බලන් ! හරිමි කඩතුරාව
සර්ව බලධාරී දෙවියෙකු හෝ ඔහුගේ මැවුම්වාදය හෝ බෞද්ධ දර්ශනයට පටහැනි ය. තම විමුක්තිය ඇත්තේ තමා සතුව බව ද එහි ඉගැන් වේ. තව ද කර්මය ආදී පුද්ගල ආධිපත්‍යයට යටත් නොවන ප්‍රපංච පවා විග්‍රහ වන්නේ නියාම ධර්ම 5න් එකක් ලෙස ය. එහෙයින් බලගතු නොවන කර්ම ශක්ති පවා සෙසු නියාම ධර්මවල බලපෑමෙන් අහෝසි විය හැකි ය. මේ ආකාරයට මිනිසාට ස්වෝත්සාහයෙන් විමුක්තිය ළඟා කර ගත හැකි බව බෞද්ධ දර්ශනයේ ඉගැන්වේ. අබිං පිළිබඳ කතාව දිගු වී දැන් දැන් අප මාතෘකාවෙන් පිට පනින බව පෙනෙන හෙයින් මූලික ධාරණාවට පිවිසෙමු.
මේ වන විට ලංකාව දැඩි ආර්ථික අර්බූදයකට මුහුණපා ඇත. පෙර කල ගෘහණියන් අතර කතාබහට සීමාවූ බඩු මිල අද බාල තරුණ මහලු සියලු දෙනා අතර පොදු මාතෘකාව බවට පත්ව අවසන් ය. වෙනදා මග තොට බසයේ දුම්රියේ කඩ පිලේ පිළිරැව් දුන් අර ස්ටාර් මේ ස්ටාර් අර ගෙදර මේ ගෙදර කතන්දර යට කරගෙන බඩු මිල ප්‍රශ්නය නගර ගම් නියම් ගම් පසල් දනව් පුරා ළැව් ගින්නක් සේ බුර බුරා ඇවිළී යයි. උද්ධමන අත්තටු ලැබ බඩු මිල අහසට ඉගිළෙන කල විවිධ පාර්ශව නෙක මත ගෙනහැරපායි. රට කරවන ආණ්ඩුවේ ආර්ථික විද්‍යා චක්‍රවර්ති වයිමා මහතාට අනුව මේ ලෝක වෙළඳ පොළේ හදිසි බිඳ වැටීමේ ප්‍රතිඵලයයි. නිදහසින් පසු බොහෝ කාලයක් රට පාලනය කොට මෙරට එකම සුරපුරක් බවට පත් කළ වත්මන් විපක්ෂයට අනුව මේ රාජපක්ෂ ආණ්ඩුවේ දූෂිත අකාර්යක්ෂම පාලනයේ ප්‍රතිඵලයයි. මේ පවසන්නේ ඇත්ත ද? නැතිනම් බොරුද?
මේ පිළිතුරු දෙකෙහිම සත්‍යයක් ගැබ්ව පවති. යටත්විජිතවාදීන් විනාශ කළ අපේ ස්වයංපෝෂිත අර්ථක්රමය 1977 විවෘත ආර්ථික ක්‍රමය නමැති දං ගෙඩියට ගෙන ගියේ ජේ. ආර්. ජයවර්ධන මහතා ප්‍රමුඛ යූඇන්පියයි. මේ අර්බූදයට ප්‍රමුඛ හේතුව ඒ අර්ථක්‍රමයයි. එමෙන් ම 1970 සිරිමා බණ්ඩානායක රජය යටතේ ඇරඹි වංචා දූෂණ සපිරි ජරාජීර්ණ දේශපාලනය අතිශය ලාබදායි මහා පරිමාණ ව්‍යාපාරයක් බවට පත් වූයේ ද ජයවර්ධන මහතාගේ පාලන සමයේ ය. එහෙයින් මේ දෙපක්ෂය සිය නිදහසට ගෙන හැරපාන චෝදනා කළ යුත්තේ කැඩපතක් ඉදිරියට ගොසිනි. මන්ද ඊට වගකිව යුත්තේ ද ඔවුන්ම බැවිනි.දෙපක්ෂය විසින් ම දැන් නඩත්තු කරන විවෘත ආර්ථික මොඩලය හමුවේ රටේ බඩු මිල වෙනස් වූ ආකාරය පහත වගුවේ දැක්වේ. ධර්මිෂ්ට සමාජයක් ගොඩ නගන්ට සපථ කොට මහැදුරු සරච්චන්ද්‍රගේ අතපය කඩා පන්සල් වටකොට කටු කම්බි ගසා රට ගෙන ගොස් අතහැරියේ කොල්ලකාරි විවෘත ආර්ථිකය නමැති නරා වළට බැව් පසක් කරනට තවත් අටුවාවීකා කුමට ද?
මෙම ආර්ථික අහේනිය හමුවේ මෙරට ආණ්ඩුව සහ ප්‍රධාන විපක්ෂය ගත් ක්‍රියාමාර්ගය කුමක් ද? ආණ්ඩුව මුලින් ම කළේ ශ්‍රී ලංකා පාරිභෝගික මිල දර්ශකය නවතා දැමීම ය. මිල දර්ශක ඉහළ අගයක් ගන්නේ රටේ පවතින අධික උද්ධමනය නිසා ය. ආණ්ඩුව කළ යුතුව තිබුණේ වහාමඋද්ධමනයට විසදුම් සෙවීම ය. ජනතාවට වහා සහන සැලසීම ය. එහෙත් කළේ පය බරවාට පිටිකර බෙහෙත් බැඳීම ය. විපක්ෂය සුපුරුදු පරිදි අම්බලමට පැනපු ගොනාගේ චරිතයය රඟපෑවේ ය. ඒ වළං පොළවේ ගැසීමෙනී. මේ සියලු නෙයියාඩම්වලින් සාමාන්‍ය පුරවැසියන් වන අපට සිදුවූ සෙත කුමක් ද? මේ නෙක කඩතුරා බඳින්නේ බිඳ දැමිය යුත්ත අපෙන් සඟවාලීමට නොවෙ ද? ඔවුන් කරන්නේ ද අපට අබිං කැවීම නොවෙ ද? මාක්ස් ආගමට අබිං යයි කී අර්ථයෙන් නම් මේ දේශපාලන විගඩම් අබිංම ය. එහෙයින් මේ කඩතුරා විනිවිද සත්‍ය නිරුවත් කිරීම මැනවි.
අද දවසේ අප විසින් කළ යුත්තේ මෙකී අතොරක් නැති පිරිපතින් මව්බිම ගලවා ගැනීමට විශේෂයෙන් අපේ මතු පරපුර ගලවා ගැනීමට මං සෙවීමය. ඒ සඳහා ඇත්තේ එකම මගකි. ඒ අන් කිසිවක් නොව නැවත මේ රට ජාතික ආර්ථික ක්‍රමය පදනම් කරගෙන සංවර්ධනය කිරීම ය. ස්වයංපෝෂිත කිරීම ය. ආණ්ඩුවේ බලධාරීන් ද පුන පුනා පවසන පරිදි මේ අර්බුදයට හේතුව ලෝක ආර්ථික අර්බුදය අපට තදින් දැනීම ය. එසේ වන්නේ ඉදිකට්ටේ සිට නිදන පැදුර දක්වා සියල්ල පිට රටින් එනතුරු බකංනිලා ගෙන සිටීම නිසා ය.එහි බලපෑම අවම කිරීමට කළ යුත්තේ රට තුළ හැකි සෑම දේම නිපදවීම ය. සෑම බිම් අඟලකම වගා කිරීම ය. දේශීය දේ වැඩි වැඩියෙන් පරිභෝජනයට ජන විඥානය සකස් කිරීම ය. අප භාවිත කරන සෑම දේශීය භාණ්ඩයක් පාසා මෙරට රැකියා අවස්ථා බිහිවන බව විදේශ විනිමය ඉතිරි වන බව ජාතික ආර්ථිකය ශක්තිමත් වන ජනතාවට පහදා දීම ය. පෙර කල මෙරට පැවති සරල ජීවන ක්‍රමය බාල බඩුවකැයි පිළිකෙව් නොකර එහි යහගුණය වහ වහා වත්මනට ගළපා ගැනීම ය. රටේ පාලකයන් ඒ සඳහා ආදර්ශ සැපයීම ය.
මේ ආර්ථික අර්බූදය මීට හරියට ම සියවසකට පෙර දුටු ඉසිවරයාණෝ සාඩම්බර ශ්‍රී ලාංකිකයකු වූ ආනන්ද කුමාරස්වාමි මහතා ය. හෙතෙම උපතින් සිංහලයෙකු නොවේ. බෞද්ධයෙකු ද නොවේ. අඩු තරමේ බෞද්ධ පරිසරක හැදී වැඩුණු කෙනෙකු ද නොවේ. එහෙත් සිය විසල් දැනුම අබිමුව සක්සුදක් සේ සුපැහැදිළි සත්‍ය නොපවසා සිටින්නට තරම් එතුමා නිවට වූයේ නැත. 1900 මුල් දශකයේ බ්‍රිතාන්‍ය ස්වාමි මන්ත්‍රි මණ්ඩලය අමතා කුමාරස්වාමි මහතා කළ කතාවක කොටසකින් මේ ලිපියට කුණ්ඩලිය තබමි.
“ඔබ මගේ රටේ සම්පත් ඕනෑ තරම් සූරා ගෙන යන්න. මගේ රටේ ශ්‍රම සම්පත රිසි සේ සූරා කන්න. එහෙත් එරට ඇති සිංහල බෞද්ධ සංස්කෘතියට අත නොතබන්න. තව සිය වසකින් ලොව මුහුණ දෙන මහා ආර්ථික අර්බූදයට එකම විසදුම ඇත්තේ එය පදනම් කරගත් සරළ අර්ථක්‍රමය තුළ ය.”