Sat. Jan 18th, 2025
Spread the News

 

බෑන් කී මූන්, එජාපය හා ජවිපෙ
source link:
බෑන් කී මූන්ගේ වාර්තාව සම්බන්ධයෙන් මේ රටේ විපක්‍ෂය දරන ස්‌ථාවරය, ආණ්‌ඩුව දරන ස්‌ථාවරය මෙන්ම වැදගත් වෙයි. මූන්ගේ වාර්තාව නිර්දේශ කර ඇත්තේත් ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක්‌ සිදුවිය යුතු බවයි. මෙකී ජාත්‍යන්තර මැදිහත්වීමට බටහිර රටවල සහයෝගය තිබෙන අතර විපක්‍ෂයේ ස්‌ථාවරය යනු එකී මැදිහත්වීමට ලංකාව තුළ ද යම්කිසි සහයෝගයක්‌ තිබෙනවාද නැත්ද යන්න ගැන තීරණය වන්නේ විපක්‍ෂය දරන ස්‌ථාවරය අනුවයි. මේ වන විට දෙමළ ජනතා සංධානයේ බලාපොරොත්තු විය යුතු ආකාරයට එකහෙළාම බෑන් කී මූන්ගේ වාර්තාව පිළිගෙන ඇත. කොටි සංවිධානයේ බළල් අතක්‌ වූ දෙමළ ජාතික සන්ධානය යුදමය වශයෙන් ආණ්‌ඩුව පරාජය කිරීමට නොහැකි වූ තැන විදේශීය බලවතුන් ලවා හෝ ආණ්‌ඩුව බිම දමා ගැනීමට බලාපොරොත්තු වීම පුදුමයට කරුණක්‌ නොවෙයි. නමුත් දෙමළ ජාතික සන්ධානය ජාතික පක්‍ෂයක්‌ නොවෙයි. කලක්‌ ජාතික පක්‍ෂයක්‌ව තිබී අද ශීඝ්‍රයෙන් අභාවයට යමින් තිබෙන ජ.වි.පෙ. පවසා සිටින්නේ ඔවුන් මෙම නිර්දේශයේ බලපෑම්වලට විරුද්ධ වන අතර මේ බලපෑම් ඔවුන්ට කිරීමට හැකි වන ආකාරයට ආණ්‌ඩුව හැසිරුණු නිසා මේ දෙය සිද්ධ වන බවයි. බෑන් කී මූන්ගේ වාර්තාවේ සම්පූර්ණ පිටපතක්‌ ඇත්තේ උපාලි පුවත්පත් සමාගම සතුව පමණි. වෙනත් දෙස්‌ විදෙස්‌ සියලුම මාධ්‍ය ඔවුන් දන්නා කරුණු උකහාගෙන ඇත්තේ අප විසින් පළකරන ලද කොටස්‌ කියවා බැලීමෙන් පසුවයි. මේ නිසා බෑන් කී මූන්ගේ වාර්තාවෙන් ලංකාවට එරෙහිව චෝදනා එල්ල වන්නේ ආණ්‌ඩුවේ හැසිරීමේ ප්‍රතිඵලයක්‌ නිසාද නැත්ද යන්න ගැන ජනතාවට පැහැදිලි කරදීම අප සතු වගකීමක්‌ වන්නේය.

