බලතල වෙන්කිරීමේ මිථ්‍යාව

Spread the News


බලතල වෙන්කිරීමේ මිථ්‍යාව source:

අගවිනිසුරුවරියට විරුද්ධව ගෙනෙන ලද දෝෂාභියෝගී යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තුවේ තෝරාගත් කමිටුවක්‌ අද හෙට පත් කිරීමට නියමිතය. ඒ කමිටුව එකොළොස්‌ දෙනකුගෙන් සමන්විත වනු ඇතැයි ද ඉන් හත් දෙනකු ආණ්‌ඩු පක්‍ෂයෙන් ද ඉතිරි හතර දෙනා විරුද්ධ පක්‍ෂයෙන් ද පත් කෙරෙනු ඇතැයි ද අපේක්‍ෂා කෙරෙයි. කමිටුවේ සාමාජික මන්ත්‍රීවරුන් ක්‍රියා කරනු ඇත්තේ විනිසුරුවන් ලෙසය. බැලූ බැල්මට අගවිනිසුරුවරියට එරෙහිව ඇති චෝදනා බරපතළය. එහෙත් විනිශ්චයක්‌ ලැබෙන තුරු චෝදනා ගැන කතා කිරීම නුසුදුසු යෑයි කියෑවෙයි. ඒ කෙසේ වෙතත් දෝෂාභියෝග හා පරමාධිපත්‍යය ගැන කතා කිරීමට අපට කිසිදු තහනමක්‌ නැත. ඇතැමුන්ට අනුව දෝෂාභියෝගයට හේතුව දිවි නැගුම පනත පිළිබඳව ශේ්‍රෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දුවය. ශේ්‍රෂ්ඨාධිකරණය කිනම් තීන්දුවක්‌ දුන්නත් මෙරට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව අනුව ආණ්‌ඩුව එය ක්‍රියාත්මක කළ යුතුය. දිවි නැගුම පනත පිළිබඳව දුන් තීන්දුව වෙනස්‌ කිරීමට දෝෂාභියෝගයකට නොහැකිය. දැනට පෙනී යන ආකාරයට සංශෝධන කිහිපයක්‌ ගෙන එමෙන් සමස්‌ත පනත ද ඒ පනතෙහි ඇතැම් වගන්ති ද පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කරගත හැකිය. එය ආණ්‌ඩුව දෙදරවන ප්‍රශ්නයක්‌ නොවේ. දිවි නැගුම තීන්දුව නිසා දෝෂාභියෝගය ගෙන ආවේ යෑයි පැවසීම අවස්‌ථාවාදී දේශපාලනයෙහි හිතළුවක ප්‍රතිඵලයක්‌ පමණකි. එය ආචාර්ය සරත් අමුණුගම මහතා නියෝජ්‍ය මුදල් ඇමැති ලෙස පත් කළ අවස්‌ථාවේදී ඇතැමුන් මෙවර අය-වැය කියවීමට ජනාධිපතිතුමාට නොහැකි බැවින් එසේ පත් කළේ යෑයි ප්‍රකාශ කළ හිතළුව මෙනි. සිංහලයෝ ප්‍රවාද වෙනුවට හිතළු කීමට දක්‍ෂයෝය. එහෙත් දිවි නැගුම තීන්දුව හේතුකොටගෙන මෙරට ඒකීය රාජ්‍යයක්‌ නොවන බව පැහැදිලි විය. පළාත් සභා ඒකීය රාජ්‍යයට පටහැනිය.

