Spread the News

බටහිර සාම ගිවිසුමෙන් බැරි වූ දේ
ටී.එන්.ඒ. හා ජයලලිතා හරහා ඉටුවේද?
source:
ඊශ්‍රායලය බඳු ජාතිවාදී ඩයස්‌පෝරාවේ සංචාරක රාජ්‍යයක්‌ ශ්‍රී ලංකාවේ උතුරේ බිහිකිරීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්‌ දියත් වෙමින් ඇති බවට ලැබෙන සාධක වැඩිවෙමින් තිබේ. විදේශගත ද්‍රවිඩ පිරිස්‌වල නිල හා නිල නොවන බලපෑම් මත බටහිර රාජ්‍යයන් සිය දෙවැනි උත්සාහය තමිල්නාඩුව හා උතුර හරහා ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගන්නා බව එම සාධක විශ්ලේෂණය කිරීමෙන් පෙනී යයි. රනිල් වික්‍රමසිංහගේ නෝර්වේ සාම ගිවිසුම එහි මුල් ජවනිකාව විය. එය වැරැදී ගියේය. මේ දෙවැනි ජවනිකාවයි. ශ්‍රී ලංකාව තවමත් සිංහල ජාතිවාදය ද බෞද්ධ සංස්‌කෘතිය ද මත පදනම් වූ එමෙන්ම ඒකීය හා භෞමික අඛණ්‌ඩතාව කෙසේ හෝ ආරක්‍ෂා කර ගත් රාජ්‍යයකි. මෙම භෞමික අඛණ්‌ඩතාව හා ඒකීය බව ද, ඊටත් වඩා මුල් බැසගත් සිංහල, බෞද්ධ අනන්‍යතාව ද නොඉවසන පිරිස්‌ සුළුපටු නොවෙති. දේශීය වශයෙන් ද විදේශීය වශයෙන් ද බහුලය.

විදේශගත දෙමළ පිරිස්‌ බටහිර හා නෝර්වේ වැනි රාජ්‍යයන් හි ව්‍යාප්ත වීමත් මෙම රාජ්‍යයන්හි ආර්ථික හා දේශපාලන මත හා ප්‍රතිපත්තිවලට බලපෑම් සිදුකළ බව පෙනී යයි. මේ බටහිර රාජ්‍යයන්ට ශ්‍රී ලංකාවේ සිංහල හා බෞද්ධ අනන්‍යතාව හා ඒකීයබව හිසරදයක්‌ වූවේ ඒ අනුවය. ඒ ලෙසම ඔවුන්ගේ අවශ්‍යතාව ඉටුකර දීම සඳහා ඔවුන්ගෙන් යෑපෙන ඒජන්තවරු දේශීය වශයෙන් බිහිවූහ. යුද්ධය පැවැති සමයේ හා යුද්ධයෙන් පසුවත් අදත් ඔවුහු හොඳින් ක්‍රියාත්මක වෙති. එන්.ජී.ඕ. හෙවත් රාජ්‍ය නොවන සංවිධාන ඒ අතර ප්‍රමුඛය. ඊළඟට උතුරේ ද්‍රවිඩ අයිතීන් හා හිමිකම් කියමින් ආවඩමින් යෑපෙන දේශපාලන පක්‍ෂ ගණනාවක්‌ දකුණේ පවතී. මාධ්‍යකරුවෝ, මාධ්‍ය ආයතන හා පරපටු ඇදුරෝද මෙලෙස ඔඩොක්‌කුවට වැටුණ අය අතර සිටිති. බෞද්ධ, හින්දු හා කතෝලික ආගමික පූජ්‍ය පිරිස්‌ ද එම ජාලයේ සිටිති.

