Spread the News

බුද්ධගයාවට එල්ල කළ ප්‍රහාරය හෙළා දකිනවා
කතෝලික රාජගුරු මණ්‌ඩලය
source:http:divaina/2013/07/09
නෝමන් පලිහවඩන

ඉන්දියාවේ බුද්ධගයා භූමියේ පිහිටි මහා බෝධි විහාරයට එල්ල කළ ත්‍රස්‌ත ප්‍රහාරය තරයේ හෙළාදකින බවත් මෙම සිද්ධස්‌ථානයට පූර්ණ රැකවරණය තහවුරු කරන ලෙසත් කතෝලික රාජගුරු මණ්‌ඩලය ප්‍රකාශ කර සිටියි.

අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ සහ අතිඋතුම් වැලන්ස්‌ මැන්දිස්‌ රදගුරු හිමිපාණන්ගේ අත්සන්වලින් රදගුරු පදවි මාධ්‍ය ප්‍රකාශක බෙනඩික්‌ ජෝශප් පියතුමන් විසින් එවන ලද නිවේදනයක එම ප්‍රකාශය සඳහන් කර ඇත.

එම නිවේදනයේ මෙසේද සඳහන් වෙයි.

බුද්ධගයා පූජා භූමියේ මහා බෝධි විහාරස්‌ථානයට එල්ල කෙරුණු ත්‍රස්‌ත ප්‍රහාරය සම්බන්ධ සිදුවීම සැලවීමෙන් කතෝලික රාජගුරු මණ්‌ඩලය දැඩි කණස්‌සල්ලට පත්ව සිටී.

ලොව පුරා විසිර සිටින සියලු බොදුනු ජනතාවගේ ඉමහත් භක්‌ති ආදරයට බුද්ධගයාව පාත්‍රව ඇත්තේ ගෞතම බුදුන්වහන්සේ බුද්ධත්වය ලැබූයේ මෙම අති පූජනීය ස්‌ථානයේ බැවිනි.

මේ අනුවේදනීය අවස්‌ථාවේදී බෞද්ධාගමික ප්‍රජාව සමග රාජගුරු මණඩලයද සාමූහික හැඟීමෙන් සිටින බව තවදුරටත් ප්‍රකාශ කර සිටින්නෙමු.