Spread the News

බුද්ධගයා බෝම්බ ප්‍රහාරය

තවත් සැකකරුවෝ 4ක් අත්අඩංගුවේ

source:Dinamina 2013-7-11

මහින්ද අලුත්ගෙදර

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ බුද්ධගයා මහබෝධි විහාරස්ථානයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් සිවු දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

මේ සම්බන්ධව පුද්ගලයන් හය දෙනෙකුගෙන් ප්‍රශ්නකර තිබෙන අතර එයින් සිවු දෙනෙකු සැකපිට ඉන්දිය ජාතික ආරක්‍ෂක කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙන බවද තවදුරටත් ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදුවන බවද ඉන්දියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් මහිෂිණී කොළොන්නෙ මහත්මිය “දිනමිණ” ට පැවසුවාය.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර කාන්තාවක්ද වන අතර ඔවුන් ආනන්ද් ප්‍රකාශ්, ගංජන් පටෙල්, හසන් මලික් සහ ප්‍රියංකා යනුවෙන් හඳුනාගෙන ඇතැයි වාර්තා වෙයි.

බුද්ධගයා මහබෝධි විහාරස්ථානයේ සවිකර ඇති ආරක්ෂිත කැමරා පද්ධතියේ සටහන් වු විඩියෝ දර්ශන පදනම් කර ගනිමින් සිදුකළ පරික්‍ෂණවලින් අනතුරුව මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙන අතර අධිකරණ නියෝග මත මේ වනවිට ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදුවන බව ඉන්දිය ජාතික ආරක්‍ෂක කාර්යාංශය ප‍්‍රකාශකර තිබේ.

භික්ෂූන් වහන්සේලා ලෙස පෙනී සිටිමින් මොවුන් විහාර භූමියට ඇතුළු වී තිබෙන අතර ඔවුන් පරිහරණය කළ සිවුරු තුනක් මෙන්ම ජංගම දුරකතනයක්, සිම් කාඩ්පතක් සහ බෑගයක්ද පොලීසිය විසින් සොයාගෙන ඇත.

අදාළ ආරක්ෂිත කැමරා දර්ශනවල දැක්වෙන පරිදි මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් තුන්දෙනෙකු බුද්ධගයා විහාරස්ථාන භූමියට පොදුවේ භාවිත නොකරන ගේට්ටුවකින් ඇතුලූ වී තිබෙන අතර අනෙක් තුන්දෙනා මෝටර් රථය අසල සෝදිසියෙන් සිටින ආකාරය සටහන් වී ඇත.

මේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කිරීමට ඉන්දීය ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙන අතර ඒ සඳහා මහාරාෂ්ට්‍ර සහ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තවල කණ්ඩායම් පහක් සහයෝගය ලබාදෙන බව වාර්තා වෙයි.

පසුගිය (07) දා අලුයම 5.15 ට පමණ මහාබෝධි විහාරයට එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාවෙන් හිමිවරු දෙනමක් ඇතුළුව පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලැබූ අතර එම විහාරස්ථානයටද සුළු හානි සිදුවිය.

ලෝවැසි බෞද්ධ සැදැහැවතුනේගේ නොමඳ ගෞරවයට පාත‍්‍රවන බිහාර් ප්‍රාන්තයේ බුද්ධගයා මහාබෝධි විහාරය වන්දනා මාන කිරීම සඳහා විශාල පිරිසක් පැමිණෙන අතර සංචාරක ආකර්ශනයද වැඩි වශයෙන් දිනාගෙන තිබෙන මෙම අති පූජනීය විහාරස්ථානය පසුගිය 2002 වසරේදී යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුම පූජනීය ස්ථානයක් වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසුව වැඩිම කලක් වැඩසිටි විහාරස්ථානයක් වශයෙන්ද මේ විහාරස්ථානය හැදින්වෙයි.