Spread the News

බීම පොවා සිහි නැති කර දේපොළ කොල්ල කන කල්ලියක්‌
ඔවුන්ට ගොදුරු වූ 10 දෙනෙක්‌ කළුබෝවිල රෝහලෙන් ප්‍රතිකාර අරන්

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

පදිකයින්, ව්‍යාපාරිකයින්, ත්‍රීරෝද රථ රියෑදුරන් හා මිතුරු වී ඔවුන්ට විෂ සහිත බීමක්‌ පානයට සලස්‌වා සිහිමුර්ජා වූ පසු ඔවුන්ගේ රන් ආභරණ, ජංගම දුරකථන ඇතුළු වටිනා දෑ කොල්ලකන කල්ලි කීපයක්‌ ගැන අනාවරණය වී ඇති අතර, දැනටමත් එලෙස සිහිමුර්ජා වී දේපළ ද අහිමි කර ගත් පිරිමි පුද්ගලයින් දස දෙනකු පමණ වෛද්‍ය පරීක්‍ෂණ සඳහා රෝහලට පැමිණ ඇතැයි කළුබෝවිල දකුණු කොළඹ ශීක්‍ෂණ රෝහල් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

දැනටමත් මෙම සිද්ධීන්වලට මුහුණ පා ඇත්තේ පිරිමි පුද්ගලයින් බව එම අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශිකාවක්‌ “දිවයින” ට පැවසුවාය.

විශේෂයෙන්ම රත්මලාන, බොරලැස්‌ගමුව, වේරහැර, පිල්ලෑව විහාරය අසල, කඩුවෙල ඇතුළු ප්‍රදේශවලදී පිරිමි පුද්ගලයින් මෙම සිද්ධිවලට මුහුණ පා තිබේ.

මෙම කල්ලිය ත්‍රී රෝද රථ රියෑදුරන්ද තම ගොදුරු බවට පත් කර ගෙන ඇත. මොවුන් විකිණීමට ඇති නිවසක්‌ බැලීමට යමු යෑයි පවසා අදාළ ත්‍රීරෝද රථ රියෑදුරු කැඳවා ගෙන ගොස්‌ අදාළ ඉඩම බලා නැවත එම ත්‍රීරෝද රථයෙන් පැමිණෙද්දී හරි තිබහයි ත්‍රීවිල් එක මල්ලි අර කඩේ ළඟ නතර කරන්න” යෑයි පවසා ත්‍රීරෝද රියෑදුරාට පලතුරු බීම බෝතලයක්‌ රැගෙන එති. එහිදී ද ඔවුන් විෂ ද්‍රව්‍ය බීම බෝතලයකට දමා ත්‍රීරෝද රථ රියෑදුරාට පානය කිරීමට සලස්‌වා අනතුරුව ඔහු සිහිමුර්ජා වූ පසු ඔහු සතු රන් ආභරණ ඇතුළු වටිනා දේ කොල්ල කා ගෙන ගොස්‌ ඇතැයි හෙළි වී තිබේ.

එමෙන්ම ව්‍යාපාරික ස්‌ථානවලට ගොස්‌ එම ව්‍යාපාරිකයින් ද රවටා ඔවුන්ට විෂ සහිත බීම පානය කිරීමට සලස්‌වා ඔවුන් සතු වටිනා දෑ කොල්ල කා පලාගොස්‌ ඇතැයි ද හෙළි වී තිබේ.

විශේෂයෙන් යම් පලතුරු බීම වර්ගයක්‌, අරක්‌කු, තැඹිලි වතුර, තේ වැනි යම් පානයක්‌ තමන්ට නාඳුනන අයකු ලබා දුනහොත් ඒවා පානය කිරීමෙන් වලකින්නැයි ද කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරු මහජනතාවගෙන් ඉල්ලා සිටිති.

මෙම විෂ සහිත බීම වර්ග පානය කර රෝහල් ගත වූ දස දෙනා කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ විශේෂඥ වෛද්‍ය බන්දුල අබේසිංහ මහතාගේ අධීක්‍ෂණයෙන් සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිනියන් වන ශලනි කරුණානායක එන්. සුප්‍රියා යන මහත්මීන් විසින් පරීක්‍ෂණයට ලක්‌ කරනු ලැබූහ.