සිංහල- බෞද්ධ ආගමික හා ජාතිකත්වය වෙනුවෙන් වෛර නොකරන අය විදේශ ඩොලර් හා විවිධ වරප්‍රසාද සැප සම්පත්වලට වහල් වී කුමන්ත්‍රණයේ කොටස්‌කරුවන් බවට පත්වී ඇත. මා දකින ආකාරයට රාජ්‍ය නොවන සංවිධාන තරම් උතුරේ වෙනම රාජ්‍යයක්‌ බිහිකිරීමට කැස කවන කුමන්ත්‍රණකාරී පිරිසක්‌ තවත් නැත. යුද මෙහෙයුම් සමයේ යුද ජයග්‍රහණයට බලපෑ වැදගත්ම සාධකයක්‌ වූයේ උතුර – නැඟෙනහිරින් ඔවුන්ව ඉවත් කිරීමය. මේ ආණ්‌ඩුව දැන් කරගෙන ඇති ලොකුම අභාග්‍යසම්පන්න මෝඩකම වන්නේ එන්. ජී. ඕ. මගඩිකාරයන්ට උතුර – නැගෙනහිර යළි විවෘත කර දීමය.

උතුරේ ද්‍රවිඩ ජාතිකවාදී රාජ්‍යයක්‌ පිහිටුවීමේ කුමන්ත්‍රණයේ ඉතිරි මෙහෙයුම්වල වැදගත්ම ක්‍රියාකාරීන් වන්නේ ටී. එන්. ඒ. පක්‍ෂය හා දකුණු ඉන්දීය ජයලලිතාය. ඊළඟට වයිකෝ, රාඡ්, කරුණානිධි වැනි පිරිස්‌ ය. ශ්‍රී ලංකාවේ වාසනාවට උතුරේ වෙනම රාජ්‍යයක්‌ කොයි ආකාරයකින් හෝ බිහිවීමට එරෙහිවීමේ ස්‌ථිර රාජ්‍ය ප්‍රතිපත්තියක අසල්වැසි ඉන්දියාව කවදත් රැඳී සිටී. නැතිනම් ශ්‍රී ලංකාවේ දේශපාලන හා සමාජ, ආර්ථික ඉතිහාසය හා වර්තමානය ලියෑවෙන්නේ බොහෝ වෙනස්‌ ආකාරයකටය.

ටී.එන්.ඒ. සංවිධානය මෑතක්‌ වන තෙක්‌ම සිය ඉල්ලීම් ගැන නිරන්තර අදහස්‌ හුවමාරු කර ගත්තේ ද ඉන්දියාව සමඟය. එහෙත් ඉන්දීය නායකයෝ මුල් අවස්‌ථාවල ටී.එන්.ඒ. නායකයන්ට උතුරු ඉන්දියාවට එන්නට පවා නොදුන් අතර මුණගැසීම ප්‍රතික්‍ෂේප කළ බව අප සිහිකටයුතුය. ශ්‍රී ලංකා ආණ්‌ඩුව සමඟ සාකච්ඡාවන්ට පෙර හා පසු දිව ගියේ ඉන්දියාවටය. කලින් 13 සංශෝධනය සම්බන්ධව යම් බලපෑමක්‌ මහින්දට කරමින් සිටි ඉන්දියාව ක්‍රමයෙන් එතැනින් හිමිහිට ලිස්‌සා ගියේය. 13 සංශෝධනය මෙන්ම එහි ඉඩම් හා පොලිස්‌ බලතල දීම යනු වෙනම රාජ්‍යයක්‌ සඳහා අවස්‌ථාව සලසා දීමක්‌ බව පෙනී ගිය හෙයිනි. අනෙක්‌ අතින් මහින්ද පැහැදිලිව ඉන්දීය නායකයන්ට කීවේ 13 සංශෝධනය උතුරට දුන්නත් ඉඩම් හා පොලිස්‌ බලතල නම් නොදෙන බවය. එහෙත් මහින්ද ටී. එන්. ඒ. සාකච්ඡා සහභාගිත්වය ප්‍රතික්‍ෂේප කළේය. ටී.එන්.ඒ. සංවිධානය අතරමංව සිටියදී ජයලලිතාගේ ජයග්‍රහණය ද්‍රවිඩ ජාතික සන්ධානයට හැම වාසියක්‌ම ලබා දෙන තැනට තල්ලු කරන ලදී. උතුරේ ඡන්ද දෙකේදීම ඔවුqහු ඉතා හොඳ පැහැදිලි ජයග්‍රහණයන් පළාත් පාලන මැතිවරණවලදී ලබා ගත්හ. මන්මෝහන්සිංට දකුණු ඉන්දියාවෙන් ලැබුණේ ප්‍රබල පසුබෑමකි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ උතුරේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ජයවර්ධන, ප්‍රේමදාස යුගයන්හිදී මෙන් අත පොවන්නට ඉන්දියාව කිසිසේත්ම අකැමැති බව ලෝකයාටම ප්‍රත්‍යක්‍ෂ විය. එහෙත් උතුර සම්බන්ධයෙන් ඉන්දියාව සිය අවධානය අත්හැරියේ නැත. දින දහයක්‌ ශ්‍රී ලංකා ආණ්‌ඩුවට කල් දීම ඉවත දමා සාකච්ඡාවට යන ලෙස ටී.එන්.ඒ. නායකයන්ට ඉන්දීය නායකයන් මේ වන විට පවසා තිබේ. මා දකින ආකාරයට 13 සංශෝධනය හරහා උතුරට බලය විමධ්‍යගත කිරීමට අකැමැතිම පිරිසක්‌ වන්නේ මන්මෝහන් සිංගේ ආණ්‌ඩුව හා උපදේශකයන්ය. නැවත පදිංචි කරවීම, යටිතල පහසුකම්, හදිසි නීතිය හා අත්අඩංගුවට ගැනීමේ හදිසි අවස්‌ථා නියෝග ගැන ඉන්දියාව උනන්දු වෙයි. අනෙක්‌ අතින් 13 සංශෝධනය හා ඉඩම් හා පොලිස්‌ බලතල ගැන මහින්දගේ දැඩි ප්‍රතිපත්තිය ද බලපා තිබේ.

