Sat. Jan 18th, 2025
Spread the News

බුද්ධාංකුර අනගාරික ධර්මපාලතුමා

අනගාරික ධර්මපාලතුමාගේ 150 වැනි සමරුව අද

ලෝකයාට සෙත ශාන්තිය සැළසීම සඳහා ඒ ඒ කාල පරිච්ඡේද වලට සුදුසු නායකයන්ගේ පහළවීම සිදුවේ.

රට ජාතිය ආගම රැකගැනීම සඳහාද ඒ ඒ දේශයට කාලීනව යම් නායකයෝ පහළවෙති. ශ්‍රී ලංකාද්වීපයේ ඉතිහාසය දෙස බලනවිට ජාතියේ පිනට පහළ නායකයන් රැසකගෙන් මෙම පොළෝතලය අලංකෘත වේ.

එම නායකයන් අතරද අග්‍ර ස්‌ථානය දරාගෙන බිහිවෙන නායකයන් සිටින්නේ ඉතා මද ප්‍රමාණයකි. ඉන් ප්‍රමුඛස්‌ථානය ගන්නේ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාය.

සිංහලයා වනාහි ඉතා සරල වූ දිවි පැවැත්මකින් හෙබි සාමකාමීව ජීවත්වූ සහජීවනයට කැමැති මිනිස්‌ වර්ගයකි.

වැවයි දාගැබයි සංකල්පය තුළින් ඔද වැඩී ගිය ඔවුහු ප්‍රධාන වශයෙන් ගොවිතැන සහ වෙළෙදාම කර්මාන්ත රැකියා කරමින් සිය පවුල් දිවි ගත කළහ.

රාජ්‍ය පාලනයේදී ඒ ඒ රජදරුවන් සමඟ සිය දේශයට පක්‍ෂපාතීව ගත් පැති තුළ ඔවුන් අනුගමනය කළේ සාධාරණීය පිළිවෙතකි. අප රටට ආ පෘතුගීසීන් – ලන්දේසීන් ඉංග්‍රීසීන් නිසා අපේ ජීවන සම්ප්‍රදාය මුළුමනින්ම වෙනස්‌ බවට පත්විය.

විශේෂයෙන් ඉංග්‍රීසින්ගේ අභාශය ජන දිවි පැවතුම් බෙහෙවින් වෙනස්‌ කරමින් රට තුළ අමුතුම විපරියාසයක්‌ කළේය.

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ සම්ප්‍රාප්තිය සිදුවූයේ මෙම විපර්යාසය තුළය. එතුමා සිය රට ජාතිය ආගම වෙනුවෙන් මෙම සමාජ මුල්බැසගත් සිද්ධාන්තයන් වෙනස්‌කරලීමට සියදිවි පරිත්‍යාගයෙන් අගනා මෙහෙයක්‌ දියත් කළහ.

අන්‍යයන්ට උපදෙස්‌ පමණක්‌ නොදී එතුමා තම ඩේවිඩ් යන අපරනාමය වෙනුවට ධර්මපාලයයි හඳුන්වා ගත්හ. ලංකාව පුරා ගමන්යැම සඳහා ගමන් රියක්‌ පදවාගෙන ගමක්‌ නගරයක්‌ පාසා ගියහ. හරක්‌මස්‌ කන්නා දීනයෙකි. මත් පැන් බොන්නා උගුඩුවෙකි. වසල වැඩ නොකළ යුතුය යන්න මෙහි ඇඳ තිබිණි.

ඉංග්‍රීසීන් විසින් සිංහලයාට නොයෙක්‌ ආකාරයෙන් තාන්න මාන්න දී නොමගට හරවා ගැනීමේ ව්‍යාපාර දියත් කළහ. තම ආගමට එන අයට බොහෝ දේ ඔවුහු ප්‍රදානය කළහ. කඩුකස්‌ථාන මුහන්දිරම් මුදලි පට්‌ටම් බොහෝ අයට ප්‍රදානය කළහ. සිංහලයා මේ සිරිත් විරිත්වලට කෙතරම් ගොදුරුවීද යත් සුද්දාගේ කලිසමට උඩින් සරමක්‌ ඇඳීම පවා සිදුකළේය. තම හිස නැමි පනා ගසා ඒවා අංතට්‌ටු ලෙසින් ප්‍රදර්ශනය කළේය.

මෙලෙසින් සමාජය පුරාම සිදුවූ මහා ව්‍යසනය හමුවේ මේ පිළිවෙත් ඉතා උපහාසයෙන් දැඩි විවේචනයට ලක්‌කරලීම ධර්මපාලතුමා සිදුකළහ. ඒ සඳහා ඉතා නිර්දය ලෙසට වචන භාවිත කළහ. කෙලින්ම ඒ ඒ අයගේ මුහුණටම සිය දොaෂාරෝපණය එල්ල කළහ.

සමහර උත්සව සභා වලදී බොහෝ අය ඔළුවේ ගසාගෙන සිටි නැමි පනා කඩා විසිකළහ. කලිසමට උඩින් හැඳසිටි සරම උනා දැම්මේය.