ඒ කෙසේ වෙතත් මානව අයිතිවාසිකම් මණ්‌ඩලයෙහි ලංකාව පිළිබඳ කෙරෙන ආවර්තික (වාරික) සමාලෝචනයට පෙර දෝෂාභියෝගය කථානායකතුමාට භාරදීමෙන් ආණ්‌ඩුව ඊනියා ජාත්‍යන්තරය හමුවේ වැඳ නොවැටෙන බව නැවත වරක්‌ පෙන්නුම් කර ඇත. බොහෝ උගතුන් ලෙස හැඳින්වෙන අය සිතා සිටියේ මානව අයිතිවාසිකම් ආවර්තික සමාලෝචනය නිමවන තෙක්‌ ආණ්‌ඩුව දෝෂාභියෝගය නොගෙනෙනු ඇති බවය. එසේ ගෙන ආවොත් ජාත්‍යන්තරය නමින් හැඳින්වෙන එංගලන්තය හා ඇමරිකාව ප්‍රමුඛ බටහිර යටත්විජිතවාදී රටවල් ලංකාවේ මානව අයිතිවාසිකම් වාර්තාව අයහපත් බව පෙන්වීමට එය ද යොදා ගනු ඇති බවද එය ලංකාවට හානිකර ප්‍රතිඵල ගෙන එනු ඇති බව ද බොහෝ උගත්තු කියා සිටියහ. ජාත්‍යන්තරය නමැති ගෝනි බිල්ලා පෙන්වා ආණ්‌ඩුව බිය ගැන්වීමට ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවල උගත්තු සුපුරුදු පරිදි ක්‍රියා කළහ. දෙමළ ත්‍රස්‌තවාදයට එරෙහිව කරන ලද මානුෂික මෙහෙයුම්වලදී ද ඊනියා උගත්තු මේ තැටිය වාදනය කළහ. උගතුන්ට කන් නොදී මානුෂික මෙහෙයුම දියත් කර ජයගත් ආණ්‌ඩුවට මේ වන විට ඊනියා ජාත්‍යන්තරය ගැන අවබෝධයක්‌ ඇතිවාට සැකයක්‌ නැත. මේ ඊනියා ජාත්‍යන්තරය යනු හුඹසක්‌ පමණකි. එයට බියක්‌ ඇතිකර ගත යුතු නොවේ. ජනතාවගෙන් බහුතරය ආණ්‌ඩුව සමග නම් යටත්විජිතවාදී ජාත්‍යන්තරයට කළ හැකි ඉටිගෙඩියක්‌ නැත.

මෙවර මානව අයිතිවාසිකම් නාඩගමේදී ඇමරිකන් තානාපතිනියට දෝෂාභියෝගයට විරුද්ධව කතා කිරීමේ අවස්‌ථාව ද ලැබිණි. රටවල් බහුතරයක්‌ ලංකාවේ මානව අයිතිවාසිකම් වාර්තාව පිළිබඳ ප්‍රසාදයෙන් කතා කළේය. එහෙත් මෙරට ජනමාධ්‍යවලට වඩා වැදගත් වූයේ ඇමරිකන් තානාපතිනියගේ ප්‍රකාශයය. මෙය අපේ යටත්විජිත මානසිකත්වය නිසා ඇති වන්නකි. අපට තවමත් වැදගත් වන්නේ එංගලන්තය කුමක්‌ කියන්නේද යන්නය. එසේත් නැත්නම් බටහිර ක්‍රිස්‌තියානි යටත්විජිතවාදයේ නූතන නායකයා වූ ඇමරිකාව කියන්නේ කුමක්‌ද යන්නය. බටහිර රටවලට ලෝකයේ රාජ්‍ය වශයෙන් හෝ ජනගහනය වශයෙන් හෝ ගත් කල බහුතරයක්‌ නැත. එසේ වුවත් ඔවුහු දේශපාලන, ආර්ථික හා සංස්‌කෘතික වශයෙන් ලෝක ආධිපත්‍යය දරති. ඔවුන් බහුතරයේ ආධිපත්‍යය යෑයි කියන්නකට විරුද්ධව කතා කරන්නේ ඔවුන්ට අඩු තරමෙන් බහුතරයක්‌වත් නැති නිසා විය යුතුය. ඔවුන් දන්නේ අඩුතරයේ ආධිපත්‍යයය. අප දැනගත යුතු කරුණක්‌ නම් මෙරට මානව අයිතිවාසිකම් වාර්තාව ඇමරිකාවේ හෝ එංගලන්තයේ හෝ මානව අයිතිවාසිකම් වාර්තාවලට වඩා යහපත් බවය.