මේ රටේ විපක්‍ෂ බලවේගවලට වඩා වැදගත් වන්නේ එ.ජා.ප. යයි. බෑන් කී මූන් වාර්තාව සම්බන්ධයෙන් මේ වන විට එ.ජා.ප. යේ ලක්‍ෂමන් කිරිඇල්ල මහතාත්, හරීන් ප්‍රනාන්දු මහතාත් පක්‍ෂය වෙනුවෙන් නිල ප්‍රකාශ කර ඇත. මේ අනුව ඔවුන් කියා සිටින එක කාරණයක්‌ වන්නේ ඔවුන් ද මේ වාර්තාව පිළිගන්නා බවයි. එසේ පිළිගන්නේ කොටි සංවිධානය ද යුද අපරාධ සිදු කර ඇතැයි එම වාර්තාවෙන් කියා ඇති නිසා බව ඔවුන් වැඩි දුරටත් පැහැදිලි කරයි. වාර්තාව ප්‍රතික්‍ෂේප කළොත් කොටි සංවිධානය ද යුද අපරාධ කළ බවට කියන දෙය ප්‍රතික්‍ෂේප කිරීමක්‌ වන නිසා ඔවුන් එය එකහෙලාම ප්‍රතික්‍ෂේප කරන්නේ නැති බවයි. ඒ අතරතුර ලක්‍ෂමන් කිරිඇල්ල මහතා කියා සිටියේ මේ ජාත්‍යන්තර විමර්ශන විවිධ පිරිස්‌ ඉල්ලා සිටින්නේ දේශීය වශයෙන් විමර්ශනයක්‌ නොකරන නිසා බවයි. විපක්‍ෂය විසින් කියන මේ කාරණා ගැන වඩාත් පැහැදිලි චිත්‍රයක්‌ අපට ඇතිකර ගැනීමට නම් බෑන් කී මූන්ගේ වාර්තාවේ කරුණු ගැන තවදුරටත් පැහැදිලි කිරීමක්‌ අවශ්‍ය වෙයි. ඉකුත් සතියේ අපි කාරණා දෙකක්‌ ගැන අවධානය යොමු කෙරුවෙමු. ඒ අවසන් සටනේදී මියගියා යෑයි කියන සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව මූන් වාර්තාවෙන් ගණන් බලා තිබූ ආකාරය හා කොටි සංවිධානයේ අණසක යටතේ සිටින සිවිල් වැසියන්ගේ ගණන සිතාමතාම අවතක්‌සේරු කොට ඔවුන්ට යෑවෙන ආහාර හා බෙහෙත් ප්‍රමාණය සීමා කළා යෑයි කියමින් තිබූ චෝදනා දෙක ගැනය.

මූන් වාර්තාවෙන් ලංකාවට එරෙහිව කෙරෙන තවත් ප්‍රධාන චෝදනාවක්‌ වන්නේ කාලතුවක්‌කු ප්‍රහාරවලින් සිවිල් වැසියන් විශාල ගණනක්‌ මියගිය බවත් වන්නියේ තිබූ සියලුම ඉස්‌පිරිතාලවලට කාලතුවක්‌කු ප්‍රහාර එල්ල කළ බවත්ය. මෙකී සියලුම චෝදනා සම්බන්ධයෙන් මූන් කමිටුව සාක්‍ෂි හා තොරතුරු සොයා ගත්තේ කෙසේද යන කාරණය ගැන අප කවුරුත් අවධානය යොමු කළ යුතුය. ලංකාවේ සිදුවූවා යෑයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් මූන් කමිටුව සොයා ගත් තොරතුරු සියල්ල සඳහන් වන්නේ එම වාර්තාවේ 20 වැනි පිටුවේ සිට 51 වැනි පිටුව දක්‌වාය. මෙහිදී එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ජාත්‍යන්තර නිලධාරීන් විසින් මෙය සෘජුවම නිරීක්‍ෂණය කළ අවස්‌ථා 2 ක්‌ ගැන සඳහන් වෙයි. ඉන් එක්‌ අවස්‌ථාවක්‌ වන්නේ ජනවාරි 24 හා 25 යන දිනවල එ.ජා. සංවිධානයේ කඳවුරකට එල්ල වූ කාලතුවක්‌කු ප්‍රහාරයක්‌ ගැනය. ඊළඟ අවස්‌ථාව වන්නේ 2009 පෙබරවාරි 4 වැනි දින ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ නිලධාරීන් දෙදෙනෙක්‌ එතැන සිටින විට පුදුකුඩිඉරුප්පු ඉස්‌පිරිතාලයට ෂෙල් වෙඩි දෙකක්‌ වැටීමය. මේ දෙක හැරුණු විට සිවිල් වැසියන්ටත් ඉස්‌පිරිතාලවලටත් කාලතුවක්‌කු ප්‍රහාර එල්ල වුණු ආකාරය ගැන විස්‌තර බොහෝමයක්‌ ඇත. නමුත් මේ එක විස්‌තරයක්‌ වත් ඔවුන්ට ලැබුණේ කෙසේ දැයි වාර්තාවේ කොතැනකවත් සඳහන් කොට නැත.

