Spread the News

ජනජ සෙත පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක, පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට සහ ඔහුගේ ආරක්ෂකයාට අනුරාධපුර නව බස් නැවතුම්පොළේ දී පිරිසක් පරුෂ වචනයෙන් බැණ වැදී, පහර දීමට තැත් කළේ යැයි පවසමින් උන්වහන්සේ ඊයේ (16දා) උදෑසන අනුරාධපුර මූලස්ථාන පොලිසියට පැමිණ, ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කළහ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර, පණ්ඩුලගම ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව අප කළ විමසීමක දී උසස් පොලිස් නිලධාරියකු පැවසීය. එම සැකකරු වේදිකා සඳහා ශබ්දවාහිනී සවි කරන පුද්ගලයකු බවට හඳුනාගෙන තිබේ.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනුරාධපුර මූලස්ථාන පොලිසිය ඉදිරිපිට දී මාධ්‍ය වෙත අදහස් දැක්වූ බත්තරමුල්ලේ සීලරතන හිමියෝ,

අනුරාධපුර නගරයේ පැවැත්වෙන ජනසෙත පෙරමුණේ රැස්වීම සඳහා, අපේ ළමයි පිරිසක් අනුරාධපුර නව බස් නැවතුම්පොළේ වේදිකාව සකස් කරමින් සිටියා. රාත්‍රි 11.45 ට පමණ, මම එම ස්ථානයට ගියා. වේදිකාවේ වැඩ කටයුතු කෙරෙන ආකාරය බලන්න.

රාත්‍රී 12.10ට විතර එක්තරා පුද්ගලයෙක් ආවා කැබ් රථයකින්. ආපු ගමන් එක පාරට ම අපිට බැන වැදුණා. ඉක්මනින් ආරක්ෂකයාට කිව්වා එම ස්ථානයෙන් අයින් වෙන්න කියලා.

මරලා ගියා නම් මොකද වෙන්නේ. කෝල් කීයක් ගත්ත ද එක පොලිස් නිලධාරියකු ආවේ නෑ. පොලිසිය එන කොට වෙන්න තියෙන දේවල් ඔක්කොම වෙලා ඉවරයි.

මගේ ආරක්ෂක පොලිස් නිලධාරියා මැරුවනම් වැඩක් නෑ. පට්ටපල් හොරුන්ට පොලිසිය තිහක් හතළිහක් ඉන්නවා, අපිට ඉන්නෙ, දෙන්නයි කොහොමද තත්ත්වේ.

ජනසෙත පෙරමුණ දේශපාලන පක්ෂයට අද වනවිට නොයෙකුත් මැර ප්‍රහාර එල්ල වෙමින් පවතිනවා. මේ පක්ෂය වටා ජනතාව රොක් වෙමින් සිටින අවස්ථාවේදී ඒ අය විනාශ කරන්න කට්ටියක් යොදවලා තියෙනවා කියන එක ගැන අපිට ලොකු සැකයක් තිබෙනවා.

මිහින්තලේ – රංග චතූ

උපුටා ගැනීම දිවයින පුවත් පත මඟින්