ජයලලිතාට හා වයිකෝ, කරුණානිධි කල්ලියට ද එසේම ටී. එන්. ඒ. සංවිධානයට අවශ්‍ය කුමක්‌ද? මුලින්ම ඉන්දීය කොංග්‍රසය වඩාත් අසීරු හා අපහසුතාවට පත්කිරීමයි. එක්‌ අතකින් දකුණු ඉන්දියාවේ එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ගේ ක්‍රියාකාරකම් වැඩිවීමට ඉඩ සැලැසීම ටී.එන්.ඒ. සංවිධානය මගින් මහින්දට බලපෑම් කිරීම වැනි උපක්‍රමයකි. මෑතකදී වූ අලුත්ම සිදුවීම චෙන්නායි හෝටලයකට එල්.ටී.ටී.ඊ. හිතවාදී පිරිසක්‌ කඩාවැදී ශ්‍රී ලංකා වන්දනා නඩයකට පහරදීම හා හිරිහැර කිරීමය. ඊට පෙර ඉන්දීය මහාබෝධි විහාරයට ප්‍රහාරයක්‌ එල්ල විය. ජයලලිතාගේ ආගමනයත් සමඟÊමේවා පෙර නොවූ විරූ ලෙස මතුව තිබේ. ජයලලිතා, වයිකෝ, ටී.ඒන්.ඒ. බලවත් වන්නට බලවත් වන්නට මහින්ද රාජපක්‍ෂ මහතාද තම මතය හා ස්‌ථාවරය තව තවත් දැඩි කරගන්නා බව පෙනී යයි.

ජයලලිතා කියන්නේ මහින්ද ජාත්‍යන්තර යුද අධිකරණය වෙත ගෙන යා යුතු බවය. වයිකෝ පිරිස කියන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව ආර්ථික සම්බාධක පනවන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවට බලකළ යුතු බවයි. ඉන්දීය පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා දූත පිරිසට හූ කීවත් කථානායිකාව ඒ ගැන දූත පිරිසෙන් හා ශ්‍රී ලංකා රජයෙන් සමාව ඉල්ලීමත් මේ මොහොතේ සිහිපත් වේ. කෙසේ වෙතත් මේ වන විට මන්මෝහන්ගේ ආණ්‌ඩුව දේශපාලන පසුබෑම, අභ්‍යන්තර දූෂණ හා වෙනත් අර්බුද නිසා දුර්වල වෙමින් තිබේ. එහෙත් ඔහු ජයලලිතා හෝ ටී. එන්. ඒ. කතාබහෙන් හෝ වයිකෝ, කරුණානිධිලාව හෝ තඹයකට ගණන් නොගන්නා බව පෙනී යයි. කරුණානිධිගේ දුවට දූෂණ චෝදනාවක්‌ පිට අධිකරණයෙන් සිර දඬුවම් ලබා දුන් පුවත ලෝක ප්‍රසිද්ධය.