මෙරට ද ක්‍රියාත්මක වන බටහිර ප්‍රජාතන්ත්‍රවාදය අනුව පරමාධිපත්‍යය ඇත්තේ ජනතාවටය. එහෙත් ජනතාවට මේ පරමාධිපත්‍යය සෘජුව ක්‍රියාත්මක කළ නොහැකිය. එහිදී බටහිර ප්‍රජාතන්ත්‍රවාදය අනුව ජනතාවගෙන් බහුතරයකගේ කැමැත්ත හිමිවන්නෝ ජනතාව වෙනුවෙන් ක්‍රියා කරති. එය බහුතරයේ ආධිපත්‍යය යෑයි බටහිරයෝ නොකියති. කෙසේ වෙතත් බටහිර පොතේ කුමක්‌ ලියා තිබුණත් බටහිර ප්‍රජාතන්ත්‍රවාදයෙන් කෙරෙන්නේ බහුතරයේ කැමැත්ත ක්‍රියාත්මක කිරීමය. අඩුම තරමෙන් එසේ කෙරෙන බව පෙන්වීමය. ලංකාව සම්බන්ධයෙන් ගත් කල ජනතාවගේ ව්‍යවස්‌ථාදායක පරමාධිපත්‍යය පාර්ලිමේන්තුව විසින් ද, විධායක පරමාධිපත්‍යය ජනාධිපතිතුමන් විසින් ද ක්‍රියාත්මක කෙරෙයි. බොහෝ දෙනා සිතා සිටින්නේ ජනතාවගේ අධිකරණ පරමාධිපත්‍යය අධිකරණය විසින් ක්‍රියාත්මක කෙරෙන බවය. එහෙත් එය එසේ නොවේ. අප රටේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ හතර වැනි ව්‍යවස්‌ථාව අනුව ජනතාවගේ අධිකරණ පරමාධිපත්‍යය ද පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කෙරෙයි. එහෙත් පාර්ලිමේන්තුව අධිකරණ කටයුතු උසාවි ඔස්‌සේ ක්‍රියාත්මක කරගත යුතු වෙයි. එසේ වුවත් මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පාර්ලිමේන්තුවේ හා මන්ත්‍රීවරුන්ගේ බලතල ආදී කරුණුවලදී පාර්ලිමේන්තුවට අධිකරණ පරමාධිපත්‍යය උසාවි නොමැතිව සෘජුවම ක්‍රියාත්මක කළ හැකිය. ව්‍යවස්‌ථාවට අනුව ජනතාවගේ අධිකරණ පරමාධිපත්‍යය පාර්ලිමේන්තුවෙන් ස්‌වාධීනව උසාවි ආදිය විසින් සෘජුව ක්‍රියාත්මක කෙරිය යුතු යෑයි සඳහන් වී නොමැත. ජනතාවගේ අධිකරණ පරමාධිපත්‍යය ද ක්‍රියාත්මක කෙරෙන්නේ පාර්ලිමේන්තුව විසින්ය. එහෙත් එසේ ක්‍රියාත්මක කෙරෙන්නේ උසාවි ඔස්‌සේය. ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක කෙරිය යුත්තේ ජනතාවගේ නියෝජිතයන් විසින්ය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද ජනාධිපතිතුමා ද ජනතාව විසින් පත් කරනු ලැබෙන ජනතාවගේ නියෝජිතයෝ වෙති. එහෙත් විනිශ්චයකාරවරු ජනතාවගේ නියෝජිතයෝ නොවෙති.

ජනාධිපතිතුමා, පාර්ලිමේන්තුව හා උසාවි ජනතා පරමාධිපත්‍යය සම්බන්ධයෙන් ගත් කල එකම තලයක නොවන බව පැහැදිලිය. විධායක, ව්‍යවස්‌ථාදායක හා අධිකරණ බලතල වෙන් කෙරී ඇතැයි පොතේ සඳහන් වුවද එය එසේ නොවේ. ඒ සියල්ල ජනතාව මගින් එක්‌වෙයි. මෙය බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයේ ලක්‍ෂණයකි. කතෝලික චින්තනයෙහි වැදගත් වූයේ සමස්‌තයය. කතෝලික යන වචනයෙහි තේරුම ද සමස්‌තය යන්නය. එහෙත් පහළොස්‌ වැනි සියවස අගභාගයේදී බිහි කෙරුණු ගී්‍රක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයෙහි සමස්‌තය වෙනුවට වෙන් කිරීම වැදගත් වෙයි. එසේ වුවත් ලෝකය එකිනෙකෙන් වෙන් කළ නොහැකිය. එහි යම් එකමුතුවක්‌ වෙයි. බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයෙහි විධායකය, ව්‍යවස්‌ථාදායකය, අධිකරණය ලෙස බලතල වෙන් කරනු ලැබුව ද ඒවා ජනතාව ඔස්‌සේ එක්‌වෙයි. බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය තරම්

රැවටිලිකාර ක්‍රමයක්‌ ලෝකයේ එදා මෙදා බිහිවී නැත. බටහිරයෝ රාජ්‍යය ආගමෙන් වෙන්විය යුතු යෑයි කියති. ඒ අපට කියන්නක්‌ මිස බටහිර රටවල ක්‍රියාත්මක කෙරෙන්නක්‌ නොවේ. බටහිර රටවල රාජ්‍යය හා විවිධ ක්‍රිස්‌තියානි නිකාය එකට බැඳී ඇත. බැරැක්‌ ඔබාමා ඉස්‌ලාම් භක්‌තිකයකු වී නම් ඔහුට කිසි දිනෙක ඇමරිකාවේ ජනාධිපති විය නොහැකිය. බටහිර රටවලට යන ඕනෑම අයකුට ක්‍රිස්‌තියානි සංස්‌කෘතිය ඇඟේ වැදෙන තරමින් දැනෙයි. ඓහික (අනාගමික) රාජ්‍ය බටහිර දැකගත නොහැකිය. බටහිර ප්‍රජාතන්ත්‍රවාදය පදනම් වී ඇත්තේ ක්‍රිස්‌තියානි මූලධර්ම මතය. ඒ කතෝලික මූලධර්ම නොවන බව පැහැදිලිය. එහෙත් බටහිරයෝ අපට ඓහික රාජ්‍යවල ඇති වැදගත්කම කියා දෙති·

බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම නිර්මාණය වී ඇත්තේ ගී්‍රක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයේ යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතිය පදනම් කරගනිමිනි. බටහිර විද්‍යාවේ බයිබල් කතාව ගණිතමය හා රසායනික සංකේත ඇසුරෙන් කියෑවෙයි. අපේ දරුවන් පාසල් ගොස්‌ උදේට පන්සිල් සමාදන් වී දවල් “යොවදතංපව” කියා ගෙදර යන තෙක්‌ බටහිර ක්‍රිස්‌තියානි අධ්‍යාපනයක්‌ ලබන බව අධ්‍යාපන ඇමැතිතුමා හෝ අමාත්‍යාංශය හෝ නොදනියි. අනාගමික අධ්‍යාපනයක්‌ යනුවෙන් අධ්‍යාපනයක්‌ ලෝකයේ නැත. දැනුම යම් සංස්‌කෘතියක නිර්මාණය වෙයි. සිංහලෙන් කෙටි කතා, නවකතා ලියෑවෙන්නේ බටහිර ඊනියා යථාර්ථවාදී, අධියථාර්ථවාදී ආදී සාහිත්‍යය දෙස බලාගෙන මිස ජාතක කතා අනුගමනය කරමින් නොවේ. එහෙත් මෙරට තවමත් වැඩියෙන් විකිණෙන්නේ ඒ පොත් නොව බණ පොත්ය. බටහිර අධ්‍යාපනයෙන් ඔළු අවුල් කර නොගත් විශාල පිරිසක්‌ තවමත් මෙරට වෙති. බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයෙහි විවිධ අංග වෙන් කරන බව මතුපිටින් කීව ද යටින් සියල්ල එකතු වෙයි. අද ඒ ඒ විෂයයෙහි විශේෂඥ දැනුමක්‌ ලැබූ අය වෙතැයි කියෑවෙයි. එහෙත් ෙµයරාබන්ඩ් වෙනත් කරුණකදී පෙන්වා දෙන්නේ මේ විශේෂඥයන් උසාවියේදී ඒ විෂය පිළිබඳ විශාරද දැනුමක්‌ නොමැති නීතිඥයන්ගේ හරස්‌ ප්‍රශ්න ඇසීම්වල දී ඇතැම්විට දුර්මුඛ වන බවය. අගවිනිසුරුවරියට විරුද්ධව ඇති දෝෂාභියෝගය ගැන විමර්ශනය කිරීමට පත් කෙරෙන පාර්ලිමේන්තු කමිටුවේ සාමාජිකයන්ට විනිසුරුවන් ලෙස ක්‍රියාකිරීමට සිදුවේ. එහෙත් ඔවුන් අතර නීsතිඥයන් නොවන අය ද සිටිති. එහිදී සිදු වන්නේ උසාවියෙහි සිදුවන දෙයෙහි අනෙක්‌ පැත්තය. මෙයින් පෙනී යන්නේ ඒ ඒ විෂයට දැනුම බෙදන ඊනියා විශේෂඥ දැනුම් පිටුපස එකතු කිරීමක්‌ ද වන බවය. බටහිරයන් අපට වෙන් කිරීමක්‌ ගැන කතා කළ ද ඇත්තේ එකතු කිරීමකි.