මේ ආදී වශයෙන් ධර්මපාලතුමා දියත් කළ චින්තන විප්ලවය සමස්‌ථ සමාජය පුරාම ව්‍යාප්තව ගියහ. දේශීය උගත්තු වියත්හු බුද්ධිමත්හු එතුමා සමඟ පෙළ ගැසුනාහ.

විශේෂයෙන් අතිපූජනීය මහා සංඝරත්නය මේ උදාර පුරුෂයාගේ මෙහෙය සමඟ පසුබිම සකස්‌කර ඔහු තවත් දිරිමත්කරමින් එම ක්‍රියාදාමයන් අංග සම්පූර්ණත්වයට පත්කළහ.

ධර්මපාලතුමාගේ ක්‍රියාදාමයට වලිසිංහ හරිස්‌චන්ද්‍ර වැනි විරුවෝද එක්‌වූහ. එය මහා ආලෝකයක්‌ විය.

දේශයේ පිනට ජාතියේ උන් අසහාය නායකත්වය නිතැතින්ම ධර්මපාලතුමාට ලැබිණ.

ශ්‍රී ලංකා ධරණීතලය පුරා සිය මහා ක්‍රියාදාමය දියත්කරමින් රටදැය සමය වෙනුවෙන් අති උදාර සේවාවක්‌ සැළසූ මෙතුමා ඊළඟට හැරුණේ දඹදිව දෙසටයි.

අපගේ තිලෝගුරු බුදුපියාණන් වහන්සේ ඉපදීම, බුදුවීම, පිරිනිවීම සිදුවූ අති පාරිශුද්ධ වන්දනීය ස්‌ථාන මෙකල හින්දු ආක්‍රමණිකයෝ කෝවිල් ගොඩනගා ගනිමින් සිරිත් පරිදි සිය ආශ්‍රම පවත්වාගෙන ගියහ.

ඉන්දියාවට ගොස්‌ මේ ෙ€දනීය තත්ත්වය දුටු ධර්මපාලතුමා ඔවුන් සමඟ සටන් දියත් කළේය. නීතිමය ක්‍රියාවන්ට පවා පිළිපන්හ.

ප්‍රබල සිටු පාලකයන් සමඟ සිය පවුලේ බූදලයෙන් හිමිවූ මුදල් යොදමින් නඩු කියා ඒවා ජයග්‍රහණය කරමින් බුqද්ධගයාව බේරාගත්හ.

සිංහලයිනි නැගිටිව් බුද්ධගයාව බේරා ගනිව් යන අභීත නාද නංවමින් එදා දඹදිව පුරා ගෙනගිය සංග්‍රාමය හුදෙක්‌ බුද්ධ ශාසනයේ චිරස්‌තිථිය සඳහාම විය.

මහා බෝධි සමාගම පිහිටුවා ගනිමින් එම සිද්ධස්‌ථාන පාලනය කරමින් ප්‍රචාරක මාධ්‍යය ලෙසට සිංහල බෞද්ධයා පත්‍රය ආරම්භ කළේය.

මේ උතුම් පිංකම් සඳහා සෑම සියලු බෞද්ධයන්ගේමත් විශේෂයෙන් මහා සංඝරත්නයේත් ආශිර්වාදය හිමිවිය.

මෙවන් සත්කාර්යයකදී විදේශීය වශයෙන් ආ බලපෑම් හමුවේ සැබවින්ම එතුමාට සියලු ලෝක පාලන දෙවියන්ගේ රැකවරණය හිමිවන්නට ඇත.

ධර්මපාලතුමාණන් මහා දුරදක්‌නා නුවණකින් හෙබි යුග පුරුෂයෙකි.

රටක – ජාතියක සිදුවන වෙනස්‌කම් බලපෑම් මනා අවබෝධයකින් සාක්‍ෂාත් කර ගැනීමේ මහ ඉවක්‌ ප්‍රාඥ බවක්‌ එතුමාට තිබිණි.

ඒ නිසාම වර්තමාන සිංහල බෞද්ධ ජනතාවට අද උදාවී ඇති පසුබිම සැකසීමේලා ධර්මපාල ක්‍රියාදාමය චින්තනය බෙහෙවින් ඉවහල් විය.

ජීවිතයේ අන්තිම කාලයේ උතුම් ප්‍රවෘජා භූමියට ඇතුළත් වූ ධර්මපාල ශ්‍රීමතුන් සැබවින්ම බුද්ධාංකුර උතුමෙකි.

එතුමාණන් බිහිකළ දර්ශනය අනුගමනය කරමින් ඒ චින්තන ධාරාව දිගේ තව දිගු ගමනක්‌ යැමට සිංහලයා බෞද්ධයා ක්‍රියාකළ යුතු කාලය අද එළඹ ඇත.

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාට දැක්‌විය හැකි උසස්‌ම ගරුත්වය එය වන්නේය.

එල්. එච්. හරිස්‌චන්ද්‍ර
මහනුවර අනගාරික ධර්මපාල පදනමේ හා
මහාබෝධි සංගම් සභාපති

Protected by Security by CleanTalk