වාර්තාවේ 21 වැනි පිටුවේ ඔවුන්ට මේ සියලු වාර්තා ලැබුණේ කොතැනින් දැයි පොදු සඳහනක්‌ ඇත. ඒ අනුව මේ විස්‌තර ඔවුන්ට ලැබී ඇත්තේ ජාත්‍යන්තර සංවිධානවල දෙමළ සේවකයන්ගෙන් විවිධ ක්‍රිස්‌තියානි පූජකවරුන්ගෙන්, දෙමළ රජයේ සේවකයන්ගෙන් හා දොස්‌තරවරුන්ගෙනි. ඔවුන් පවසන්නේ “ටැමිල් නෙට්‌” වැනි කොටි සංවිධානයට පක්‍ෂපාතී යෑයි සිතෙන මූලාශ්‍ර වලින් ඔවුන් තොරතුරු ලබා නොගත් බවයි. ඔවුන් කියන ආකාරයට කොටි සංවිධානයට පක්‍ෂපාතීව කරුණු දැක්‌වූයේ “ටැමිල් නෙට්‌” වෙබ් අඩවියෙන් පමණි. අනෙක්‌ සියලුම උදවිය ඉතාමත්ම අපක්‍ෂපාතී ආකාරයට කරුණු දක්‌වා ඇතැයි යන උපකල්පනය මත ඔවුන් කටයුතු කරයි. ඔවුන්ට තොරතුරු දුන් වෛද්‍යවරුන් සම්බන්ධයෙන් ඔවුන් කියා ඇත්තේත් කොටි පාලනය යටතේ සිටින විට එකී වෛද්‍යවරුන් සත්‍ය ප්‍රකාශ කළ බවත් යළිත් ආණ්‌ඩුවේ පාලනයට යටත් වූ පසු ඔවුන් බොරු කී බවත්ය. මේ අනුව ඔවුන් පැමිණ ඇති නිගමනය වන්නේ කොටි සංවිධානයේ පාලනය යටතේ සිටින විට ඔවුන්ට තොරතුරු දුන් රජයේ සේවකයන් ඇත්ත කී බවත්, එම රජයේ සේවකයන් යළිත් තමන්ගේ ආණ්‌ඩුවේ බලප්‍රදේශයට පැමිණි පසු බොරු කී බවත්ය.

මේ අනුව 2008 වසරේදී ඇමරිකාවේ අභ්‍යන්තර ඔත්තු සේවය වන එෆ්. බී. අයි. ආයතනය විසින් ලෝකයේ දරුණුම ත්‍රස්‌තවාදීන් හැටියට (අල් කයිඩා සංවිධානයත් පරාජය කරමින්) අංක එකේ තැනට නම් කරන ලද ත්‍රස්‌තවාදී සංවිධානයේ අණසක යටතේ භාෂණයේ නිදහස තිබුණු බවත් ආසියාවේ පැරැණිම ප්‍රජාතන්ත්‍රවාදී රට වන ශ්‍රී ලංකාවේ ආණ්‌ඩුව යටතේ භාෂණයේ නිදහස නොමැති බවත් ගම්‍ය වන ආකාරයට මූන් වාර්තාව කරුණු දක්‌වයි. නමුත් කොටි සංවිධානයේ පාලන ප්‍රදේශවල සිට කිසිදු අපක්‍ෂපාතී තොරතුරක්‌ එළියට එන්නේ නැති බව ලංකාවේ ජීවත් වන හැමෝම දනිති. එළියට ආ තොරතුරු කොටි සංවිධානය විසින් එළියට දීමට සූදානම් වූ ඒවා පමණි. වෙනකක්‌ තබා එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේම දෙමළ සේවකයන්ගේ ජීවිතත් මරණයත් පාලනය කළේ කොටි සංවිධානය විසින්ය. එ.ජා. සංවිධානය විසින් කොතරම් පෙරැත්ත කරත් ඔවුන්ගේ සේවකයන් කොටි ග්‍රහණයෙන් බේරා ගැනීමට නොහැකි විය. 2005 දෙසැම්බර් මාසයේදී ලංකාවට පැමිණි ෆිලිප් ඇල්ස්‌ටන් නමැති එ.ජා. සංවිධානයේ විශේෂ නියෝජිතයා ද කොටි සංවිධානය විසින් දෙමළ ජනතාව මරා බියගන්වා ඔවුන්ගෙන් වැඩ ගැනීම ගැන වෙනම සඳහනක්‌ කළේය. ඔහුගේ නිර්දේශය වූයේ ද බටහිර රටවල් විසින් දෙමළ ඩයස්‌පෝරාව හරහා මේ භීෂණය නවත්වන මෙන් කොටි සංවිධානයට බලපෑම් කළ යුතු බවයි.

