බුදුන් උපන්නේ ලංකාවේද?

Spread the News

Courtesy Silumina :

‘මීව­න­ප­ළානේ හිමි නිකා­යෙ­නුත්  නෙරපූ  භික්ෂූ­ත්ව­යක්  නැති අයෙක්’
‘බුදුන් උපන්නේ ලංකා­වේ­ යැයි කියන්නේ කුහකයෝ’
බුදු බව ලැබූ තැන යැයි කියා හිරි­ව­ඩු­න්නට ගිය පිරි­සට ගම්වා­සී­න්ගෙන් ‘හූ‘ සංග්‍ර­හ­යක්

‘මේක බුද්ධා­ගම විනාශ කිරීමේ ජාත්‍යන්තර කුම­න්ත්‍ර­ණ­යක්’ – පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලා­වල මේධා­නන්ද හිමි

සම්බුද්ධ තෙමඟුල සිදුවුණු ස්ථානයන් පෙන්නුම් කරදෙන ලෙස අධිෂ්ඨාන කොට රාත්‍රියේ සමාපත්තියට සමවැදී සැතපුණු පසුව එම ප්‍රදේශ පිළිබඳව අවබෝධ කර ගත් බව මීවනපළානේ සිරි ධම්මාලංකාර හිමියෝ ප්‍රකාශ කරති.

එදින රාත්‍රියේ දී පෙන්නුම් කරන ලද එම දර්ශන අනුව බුදු හිමියන් පහළවූයේ ඉන්දියාවේ නොව ශ්‍රී ලංකාවේ බව පැහැදිලිව දර්ශන සහිතව දැකීමට හැකිවූ බව ද මීවනපළානේ හිමියෝ එහි දී වැඩිදුරටත් පැවසූහ.

උන් වහන්සේගේ මතයට අනුව මහනුවර තෙල්දෙණියේ බඹරගල රජ මහා විහාරස්ථාන භූමිය සිදුහත් කුමාරයා ඉපදුණු ස්ථානයයි. අනුරාධපුර හිරිවඩුන්න බෝධිය සම්බුද්ධත්වය ලබාගත් ස්ථානයයි. මැදවච්චියේ ඉසින්බැස්සගල පස්වග මහණුන් හට පළමු ධර්ම චක්‍ර සූත්‍රදේශනාව වදාළ තැනයි. බළංගොඩ බුදුගල දී බුදු හිමියන් පිරිනිවන් පා වදාළා යැයිද පවසා සිටින මීවනපළානේ හිමියෝ මෙසේද කීහ.

‘‘මම කළේ සමාපත්තියට සම වැදිලා අවබෝධ කරගෙන දුටු දර්ශනයන්ට අදාළ සිදුවීම් පවතින ලද ස්ථාන 04 ඉදිරිපත් කිරීමයි. මගේ මතය සනාථ කර ගැනීම, පිළිගැනීම හෝ නොගැනීම තහවුරු කිරීම පිළිබඳ සංවාදයක් ඇතිවී තිබීම තුළින් දුර්මත තුරන්වී සත්‍ය අවබෝධකර ගැනීමට හැකි වනවා‘‘

මීවනපළානේ හිමියන්ට සමාපත්තියට සමවැදුණු විට දී සිදුහත් තවුසා බුදු වුණු ස්ථානය ලෙස පෙනුණු බව කියන ලද අනුරාධපුරයේ හිරිවඩුන්න ප්‍රදේශයට සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා සිය අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ පැමිණියේය. ඇමති විදුරගේ සංචාරය 2021 ජනවාරි 08 දින සන්ධ්‍යා කාලයේ දී සිදුවිය.

මේ හිරිවඩුන්න ප්‍රදේශයේ ඓතිහාසික තොරතුරු නටබුන් අධ්‍යයනය කළ විදුර වික්‍රමනායක රාජ්‍ය ඇමතිවරයා තමා දුටුගැමුණු යුගයේදීත් සිටියාද?

‘ඇයි අපි එහෙම නම් දුටුගැමුණු යුගය ගැන සොයන්නේ‘ යැයි කියමින් වගකීම් විරහිතව කතා කරන ලද ඇතැම් නිලධාරියකු හට තදින් කතා කර අවවාදයක් දීමට ද අමතක නොකළේය.

බෞද්ධ ජනතාවගේ වන්දනාවට ලක්ව පැවැති පසු කාලයේ දී වළදමා තිබුණු ආසනඝරයක් පිළිබඳවද මෙහි දී අමාත්‍යවරයාගේ අවධානය යොමු විය. මෙම සිදුවීම් මාලාව සමඟම අමාත්‍යවරයාට කිසියම් කණ්ඩායමක් විසින් ‘හූ හඬින්‘ සංග්‍රහ කර ඇති බව ද කියවිණි. එහෙත් ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය ‘හූ කීවේ විදුරට නොවේ‘. යනුවෙන් නිවැරදි කර තිබුණි.

බළංගොඩ ආනන්ද මෛත්‍රි මහා නායක හිමි රේරුකාණේ චන්දවිමල නායක හිමි ඇතුළු ධර්ම විනය උගත් ප්‍රසිද්ධ පඬිවරුන් සමඟ ධර්ම සාකච්ජා කොට ‘පෙනෙන ලොව තුළ නොපෙනෙන ලොවක්’ ‘ඇතුළු ධර්ම ග්‍රන්ථ රාශියක් ලියා තිබෙන මතුගම මහින්ද විජේතිලක දඹදිව වන්දනා චාරිකාවේ දෙවරක්ම නිරත වූ අයෙකි. එහෙත් ඔහු දැන් පවසන්නේ මීවනපළානේ සිරි ධම්මාලංකාර හිමියන්, ශ්‍රී ලංකාවේ බුදු හිමියන් ඉපදී බුදුවී මංගල ධර්ම දේශනාව පවත්වා පිරිනිවන් පාන ලද බව කියන ස්ථානයන් සත්‍ය බවට ඇසින් දැකබලා ගෙන තහවුරු කරගත් බවයි.

‘‘මම මෝඩ කාලයේ සත්‍ය නොදැන දඹදිව ගමන්වාර 02ක් ගියා තමයි. දැන් යථාර්ථය අවබෝධව සිටිනවා. මම මීවනපළානේ හිමියන් පිළිබඳව ග්‍රන්ථ රාශියක්ම ප්‍රසිද්ධ කර තිබේ‘‘ ඔහු පවසයි. මීවනපළානේ හිමියන් සමාපත්ති සුවයෙන් අවබෝධ කර ගත් බවට පවසන තෙල්දෙණියේ බඹරගලට, අනුරාධපුර හිරි වඩුන්නට, මැදවච්චියේ ඉසින්බැස්සගලට සහ බුදුගලටත් දඹදිව වන්දනාවේ ගොස් අත්දැකීම් පවතින සංචාරකයන් හට පැමිණ යථාර්ථය අවබෝධ කර ගන්නා ලෙසටද පවසන්නට විය.

බුදු හිමි වැඩ සිටි 5වන සියවසේ ඉන්දියාව පාලනය කර ඇත්තේ ඬේරියස් අධිරාජ්‍යයාය. පර්ෂියානු ඉතිහාසයේද සිද්ධාර්ථ ගෞතම බුදුහිමි ගැන සුද්ධෝදන, බිම්බිසාර, අජාසත්ත, දේවදත්තලා පිළිබඳ ලියැවී නැති බව ද මහින්ද විජේතිලක පවසයි. ශ්‍රී ලංකාවේ බෞද්ධයන් හට ‘බුද්ධගයාව බේරාගනිව්‘ කියා දඹදිව වන්දනාවට පුරුදු පුහුණු කළේ ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා බව ද ඔහු චෝදනා ස්වරූපයෙන් පැවසීය.

පරම නිබ්බාන ධර්ම ආයතනය මීරිගම – කටුවා කැළේ ඇති අධිපති මීවනපලානේ හිමියන්ගේ මතය වැඩිපුර ප්‍රසිද්ධව ඇත්තේ වෛද්‍ය, ඉංජිනේරු ආදී ඉහළ රක්ෂාවල නිරත පිරිස අතරය. අවුරුදු 2,500කට අධික කාලයක සිට අඛණ්ඩ විශ්වාස කළ බුදු හිමි තෙමඟුල සිදුවූ ස්ථානයන් පිළිබඳව මතවාදයන් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන සිරිධම්ම හිමියන්ගේ ජීවිතයට එබී බලමු.

මීවනපළානේ විලියම් හපුතන්ත්‍රී සහ හපුඅච්චිගේ ඇලිස් නෝනාගේ තෙවැනි දරුවා ලෙස 1942 අප්‍රේල් 12 වැනිදා ඉපදී ඇත. ගිහි නම සිරිසේන හපුතන්ත්‍රීය. මීවනපළානේ විදුහල, හොරණ තක්ෂිලා විදුහල සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපන ලබා තිබේ. සංඛ්‍යානය හා ආර්ථික විද්‍යාව හදාරා 1968 රාජ්‍ය සේවයට එක්වී ඇත. පසුව නෙදර්ලන්තයේ හේග් විශ්වවිද්‍යාලයෙන් කෘෂිකර්මය හා සංඛ්‍යා පිළිබඳ පශ්චාත් උපාධියද ඇමරිකාවේ කැරොලින් සරසවියෙන් ආර්ථික විද්‍යාව විශ්ලේෂණය ආචාර්ය උපාධිය ලබා ඇත. සිරිසේනගේ බිරිඳ චිත්‍රා ජයතිලකයි. දෙදරු පියෙකි. රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබාගන්නේ රජයේ කෘෂිකර්ම අධ්‍යක්ෂකවරයා ලෙස සිටියදීය. ඊට ප්‍රථම අධ්‍යාපන අමාත්‍යාංශයේද තනතුරු දරා ඇත්තේය.

ඔහු වර්ෂ 2007 අගෝස්තු 15වැනි දින දී කුරුවිට මඩලගම විහාරාධිපති මඩලම වජිර බුද්ධි හිමියන්ගේ ශිෂ්‍යවරයකු ලෙස පැවිදි විය.

මීවනපළානේ සිරි ධම්මාලංකාර භික්ෂූන් වහන්සේ බවට සිරිසේන හපුතන්ත්‍රී පත් විය. ගෞතම බුදු හිමියන් පමණක් නොව ලොව සියලුම බුදුවරු පහළ වන්යේ ශ්‍රී ලංකාවේ බවට සමාපත්ති ඥානයෙන් අවබෝධ කරගත් බව පවසන්නේ මෙම චරිතයයි.

මම බුදුහිමි උපත පිළිබඳ හෙළිකළ කථාව මට වඩා අනුගාමිකයන්ගේ ලබාගන්නවා නම් හොඳය. මා සමඟ සංවාදයේ දී කාරුණිකව හෙළි කළේය. පැහැදිලි කළේය.

දෙබරයකට ගල් ගැසූවාක් වැනි බෞද්ධ සිත් ප්‍රකම්පිත කරන ඉහත නවතම සොයා ගැනීම සිදුකර තවම අවුරුදු 10කට වඩා නැත.

සම්බුදු චරිතයට අදාළව ප්‍රචලිත මෙම මතවාදයට එරෙහිව සිරි ධම්මාලංකාර හිමියන් වාසය කරන ස්ථාන රාශියකම ඉදිරිපිට උද්ඝෝෂණ පවත්වා ජනතාව හා සංඝරත්නය විසින් විරෝධය පළකර තිබේ.

අවට පන්සල්වල නායක හිමිවරුන්ගේ සංවිධායකත්වයෙන් පවත්වා ඇති එක උද්ඝෝෂණ ව්‍යාපාරයකට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ද සහභාගි වූ අතර 2018 අගෝස්තු මාසයේ දී කටුකැලේ ධර්මායතනය ඉදිරිපිට දී උද්ඝෝෂණ සිදුවිය. මෙම මතවාදයන් ප්‍රචලිත කිරීම නිසා ධම්මාලංකාර හිමියන් නිකායන්වලින්ද නෙරපා ඇති අතර බුද්ධ ශාසන අමාත්‍යංශයේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් භික්ෂු භාවය අවලංගු කර ඇත. එහෙත් ධර්මායතන එය ප්‍රතික්ෂේප කර සිටී.

මීරිගම පරම නිබ්බාන ධර්මායතනය වසා දමන ලෙස මහා සංඝයා වහන්සේලා මාරාන්තික උපවාසයකද නිරතවූහ.

1931/19 විහාර දේවාලගම් පනතට අනුව බෞද්ධ ආගමික කාර්යයන් සඳහා ඉඩමක් පූජාකර තිබිය යුතුය. එම ඉඩම බුද්ධශාසන අමාත්‍යාංශය හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ලියාපදිංචි කර තිබිය යුතුය.

මීරිගම කටුවාකැලේ බෞද්ධ මධ්‍යස්ථානය ලියාපදිංචි කර නොමැත. භික්ෂු හැඳුනුම්පතද ලියාපදිංචි කළ යුතුය.

ලංකාවේ පවතින නිකායක ආචාර්යය උපාධ්‍යයන් වහන්සේලා දෙනමක් යටතේ පැවිදි විය යුතුය.

මෙම හිමියන් මල්වතු නාහිමියන් විසින් සිය නිකායෙන් නෙරපා ඇත.

රුපියල් ලක්ෂ 235 ගෙවා ඉෂාරා රෂ්මි හපුතන්ත්‍රී නමැති අය නමින් ගම්පහ මාලදෙණියෙන් ඉඩමක් මිලට ගෙන ඇත. (ඉෂාරා පැවිද්දට පෙර දුවකි.)

ජනාධිපති, අගමැති හා පොලිස්පතිතුමාගෙන් ඉහත සිද්ධීන් පිළිබඳව පරීක්ෂණයක්ද පවත්වන ලෙස ඉල්ලීමක් කරමින් උපවාසය පැවැත්විණි.

එහෙත් ධර්මායතනයේ විද්‍යුත් මාධ්‍ය ප්‍රචාරයක අංශයේ ජනිත් හර්ෂ පවසන්නේ උද්ඝෝෂණ ව්‍යාපාර, සත්‍යග්‍රහ ආදිය පැවැත්වූ නමුත් නායක හිමියන් මෛත්‍රීයෙන් යුතුව කටයුතු කරන බවය.

බුදු හිමියන්ගේ ධාතුන් වහන්සේ වැඩිම ප්‍රමාණයක් ජීවමාන පරිහරණය කළ පාත්‍ර ධාතුව, පධි ධාතුව මේවා ඉන්දියානුවෝ අපිට දේවීද? ඔහු ප්‍රශ්න කරයි.

පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කි.පු. 300 ශත වර්ෂයෙන් ඈතට පරීක්ෂණ නොකරන බව ද ඔහු කියයි.

පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමියෝ ශ්‍රී ලංකාවේ පුරාවස්තු සංරක්ෂණය කිරීම සඳහා විශාල මෙහෙවරක් සිදුකළ මෑත යුගයේ පහළ වූ පුරාවිද්‍යාව පිළිබඳව හසළ දැනුමකින් යුතු මහා බුද්ධ පුත්‍රයාණන් වහන්සේය.

යාපනය – මැදවච්චිය – හිරිගඩුසෑය ඇතුළුව උතුරු නැ‌ෙඟනහිර පමණක් නොව ශ්‍රී ලංකාවේ සෑම නටබුන් ඓතිහාසික ස්ථානයක් පිළිබඳව අවබෝධයෙන් යුතුව ග්‍රන්ථ රචනා කොට ඇති දේශනා හා ලිපි ආදිය අවුරුදු 40කට අධික කාලයක සිට සපයා දැනුදු ඒ සද්ව්‍යාපාරය පිණිස කැපව සිටින එල්ලාවල මේධානන්ද හිමියන් මීවන පළානේ හිමියන්ගේ මතවාදය පිළිකෙව් කරති.

‘‘හබරණ පාරේ කැළැවක ඔය හිරිවඩුන්න ප්‍රදේශයේ පැරණි බෝධියක් ඇති බව ද හබරණ සෙල්ලිපියද පවතින බව ද මෙම කිසිවක් ක්‍රි.ව. 03 -04 වර්ෂවලට වඩා දීර්ඝ යටගිය අතීතයකට විහි දී නොයනවා සේම පරීක්ෂණ කිරීමට ප්‍රමාණවත් ඓතිහාසික අගයක් ඇති බව පිළිගැනීමට තරම් ප්‍ර‍මාණවත් සාක්ෂි නැතැයිද නාහිමියෝ පෙන්වා දෙති.

මෙය සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේට, ගෞතම බුදුරදුන්ට, තම ශාස්තෘන් වහන්සේට කරනු ලබන මහා නින්දාවකැයිද පවසති.

සිද්ධාර්ථ කුමාරයාගේ උප්පත්තිය සම්මා සම්බුද්ධත්වයට පත්වීම මංගල ධර්ම දේශනාව සම්බුදු පරිනිර්වාණය ශ්‍රී ලංකාවේ සිද්ධවුණු බවට අමුතු ධර්මයක් කියන ඔය ගොයියෝ බුද්ධාගම විනාශ කිරීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක මුදල්වලට යටවුණු කල්ලියක්.

‘මහවැලි නදියේ ජලයට යටවන තෙල්දෙණිය බඹරගල කන්දේ පුංචි ගල් කුටියක බෝසත් උපත සිදුවූ බව අමූලික බොරුවකි. ඔය වගේ මහා මඩ ගොහොරුවක බෝධි සත්ත්වයන් ඉපදුණා කියන්නේ ඒ උත්තමයාණන්ට කරන බලවත් නිග්‍රහයක්. ඉසින්බැස්ස ගල ඉසිපතනාරාමය පළමු ධර්ම දේශනාව කළ බවට සාක්ෂි නැත. බළංගොඩ බුදුගල දී සම්බුද්ධ පරිනිර්වාණය සිද්ධවුණු බව පැවසීම තවත් මහා අකුසලයක් කර ගැනීමක්‘‘ යැයිද එල්ලාවල හිමියෝ පවසති.

අපේ රටේ බුදු හිමි ඉපදුණා නම් අවුරුදු 2,500කට අධික කාලයක් මේ අපේ රටේ මිනිස්සු ඒ බව නොදැන සිටියේ ඇයි? මේවා හීනෙකින්වත් කතා කර නැති දේවල්.

‘‘මම විල්පත්තු මහ කැළය, උතුරේ බුද්ධ භූමි, ඔඩ්ඩුසුඩාන්, අම්පාර, යාල පමණක් නෙමේ ශ්‍රී ලංකා පොළොවේ ගවේෂණය නොකළ තැනක් නැහැ.

බුදු හිමි දඹදිව පහළවුණු බවට කථාව සියලුම සාධකවලින් ඔප්පු වෙලා තියෙනවා.

ඔය කථාව කියන සමාපත්තියට සමවැදුණාම පෙන්නුම් කළා පවසන ගොයියෝ දන්නේ නැහැ සමාපත්තියට සමවැදෙන්න පුළුවන් පුද්ගලයකු ඒ බව ලෝකයාට අඟවන්නේ නැති බව.

ඒ වගේ උත්තරීතර ගුණ ධර්ම කෙළෙසා ගන්නේ නැති බව ද හෙළි කරන නායක හිමියෝ මෙය ශාසන ඉතිහාසය විකෘති කිරීමක් බව ද හෙළි කළහ.

මිනිසුන්ට නිවැරදි ඉතිහාසය විද්වත් පුද්ගලයින් විසින් ඉගැන්විය යුතු‘ බව ද නාහිමියෝ පෙන්වා දෙති.

ශ්‍රී සම්බුදු උපත ඇතුළු සිදුවීම් 4 මේ අතර ශ්‍රී ලංකාව තුළ සිද්ධ වූ බවට පිළිගත හැකි කිසිදු ජීවමාන සාක්ෂි දක්නට නැති බව පශ්චාත් පුරා විද්‍යා අධ්‍යයන ආයතනයේ පුරා විද්‍යා අංශයේ මහාචාර්ය නිමල් සිල්වා මහතාද අවධාරණය කර සිටී. සිළුමිණට අදහස් දක්වමින් මහාචාර්ය නිමල් සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ සම්බුදු තෙමඟුල ශ්‍රී ලංකාධරණි තලය තුළ සිදු වී ඇති බවට පවසන මතවාදය නිවැරදි නම් අපේ මහා වංශයද බොරු වන බවයි.. තවද මිහිඳු මහ රහතන් වහන්සේ ඉට්ඨිය, උට්ඨිය, ….. සුමන සාමණේරයන් ඇතුළුව පිරිස සමඟ ශ්‍රී ලංකාවට බුදු දහම රැගෙන වැඩම කළ සිද්ධියක් සංඝමිත්තාවෝ මහ රහත් තෙරණින් වහන්සේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවක් වැඩමවමින් නැවක නැ‍ඟී මේ ශ්‍රී ලංකාවට සපැමිණිය ප්‍රවෘත්තියද තවත් බොරුවක් වන බවය.

බුදු හිමියන් ශ්‍රී ලංකාවට වැඩිය බවට සාක්ෂි පවතින බව කියන්නේ යැයිද හෙළි කර සිටිය මහාචාර්ය නිමල් බුද්ධ ධර්මයට බුද්ධ චරිතයට අවමන් කරන හා විකෘති කරන මෙබඳු කණ්ඩායම්වලට දැඩි දඬුවම් පැමිණ විය යුතු බව ද පැවසීය. බුදු උපතට අදාළව මෙවැනි හිස් ප්‍රලාප කාරයන්ට ආගම දහම විනාශ කිරීමට තව දුරටත් කිසිදු අවස්ථාවක් ලබා නොදිය යුතු බව ද අවධාරණය කෙළේය.

අජාසත්ත, දේවදත්ත, බිම්බිසාර, බ්‍රහ්මදත්ත ආදී කිසිදු නාමයක් අපේ රටේ පැවැති නැති බව ද හෙළි කළ මහාචාර්යවරයා මේ ලෙසින් සැකයක් ඇති කරන්නේ බුද්ධාගමට විරුද්ධ කල්ලි බව ද කියයි.

මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් ද මීවනපළානේ හිමියන්ගේ මතයට එරෙහි වූ කැපී පෙනෙන චරිතයක් විය.

පරම නිබ්බාන ධර්මායතනයේ මතය ප්‍රතික්ෂේප කරන ඉදුරාගාරේ හිමියන් සිය හඬ අවදි කළේ මේ අයුරින්ය.

‘‘ඓතිහාසික කාරණාවක් සනාථ කිරීමට පහසු විධිමත් ක්‍රමය නම් සෙල්ලිපි, නෂ්ටාවශේෂ සහ ප්‍රාථමික ලේඛන සියුම්ව අධ්‍යයනය කිරීමයි.

