෂා කරගනු පිණිස බව ඒ වන විට පොලිසියද දැන සිටියේය.

මෙසේ දිගින් දිගටම සිදු කෙරුණු ප්‍රශ්න කිරීම් හමුවේ රට තුළ සිදු වන කුඩු ජාවාරම පිළිබඳ එතෙක්‌ සැඟව තිබූ කරුණු රැසක්‌ අනාවරණ කරගැනීමටද පොලිසියට හැකි විය. අවසානයේ අත්අඩංගුවට ගත් වෙලේ සුදා අධිකරණය හමුවට පැමිණවීමට පොලිසිය කටයුතු කළේය.

මෙහිදී වෙලේ සුදා සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් මත් කුඩු ග්‍රෑම් අසූපහක (85) ප්‍රමාණයක්‌ සීල් තබා රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යොමු කරනු ලැබුවේ එවකට පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රාජකාරි කළ උප පොලිස්‌ පරීක්‍ෂක සමරකෝන් මහතාය.

එසේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු වෙලේ සුදා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණි. පොලිස්‌ පොත්වල සටහන්ව තිබෙන පරිදි ඉකුත් දා පෝරකයට ගිය වෙලේ සුදාගේ ඉරණම් ගමන ආරම්භ වී තිබෙනුයේ එලෙසිනි.

මෙහිදී සිදුවූ එක්‌ විශේෂිත දෙයක්‌ද ඇත. ඒ වෙලේ සුදා අත්අඩංගුවට ගැනීමත් සමග එවකට සිටි පොලිසියේ ලොකුම තැන්වල නියෝග මත එම වැටලීමේ ප්‍රබල කොටස්‌කරුවකු වූ උප පොලිස්‌ පරීක්‍ෂක විඡේකෝන් මහතා මිරිහාන පොලිසියට මාරු කර යෑවීමය.

එම ස්‌ථාන මාරුව පිළිබඳ එකල පොලිසියේ ලොක්‌කන් කීවේ අත්වැරදීමකින් එය සිදුව තිබෙන බවය. නමුත් දක්‍ෂ පොලිස්‌ නිලධාරියකු වූ විඡේකෝන් මහතා සිද්ධියෙන් වසර පහක්‌ ගතවීත් තවමත් සිටිනුයේ මිරිහාන පොලිසියේම ය.

වෙලේ සුදා මෙලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණද කෙටි කලක්‌ ගතවන විට යළිත් බඩෝවිට කුඩු පැකට්‌ටුව වෙළෙඳ පොළේ ඇති බව පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට වාර්තා වන්නට විය. එවකට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරව තිබුණේa නියෝජ්‍ය පොලිස්‌පති නාලක සිල්වා මහතාටය.

මෙහිදී යළිත් රංගජීව මහතා කැඳවන නාලක සිල්වා මහතා කිසිදු අවස්‌ථාවක්‌ නොදී වෙලේ සුදාගේ ජාවාරම පිළිබඳ දිගින් දිගටම විමර්ශන සිදු කරන ලෙස ඔහුට උපදෙස්‌ දෙන්නේය. ඒ අනුව ක්‍රියාත්මක වන රංගජීව ඇතුළු නිලධාරින් පුළුල් විමර්ශනයක්‌ අරඹනුයේ වෙලේ සුදාගේ කුඩු ජාවාරමට තිත තැබීමේ අරමුණ ඇතිවය.

මේ අතරේ ඉකුත් 2011 වසරේ ගල්කිස්‌සේ වැටලීමෙන් බන්ධනාගාරගත කෙරුණු වෙලේ සුදා අධිකරණ ඇප මත නිදහස්‌ව පැමිණුනි. එහෙත් එතැන් පටන් ඔහුව සොයා ගන්නට කිසිවකුටත් නොහැකි විය. ඒ කාටත් හොරා විදේශගත වන්නට වෙලේ සුදා කටයුතු කර තිබුණු බැවිනි.

නමුත් වෙලේ සුදා එසේ රටින් පිට වුවද ඔහු පාකිස්‌තානයේ රැඳී සිටිමින් සිය ජාවාරම දිගින් දිගිටම සිදු කරන බවට පොලිසියට තොරතුරු ලැබී තිබිණි. ඒ අනුව රංගජීව ඇතුළු නිලධාරීහු ක්‍රියාත්මක වන්නට වූහ. වරක්‌ පිටකෝට්‌ටේ ප්‍රදේශයේ නිවසක්‌ වැටලූ ඔවුන් වෙලේ සුදාගේ ප්‍රධාන ගෝලයකු වූ අමිල ඇතුළු කණ්‌ඩායමක්‌ මත් කුඩු පැකට්‌ කරමින් සිටියදී ගිනි අවි කිහිපයක්‌ද සමගින් අත්අඩංගුවට ගනු ලැබීය.

2012 වසරේදි යළිත් වැටලීමක්‌ කළ රංගජීව ඇතුළු නිලධාරින් ග්ලෝබල් ටවර් සුපිරි නිවාස සංකීර්ණයේ නිවසක කුඩු පැකට්‌ කරමින් සිටියදී වෙල් සුදාගේ තවත් සමීපතමයකු වූ අශෝකන් නමැත්තකු ඇතුළු පිරිසක්‌ කොටු කර ගත්තේය. මේ අන්දමින් වෙලේ සුදාගේ ගෝලබාලයන් පොලිසියට කොටු වෙද්දී ඔහුගේ ජාවාරම ඉදිරියට ගෙන යැමට අත්තිඩියේ පොඩි චානා ඉදිරිපත් විය.

නමුත් පොඩි චානාටද මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින්ගෙන් බේරීමට නොහැකි විය. හංවැල්ල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී එල්ටීටීඊය භාවිත කරන මයික්‍රෝ පිස්‌තෝලයක්‌ සහ මත් කුඩු කිලෝ ග්‍රෑම් එකක්‌ සමග ඔහුද පොලිස්‌ අත්අඩංගුවට ගනු ලැබීය. එසේ අත්අඩංගුව ගත් පොඩි චානාගෙන් පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී එල්ටීටීඊ පිස්‌තෝලය තමන්ට දුන්නේ සුසෙයි නමැති වෙලේ සුදාගේ සගයකු බව පොඩි චානා හෙළි කළේය.

පසුව පොලිසිය මේ සුසෙයි පිළිබඳ විමර්ශනය කරන්නට විය. එහිදී අනාවරණය වූයේ සුසෙයි යනු කලක්‌ එල්ටීටීඊය සමගද සමීපව සිටි පාකිස්‌තානයේ සිට වෙලේ සුදාගේ කුඩු ජාවාරම මෙහෙයවන ප්‍රධානම සගයා බවය. එතැන් සිට සුසෙයි පිළිබඳ විමර්ශනයක්‌ ආරම්භ කළ පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වරක්‌ ශ්‍රී ලංකාවට පැමිණෙද්දී මත් කුඩු කිලෝ ග්‍රෑම් දෙකහමාරක්‌ සහ රුපියල් දාහත් ලක්‍ෂයක මුදලක්‌ සමග ඔහු කොටු කර ගැනීමට සමත් විය.

මේ අන්දමින් දිගින් දිගටම මත්ද්‍රව්‍ය නිශක කාර්යාංශය මගින් වෙලේ සුදාගේ කුඩු ජාවාරමට පහර දෙද්දී එකී විමර්ශන නිලධාරින්ට එල්ලවූ තර්ජනද බොහෝ විය. එක්‌ අවස්‌ථාවක මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේම රාජකාරි කළ පොලිස්‌ කොස්‌තාපල්වරයෙක්‌ කුඩු ජාවාරමුන්ගේ ඉත්තකු වී පොලිස්‌ පරීක්‍ෂක රංගජීව මහතාගේ දරුවා ඝාතනය කරන්නට කුමන්ත්‍රණය කරමින් දුරකථන ඇමතුමක්‌ ලබා ගනිමින් සිටියදී අත්අඩංගුවට ගැනිණි.