කොටි සංවිධානය විසින් දෙමළ ජනතාව පමණක්‌ නොව ඔවුන්ගේ ප්‍රදේශවල සිටි රජයේ සේවකයන්ද පාලනය කළ ආකාරය ගැන යාපනය විශ්වවිද්‍යාලයේ ගුරුවරුන් පිරිසක්‌ විසින් පිහිටුවන ලද “මානව අයිතීන් සඳහා විශ්වවිද්‍යාල ගුරුවරුන් (යාපනය)” නමැති සුප්‍රසිද්ධ සංවිධානය කොටි සංවිධානය විසින් දෙමළ දිසාපතිවරුන්ගේ සිට දොස්‌තරවරුන්, ගුරුවරුන් හා ග්‍රාමසේවක දක්‌වා සියලු දෙනා පාලනය කළ ආකාරය ගැන ඔවුන්ගේ ලියවිලි වල මනාවට පැහැදිලි කර ඇත. දෙමළ සංවිධානයක්‌ වුණත් යාපනය විශ්වවිද්‍යාලය පදනම් කරගත් මෙකී දෙමළ බුද්ධිමතුන්ට මේ ආකාරව නිදහසේ අදහස්‌ ප්‍රකාශ කිරීමට හැකි වූයේ ඔවුන්ගේ ප්‍රධාන ක්‍රියාකාරීන් කොටි බලප්‍රදේශ වලින් බැහැරව ජීවත් වූ නිසාය. මෙම දෙමළ විශ්වවිද්‍යාල ගුරුවරුන් කොටි සංවිධානය විසින් ආණ්‌ඩුවේම ග්‍රාමසේවකවරුන් හරහා දෙමළ ජනතාව පාලනය කරන ආකාරය ඉතා සිත්ගන්නාසුළු ආකාරයට විස්‌තර කර ඇත. කොටි සංවිධානය ඔවුන්ගේ

රැස්‌වීම්වලට පවා ජනතාව ගෙන්වා ගන්නේ ග්‍රාමසේවකවරුන් හරහාය. ජනතාවගෙන් බලයෙන් වැඩ ගැනීමටත්, ඔවුන් හමුදා සේවයේ යොදවා ගැනීමටත් ජනතාවට ලැබෙන සහනාධාර වලින් කොටසක්‌ කොටි සංවිධානයට ලබාගැනීම සඳහාත් ඔවුන් භාවිත කළේ ආණ්‌ඩුවේම ග්‍රාමසේවකවරුන්ය · මේ ආකාරයට කොටි සංවිධානයේ දැඩි අණසක යටතේ පසුවූ දෙමළ දොස්‌තරවරුන් හා වෙනත් රජයේ සේවකයන්ගෙන් නිර්පාක්‍ෂික තොරතුරු ලැබේය යන උපකල්පනය මත කටයුතු කිරීම බෑන් කී මූන් කමිටුව විසින් කරන ලද ප්‍රධානම වරදකි.