හිලරි ක්‌ලින්ටන් ඉන්දියාවට පැමිණ හමුවූයේ මන්මෝහන්සිං නොවේ හමුවූයේ ජයලලිතාය. හරිනම් ඇය හමුවිය යුත්තේ පසුව හෝ මන්මෝහන් සිංවය. ඉන්දියාව දැන් ඉන්නේ ආර්ථික සබඳතා අතින් ඇමරිකාව සමඟ හොඳ හිත වර්ධනය කර ගනිමිනි. හිලරිගේ ජයලලිතා හමුව චැනල් ෆො 1 හා 2 මේ සියල්ල පසුපස ඇත්තේ උතුර ගැන අනුකම්පාවක්‌ හෝ දයාවක්‌ නොවේ. උතුරේ වෙනම ඊශ්‍රායලය බඳු ජාතිකවාදී රාජ්‍යයක්‌ බිහිකිරීමට අඩිතාලම දැමීමය. චැනල් ෆොජවනිකා දැක තම පුතා කම්පනයට පත් වූ බව චන්ද්‍රිකා පවසා තිබේ. සුනේත්‍රා කීවේද එබඳු කතාවකි.

අද බටහිර බලා ඉන්නේ මහින්ද දුර්වල වන්නේ කොයි අවස්‌ථාවේ ද කවදාද යන්න ගැන ඇඟිලි ගනිමිනි. බටහිර පදිංචි දෙමළ ජන කොටස්‌ හා ජයලලිතා හා දකුණු ඉන්දීය එල්.ටී.ටී.ඊ. හිතවාදීන් ද ටී.එන්.ඒ. සංවිධානය ද ඉන්නේ එතැනය. උතුරේ මැතිවරණ ජයග්‍රහණ නොලැබීම තුළින් මහින්දගේ උතුර සම්බන්ධ දැඩි තීරණ හා මතය වෙනස්‌ වේ යෑයි යමකු සිතන්නේ නම් ඊට වඩා මෝඩකමක්‌ තවත් නැත. ජාත්‍යන්තර බලපෑම් එන්නට එන්නට ටී.එන්.ඒ. ජයග්‍රහණ ලබන්නට ලබන්නට මහින්ද උතුර ගැන ඇති දැඩි බව වැඩිවනු මිස අඩු නොවන බව ඒකාන්තය. උතුර – නැගෙනහිර සංවර්ධන කටයුතු නොනවත්වාම සිදුවේ. ඒ හා සමානව උතුරේ යුද හමුදා පාලනය, හමුදා කඳවුරු තවමත් පවත්වාගෙන යැම, හදිසි නීතිය, අත්අඩංගුවට ගැනීම හා රඳවා ගැනීමේ රෙගුලාසි ඒවා එසේමය. හදිසි නීතිය මසකින් ඉවත් කරන බව කී ආණ්‌ඩුව දැන් කියන්නේ වසර අවසානයේ එය සිදුකරන බවය.