මෙයට අමතරව ද්විතීක මූලාශ්‍ර – තෘතියික මූලාශ්‍රයන් තියෙනවා ලේඛන හා කට කතා එම මූලාශ්‍රයනුයි. කටකතා ආශ්‍රයෙන් හෝ පුරා වෘත්ත තුළින් ඉතිහාස ගත ඓතිහාසික තොරතුරක් සනාථ කර ගන්නට බැහැ. පිළිගැනීමටද නොහැකි යැයිද උන් වහන්සේ පවසති. නෂ්ටාවශේෂ සාධක තියෙන තැනක් නම් අපි කැමති වුණත් අකමැති වුණත් එය ප්‍රත්ක්ෂේප කරන්නට බැරි බව ද පැවසූහ.

ආගමක් ඇතුළත, ශාන්ති කර්ම, ආචාර ධර්ම සාහිත්‍ය ඉතිහාස කාරණා දාර්ශනික කරුණු පවතින බව ද උන් වහන්සේ හෙළි කළහ.

තවද ඉතිහාසය පුරා විද්‍යාව ඓතිහාසික වාග් විද්‍යාව ආදිය තුළින් ඉතිහාසගත කරුණු සනාථ කර ගැනීමට හැකි බව ද ග්‍රෑම්වලින් වතුර මනින්නට යෑම කුජීත හෝ තක්කඩි ක්‍රියාවකැයිද හෙළි කළහ.

සොක්‍රටීස් දේශනා පිළිගැනීමට පිටකොටුවේ ඉපදිය යුතුද? ජේසුස් මතය පිළිගැනීමට බෙත්ලෙහෙමේ ඉපදුණු බව දත යුතුද? මොහොමඩ් නබිතුමා මදිනාවේ සිටියා බව මිස තිහාරියේ සිටිය බව දැන ගෙනද අදහන්නේ යැයිද පැවසූහ.

මහාචාර්ය එන්.එල්.ඒ කරුණාරත්නද සම්බුදු උපත ඇතුළු ප්‍රධාන සිදුවීම් ශ්‍රී ලංකා භූමියේ සිද්ධ වී ඇති බව පිළිගන්නා විද්වතෙකි.

විදුර වික්‍රමනායක අමාත්‍යවරයාගේ හිරිවඩුන්න ප්‍රදේශයේ සංචාරයේ දී මිනිසුන් හට ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මිලයට ගත් ලොතරැයි පත් 50ක් නොමිලේ ප්‍රදානය කළේද කරුණාරත්නයන්ය. ‘සුද්ධෝදන මහ රජු, මහමායා දේවිය, යශෝධරා දේවිය මේ සියලු දෙනා ශ්‍රී ලංකාවේ ඉපදී තියෙන්නේ.

විදුර වික්‍රමනායක ඇමතිතුමාගේ සංචාරය පිළිබඳව ආරංචි වෙලා මමත් එහි ගියා. මම විනෝදාංශයක් ලෙස දුප්පතුන් හට නොමිලේ ලොතරැයි ප්‍රදානය කරනවා.

එදා දේවදත්තලා, අජාසත්තලා, චිංචිමානවිකාලා, මාගන්ධිලා බුදුරදුන්ට වෛර කළා. ගල් පෙරළුවා. රා පොවා නාලාගිරි යැව්වා. දුනුවායෝ යැව්වා. නින්දා කළා. මේ එහෙම රටක් යැයිද පැවසීය.

රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක මෙසේ කියයි. ‘හිරිවඩුන්ගේ පුරා වස්තු පිළිබඳ විමර්ශනය කිරීම අපේ සංචාරයේ අරමුණු වුණා. මෙම ප්‍රදේශයේ පෞරාණික බවක් තියෙන බව ඉතා පැහැදිලියි. මේවා විනාශ වන්නට ඉඩ තැබිය යුතු නැහැ. බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය, පරිනිර්වාණය, බුදු වීම ශ්‍රී ලංකාවේ සිද්ධ වුණාය කියන ප්‍රකාශ මට අදාළ නැහැ. මේ සිද්ධවීම් දඹදිව ඉන්දියාවේ දී වුණු බව තමයි අපි පිළිගන්නේ.

 නන්දන ශ්‍රී කෝට්ටේගොඩ-කළුතර