මෙහිදී ඔහු පැවත්වූ දුරකථන සංවාදයට අදාළ හඬපටයක්‌ද සමගින් එකී නිලධාරියාට එරෙහිව කඩුවෙල අධිකරණය හමුවේ නඩු පවරන්නටද පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කටයුතු කළේය. වෙලේ සුදාට එරෙහි මෙහෙයුම් සිදු කරද්දී ඇතිවූ ජිවිත තර්ජන හේතුවෙන් බොහෝ නිලධාරින්ට උන්හිටි තැන් පවා අතහැර වෙනත් රහසිගත නිවාසවල පදිංචි වන්නටද පසුගිය කාලයේ සිදුව තිබිණ. එහෙත් ඔවුහු එල්ලවූ ජීවිත තර්ජන පිළිබඳ පවා නොතකමින් රට වෙනුවෙන් කළ යුතු යුතුකම් ඉටු කරන්නට වූහ.

2011 වසරේ මෙරටින් පලාගිය වෙලේ සුදා පසුගිය ජනවාරි මාසයේදී පාකිස්‌තාන පොලිසියට කොටුවී මෙරටට රැගෙන එන්නේ මේ අතරතුරය. එසේ රැගෙන ආ වෙලේ සුදා මාස හතරක කාලයක්‌ රැඳවුම් නියෝග යටතේ තබාගෙන ප්‍රශ්න කිරීමට රහස්‌ පොලිසිය කටයුතු කළේය.

2008 වසරේදී මත්කුඩු ග්‍රෑම් 85 ක්‌ සමග මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන වෙලේ සුදාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පවරා තිබූ නඩු විභාගය යළි ඇරඹෙන්නේ වෙලේ සුදා එසේ සීඅයිඩීයේ රඳවාගෙන ප්‍රශ්න කරන අතරතුරය.

එම නඩු විභාගය එසේ යළි ඇරඹෙන විට එදා වෙලේ සුදා සන්තකයේ තිබී පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලැබූ මත් කුඩු තොගය සීල් තබා රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යෑවූ උප පොලිස්‌ පරීක්‍ෂක සමරකෝන් මහතා සිටියේ දරුණු අක්‌මා පිළිකා රෝගයකට ගොදුරුව කොළඹ ජාතික රෝහලේ ඇඳක්‌ මත ජීවිතයත් මරණයත් අතර සටනක්‌ කරමිනි.

තිදරු පියකු වූ සමරකෝන් මහතා ඉතා අවංක පොලිස්‌ නිලධාරියකු ලෙස කා අතරත් ප්‍රසිද්ධව සිටියෙකි. පොලිස්‌ දෙපාර්තමේන්තුවේ තිස්‌ වසරක රාජකාරි ඉතිහාසයක්‌ තිබුණද සමරකෝන් යනු අගහිඟකම් නොමැති සැපපහසු ජීවිතයකට උරුමකම් කියූවෙකු නොවීය.

නඩු විභාගය ආරම්භ විය. මෙම නඩුවේ වෙලේ සුදාට එරෙහි ප්‍රධාන සාක්‍ෂිකරුවා වූයේ පොලිස්‌ පරීක්‍ෂක රංගජීව මහතාය. ඔහුගේ සාක්‍ෂිය තහවුරු කිරීමේ සාක්‍ෂිකරුවා වූයේ 2008 දී වෙලේ සුදා අත්අඩංගුවට ගැනීමෙන් පසු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සිට මිරිහාන පොලිසියට හේතු රහිතව මාරු කර යෑවු උප පොලිස්‌ පරීක්‍ෂ විඡේසිංහය.

ඔවුන් දෙදෙනාම තමන්ගේ සාක්‍ෂි අධිකරණය ඉදිරියේ නිවැරදිව ලබා දීමට පියවර ගෙන තිබිණි. අවැසි නම් ඒ සාක්‍ෂි දීමේදී රුපියල් කෝටි දෙක තුනකට අලෙවි වී වෙලේ සුදා පෝරකයට යන ගමන නවතන්නට එම නිලධාරින් දෙදෙනාට අවස්‌ථාව තිබිණි. එහෙත් ඔවුන් නිල ඇඳුමේ නාමයෙන් එසේ අලෙවි නොවීය.

පොලිස්‌ පරීක්‍ෂක රංගජීවගේ සහ විඡේසිංහගේ සාක්‍ෂි ලබා ගැනීමෙන් පසු අධිකරණයේ තීරණය වූයේ මෙම නඩුවේදී රෝහල් ඇඳක්‌ මත අසාධ්‍යව සිටින උප පොලිස්‌ පරීක්‍ෂක සමරකෝන්ගේ සාක්‍ෂිය ඉතා වැදගත් වන බවය. මෙහිදී පොලිසිය මුහුණ දුන්නේ විස¹ ගත නොහැකි උභතෝකෝටිකයකටය.

එහෙත් ලෙඩ ඇඳේ සිටි උප පොලිස්‌ පරීක්‍ෂක සමරකෝන් මහතාට එය කෙසේ හෝ කන වැකිණි. හේ දෙවරක්‌ නොසිතීය. ඉතා අපහසුවෙන් වුව සහෝදර පොලිස්‌ නිලධාරින්ගේ වාරු ඇතිව දෙදිනක්‌ පුරා කොළඹ මහාධිකරණය ඉදිරියේ වෙලේ සුදාට එරෙහිව තමන්ගේ සාක්‍ෂිය ලබා දෙන්නේය. මෙහිදී එක්‌ අවස්‌ථාවක සාක්‍ෂි දෙන අතරතුර සමරකෝන් මහතා දැඩි වෙව්ලිල්කට ලක්‌ විය. ඒ ඔහුගේ රෝගය හමුවේ කර තිබූ සැත්කමක්‌ හේතුවෙනි.

ඒ අවස්‌ථාවේ රජයේ නීතිඥවරිය ඔහු අසලට ගොස්‌ සමරකෝන් මහතා අත තිබූ ලේඛනයක්‌ ගෙන ඔහුට පෙනෙන සේ අල්ලාගෙන සිටියදී හේ සාක්‍ෂි දුන්නේය. එසේ අධිකරණය ඉදිරියේ තමන්ගේ සාක්‍ෂිය ප්‍රකාශ කරන සමරකෝන් මහතා හරියටම ඉන් දින පහකට පසු රෝගී තත්ත්වය හමුවේ තම බිරිඳ ඇතුළු දරු තිදෙනා මෙලොව තනිකර දමා ජිවිතයෙන් සමුගෙන ගියේය. එය සමරකෝන් මහතා සිය ජිවිතයේදී ලබා දුන් අවසන් සාක්‍ෂියද වුවේය.

මෙවන් පොලිස්‌ නිලධාරින් රටට වාසනාවක්‌ බව අමුතුවෙන් කිය යුතු නොවන්නකි. විශේෂයෙන් වෙලේ සුදාට එරෙහි මෙම ක්‍රියාදාමයේදී ජීවිත අවදානම පවා නොතකමින් කටයුතු කළ සියලු පොලිස්‌ නිලධාරින් යම් අගැයීමකට ලක්‌වීම අනිවාරරයයෙන් සිදු විය යුතුය. අප ඒ ටික මෙහි සටහන් කරනුයේ පොලිසියේ ඉහළම බලධාරින්ගේ අවධානය පිණිසය.

අත්අඩංගුවට ගනු ලැබුවේ කුඩු ග්‍රෑම් 85 ක්‌ වුවද රස පරීක්‍ෂක වාර්තාවට අනුව මත්කුඩු ග්‍රෑම් 7.5 සන්තකයේ තබාගෙන ජාවාරම් කළේයෑයි කියන චෝදනාව යටතේ වෙලේ සුදාට මරණීය දණ්‌ඩනය නියම වූයේ මෙකී නඩු විභාගයට අනුවය. කුඩු ජාවාරමෙන් වැජඹෙන්නට ගියද වෙලේ සුදාගේ ඉරණම පෝරකයෙන් අවසන් වූයේ එසේය.

සමන් ගමගේ