මා දකින ආකාරයට ආසියාවේ පමණක්‌ නොව මුළු ලෝකයේම ඉන්නා රාජ්‍ය නායකයන් අතර තමා ගත් මතය මොන බලවේග ඉදිරියේ හෝ වෙනස්‌ නොකරන රාජ්‍ය නායකයන් අතර මහින්ද ඉදිරියෙන් සිටී. එය මහින්දගේ හා ඔහුගේ ආණ්‌ඩුවේ බොහෝ වාසිදායක බවට මෙන්ම ඇතැම් විට අවාසි වීමට ද හේතු වී තිබේ. එහෙත් ඉන්දියාව ඇත්තටම කැමැති වන්නේ ආසියාවේ එබඳු නායකයකු සිටීම ගැනය. වෙනම රාජ්‍යයක්‌ ඇතිවී උතුරේ හා ආසියාවේ එල්.ටී.ටී.ඊ. ව්‍යාපාරය නැවත හිස එසවීම ඔහුට මිස වෙනත් කෙනෙකුට පාලනය කළ නොහැකි බව පැහැදිලි හෙයිනි. ලෝකයටම සාමය උදා කර දෙන්නට ගැටුම් නිරාකරණය කර දෙන්නට හැමදාම මැදිහත් වූ නෝර්වේ රාජ්‍යය අද ත්‍රස්‌තවාදයෙන් හෙල්ලුම් කා අවසානය. ලෝකය පුරා යමින් ගැටුම් නිරාකරණය කළ එරික්‌ සෝල්හයිම් කෝ? මහින්ද කීවේ අවශ්‍ය නම් නෝර්වේ රාජ්‍යයේ ත්‍රස්‌තවාදී වැඩ නතර කිරීමට උපකාර කිරීමට තමා සූදානම් බවය.

ටී.එන්.ඒ. සංවිධානය මේ හැමදෙයක්‌ම කරන්නේ ද උතුරේ බලය තමන් අතේ තබාගන්නටය. මෙතෙක්‌ දෙවරක්‌ ජය ලබා ගත් ඔවුන්ගෙන් යාපනයේ ජනතාවට වූ සේවය කෝ? මේ වනවිට උතුරේ හා නැඟෙනහිර නීතියේ ආධිපත්‍යයේ යම් බිඳවැටීමක්‌ තිබෙන බව පෙනේ. මුතූර් බැංකු මංකොල්ලය, ටී.එන්.ඒ. සංවිධානයට මැතිවරණ කාලයේ පහරදීම, මැතිවරණයට පෙර ජවිපෙ නියෝජිතයන්ට පහරදීම, මැතිවරණයෙන් පසු ජ.වි.පෙ. තරුණ හමුව හා ක්‍රීඩා තරගවලට බාධා කිරීම, zඋදයන්Z ප්‍රවෘත්ති කර්තෘට පහර දීම, ඊට පෙර’උදයන්’ පුවත්පතට වරින්වර කළ තාඩන පීඩන. මේවා එක දිගට හැදෙන ලැයි‍ස්‌තුවකි. මේ තත්ත්වය මහින්දට එරෙහිව හා ඉන්දියාවට පැමිණිලි කිරීමට හැකි පසුබිමක්‌ ජයලලිතාට හා වයිකෝලාටත් ටී.එන්.ඒ. සංවිධානයටත් ලබා දෙන බව පිළිගත යුතුය. ඊටත් වඩා බටහිර ඩොලර් හා ද්‍රවිඩ විදෙස්‌ගත දෙමළ පිරිස්‌වලින් යෑපෙන දේශීය එන්.ජී.ඕ. ඒජන්තවරුන්ට පැවැත්මට සාධක මේ මගින් නොමඳව සැපයේ. එහෙත් මේ එකදු අර්බුදයක්‌ හෝ අවසාන වන්නේ මහින්දට වාසි දෙමින් මිස උතුරට වෙනම රාජ්‍යයක්‌ හෝ ඉඩම් බලතල, පොලිස්‌ බලතල ඉල්ලන ටී.එන්.ඕ. සංවිධානයට වාසි දෙමින් නොවේ. එන්. ජී. ඕ. නඩයට වාසි දෙමින් නොවේ.