තමන්ට තොරතුරු ලැබුණේ පොදුවේ මෙවැනි රජයේ සේවකයන්ගෙන් හා ජාත්‍යන්තර සංවිධාන වල සේවකයන්ගෙන් යෑයි කීවද නිශ්චිතවම එක්‌ එක්‌ තොරතුරු ලැබුණේ කාගෙන්ද යනාදී විස්‌තර කිසිවක්‌ එම වාර්තාවේ සඳහන් කොට නැත. අප කලින් ද පෙන්වා දුන් පරිදි ආණ්‌ඩුවේ දෙමළ රජයේ සේවකයන් තබා ජාත්‍යන්තර සංවිධානවල දෙමළ සේවකයන්ටවත් අපක්‍ෂපාතීව කරුණු ප්‍රකාශ කිරීමට හැකියාවක්‌ තිබුණේ යෑයි කීම විහිළුවකි. එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළුව අනෙක්‌ සියලුම ජාත්‍යන්තර සංවිධානවල දෙමළ සේවකයන්ට පණ බේරා ගැනීමට පලා යැමටවත් කොටි සංවිධානය ඉඩ දුන්නේ නැත. මූන් වාර්තාවේම එය පැහැදිලිව සඳහන් කොට ඇත. ඉතින් එවැනි තත්ත්වයක්‌ යටතේ එම දෙමළ සේවකයන්ට භාෂණයේ නිදහස තිබුණේ යෑයි උපකල්පනය කළ හැකිද?

2009 ඔක්‌තෝබර් මාසයේදී යුද්ධයේ අවසන් මාස කීපය තුළ සිවිල් වැසියන්ට හානි කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් වාර්තාවක්‌ පිළියෙල කරන ලදී. මෙකී වාර්තාවේ ආණ්‌ඩුව හා කොටි සංවිධානය විසින් කළා යෑයි කියන සිවිල් වැසියන්ට හානි පැමිණවීම් 217 ක්‌ සඳහන් වී ඇත. මෙයින් 45 ක්‌ කොටි සංවිධානය විසින් සිවිල් වැසියන්ට කරන ලද හානි පිළිබඳ විස්‌තර විය. කොටි පාලන ප්‍රදේශ තුළින් කොටින්ට විරුද්ධව පවා අදහස්‌ ප්‍රකාශ වන්නට ඇතැයි එය කියවන අයකුට සිතිය හැක. නමුත් මේ විස්‌තර සියල්ලම පාහේ ඇමරිකානුවන්ට ලැබී ඇත්තේ කොටි බලප්‍රදේශ වලින් එළියට පැනගත් සිවිල් වැසියන්ගෙනි. කොටි පාලන ප්‍රදේශ තුළ සිටියදීම දුරකතනයෙන් එළියට දෙන ලදැයි සිතිය හැකි තොරතුරු ඇත්තේ එකම එක්‌ අවස්‌ථාවකදී පමණි. කොටි සංවිධානයේ තොරතුරු පාලනය එතරම්ම ප්‍රබල විය. මූන් වාර්තාව සම්පූර්ණයෙන්ම පදනම් කොට ඇත්තේ කොටි සංවිධානයේ අනු දැනුම ඇතුව පිටට දෙනු ලැබූ තොරතුරු මතය.

එ.ජා.ප. ය විසින් පිළිගැනීමට සූදානම් මෙම මූන් වාර්තාව සහමුලින්ම පාහේ පදනම් වී ඇත්තේ කොටි සංවිධානය විසින් ඉහත දැක්‌වූ ආකාරයට සපයන ලද තොරතුරු මතය. ජනතා විමුක්‌ති පෙරමුණට විදේශ බලවතුන්ට රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමට හැකි වන ආකාරයට හැසිරුණා යෑයි කියන්නේද කොටි සංවිධානය විසින් ආණ්‌ඩුවේ හැසිරීම ගැන මූන් කමිටුවට ලබාදී ඇති තොරතුරු අනුවයි. මේ අනුව අපට මේ පක්‍ෂ දෙකම ගැන සිතා ගැනීමට හැකි වන්නේ කුමක්‌ද?

(මූන් වාර්තාව ගැන තවත් විස්‌තර ලබන සතියෙන් බලාපොරොත්තු වන්න)

සී.ඒ. චන්ද්‍රප්‍රේම

Protected by Security by CleanTalk