මා හිතන ආකාරයට උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම් හා හමුදා පාලනය තවදුරටත් පැවැත්වීමට ආණ්‌ඩුව මේ ක්‍රියා නිසා පෙළඹෙනු නියතය. මේ වන විට උතුර – නැගෙනහිර එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදීන් පිරිසක්‌ සැඟවී සිටින බව ආණ්‌ඩුව ප්‍රසිද්ධ නිවේදනයක්‌ මගින් පවසා තිබේ. අනවසර ගිනි අවි එකතු කිරීමේ වැඩසටහනක්‌ ද ක්‍රියාත්මක විය. පුනරුත්ථාපනය කළ ඇතැම් එල්.ටී.ටී.ඊ. සැකකරුවන් පිරිසක්‌ යළි වැරැදි සහගත ක්‍රියාවලට ඇතුළත්ව ඇතැයි වරක්‌ ප්‍රකාශ විය. මෙබඳු තත්ත්වයක්‌ යටතේ උතුරෙන් හමුදා කඳවුරු හා හමුදාව ඉවත් කළොත් හය මාසයක්‌ යන්නට පෙර උතුරේ යළි ත්‍රස්‌තවාදයේ යක්‍ෂයා හිස ඔසවනු ඒකාන්තය. ජයලලිතා, වයිකෝ, හිලරි හා බටහිර බලපෑම් නිසා මේ තත්ත්වයට ඇති ඉඩකඩ බොහෝය.

මේ වන විට ජයලලිතා ශ්‍රී ලාංකික ඉන්දීය සරණාගතයන්ට රුපියල් දාහ බැගින් ලබා දෙමින් සිටී. සියල්ලන්ට වුවමනා ඊශ්‍රායලය මෙන් රාජ්‍යයක්‌ උතුරෙන් බිහි කරන්නටය. යුද හා ත්‍රස්‌ත ව්‍යාපාරවලින් ප්‍රභාකරන්ට බැරි විය. දැන් විවිධ ජාත්‍යන්තර බලපෑම් හා ව්‍යවස්‌ථාවෙන් ඒ දේ කරගන්නට වෙහෙසෙයි. 13 ව්‍යවස්‌ථාවෙන් ඉඩම් හා පොලිස්‌ බලතල ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තු ක්‍රියාමාර්ගයක්‌ ගත යුතු යෑයි අධිනීතිඥ ගෝමින් දයාසිරි පවසන මතයට මම ද එකඟ වෙමි.

මැතිවරණවලදී පමණක්‌ උතුර ගැන කතා කරන එ.ජා.ප.ය මේ වන විට උතුරේ අර්බුදය ගැන වචනයක්‌ කියන්නේ නැත. උතුරේ ජනතාව හා ඔවුන්ගේ හිමිකම් ඔවුන්ට වන පීඩා ගැන නිතරම කතා කළ එජාපයට උතුරෙන් ජනතාව පරාජයක්‌ ලබා දීමට හේතුවක්‌ තිබිය යුතුය. උතුර තබා ‍ ද දිගින් දිගටම පරාජය වන එජාපය තම අභ්‍යන්තර අර්බුද විස¹ ගැනීමට නොහැකිව නන්නන්තාරව සිටීම ඊට මූලිකම හේතුවයි.

නායකත්වයේ වරදින් මැතිවරණ පරාජය වන බව කියන සජිත් හා ඔහුගේ කල්ලියට තමන්ගේ හැකියාවන් පෙන්වා දීමට හම්බන්තොට පළාත් පාලන මැතිවරණය ඊළඟ අවස්‌ථාවේ යොදාගත හැකිය.

මා දකින ආකාරයට දැන් උදාවෙමින් තිබෙන්නේ උතුර සම්බන්ධව මහින්දගේ දැඩි මතය හා ස්‌ථාවරය තවත් දැඩි වන කාලපරිච්ඡේදයකි. යුද්ධ මෙහෙයුමේදී මෙන්ම පශ්චාත් යුද සමයේදීත් දේශපාලන හා ආර්ථික ප්‍රශ්න හමුවේ බලවතුන් ඉදිරියේ පවා මහින්ද නැමුණේ නැත. ඒ ආකාරයටම 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය හා ඉඩම් හා පොලිස්‌ බලතල ද හැමදාම කතාබහට පමණක්‌ සීමාවේදැයි යන ප්‍රශ්නය මතුව තිබේ.

නීතිඥ ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා