Spread the News

බුදුරදුන්ගෙන් බණ ඇසීමේදී විවිධ ඉරියව්
දැක්‌ වූ බ්‍රාහ්මණ තරුණයන් පස්‌දෙනා

ගුණපාල කාරියවසම්

ධර්මය ඇසීම ඉතාම දුර්ලභ කාරණයක්‌. බුදුරජාණන් වහන්සේ නමකගෙන් ධර්මය ඇසීම ඊටත් වඩා දුර්ලභ කාරණයක්‌. ධර්මය ඇසීමේදී හෙවත් බණ ඇසීමේදී ඊට සවන් දෙන ශ්‍රාවක පිරිස විවිධ ඉරියව් පවත්වනවා. එය අද වගේම එදත් සිදු වී තිබෙනවා. ඒ පිළිබඳ කථා පුවතක්‌ වේ.

අප ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩ වාසය කරන සමයේ දිනක්‌ උන්වහන්සේගෙන් ධර්මය ඇසීමට යහළුවන් පස්‌ දෙනෙක්‌ පැමිණියා. මොවුන් යහළුවන් වගේම සම වයසේ බ්‍රාහ්මණ තරුණයන්. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන අවස්‌ථාවේ මොවුන් පස්‌දෙනා ධර්ම දේශනාවට සවන් දී සිටින අතරම විවිධ ඉරියව් පැවැත්වූහ. එක ඉරියව්වක සිටියේ නැහැ.

එයින් එක්‌ අයෙක්‌ බිමට ඔලුව බර කරගෙන නිදිකිරා වැටෙනවා වගේ තමයි හිටියේ. නමුත් හොඳින් බණට ඇහුන්කන් දෙනවා. දෙවැන්නා අතේ ඇඟිලිවලින් බිම හාරනවා වගේ හැසිරීම් රටාවක්‌ දැක්‌වූවා. තුන්වැන්නා අසල තිබූ පැලෑටිවල අතු සොලවමින්, කොළ කඩමින් කාලය ගත කළා. සිව්වැනි පුද්ගලයා අහස දෙස තෙත් යොමුකර උඩ බලමින් සිටියා. නමුත් පස්‌වැන්නා නම් බුදුරජාණන් වහන්සේ දෙසම නෙත් යොමා වැඳගෙන හොඳින් බණ ඇසුවා. ධර්ම දේශනාව අවසානයේ මේ යහළුවන් පස්‌දෙනා බුදුරජාණන් වහන්සේට වැඳ නමස්‌කාර කර පිටවී ගියා.

බුදුරජාණන් වහන්සේ අසල සිටි අග්‍ර උපස්‌ථායක ආනන්ද ස්‌වාමීන් වහන්සේ මේ පිරිසගේ විවිධ ඉරියව් දෙස හොඳින් නිරීක්‍ෂණය කරමින් සිට සියලු දෙනා දෙව්රම් වෙහෙරෙන් පිටව ගිය පසු බුදුන් වහන්සේගෙන් මේ පිළිබඳව ප්‍රශ්නකර සිටියා. ඊට පිළිතුරු ලෙස බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ අතීත භවයන් පිළිබඳව විස්‌තරයක්‌ කළා.

ආනන්ද, නිදි කිරමින් බිම බලාගෙන ධර්මය ඇසූ ඒ බ්‍රාහ්මණ තරුණයා මීට පෙර ආත්ම පන්සීයක්‌ තිස්‌සේ සර්පයෙක්‌ ලෙස තිරිසන් යෝනියේ ඉපිද සිටි අයෙක්‌. ආහාර සොයා ගැනීම සඳහා ටික වේලාවක්‌ වනයේ ගැවසෙන සර්පයා ගොඳුරු අනුභව කර කුස පුරවාගත් පසු වැඩි වේලාවක්‌ ගතකරන්නේ නිදා ගැනීමෙන්. ඒ නිසයි ඔහු අතීත පුරුද්දට අනුව නිදි කිරමින් සිටියේ. නමුත් ඔහු හොඳට බණ ඇසුවා. ආත්ම පන්සීයක්‌ තිස්‌සේ තිsරිසන් යෝනියේ ඉපිද සිටි ඔහු කරන ලද අකුසල්වල විපාක අවසන් වී මේ ආත්මයේ මිනිස්‌ ආත්මයක්‌ ලබා තිබෙනවා” යයි බුදුන් වහන්සේ ආනන්ද හිමියන්ට වදාළහ.

ඉතින් ස්‌වාමීන් වහන්ස, ඇඟිලි තුඩුවලින් පොළොව හාරමින් සිටි පුද්ගලයාගේ අතීත භවය කොයි ආකාරයෙන්දැයි නැවත ආනන්ද ස්‌වාමීන් වහන්සේ බුදුන් වහන්සේගෙන් ප්‍රශ්න කළහ.

පින්වත් ආනන්ද, ඒ තරුණයාත් මේ මිනිස්‌ ආත්මය ලැබීමට පෙර ආත්ම ගණනාවක්‌ම තිරිසන් යෝනියේ තමයි ඉපිදිලා හිටියේ. බිම් පණුවන් ගැඩවිලන් වැනි තිරිසන් ආත්මවලයි ඉපිද සිටියේ. බිම් පණුවන් ගැඩවිලන් ජීවත්වන්නේ පොළොවෙන් තරමක්‌ යට. ඒ සතුන් බිම හාරමින් පොළවේ යට තිබෙන පස්‌ පොළව මතුපිටට ගොඩ දමනවා. ආත්ම ගණනාවක ඒ පුරුද්ද මේ මිනිස්‌ ආත්මය ලබා තිබියදීත් සසර පුරුද්දට කරනවා. ඒ නිසයි ආනන්ද ඒ බ්‍රාහ්මණ තරුණයා ඇඟිලි තුඩුවලින් බිම හාරනවා වගේ ක්‍රියා කරමින් ධර්මය ඇහුවේ. ඒ ක්‍රියා කරමින්ම ඔහුත් හොඳට බණ ඇහුවා.”

”හරිම පුදුමයි බුදුහාමුදුරුවනේ” සත්ත්ව ලෝකයේ ජීවිත කථ. අර අර තවත් තරුණයෙක්‌ ධර්මය අහන අතරතුර අසල තිබූ පැළෑටිවල අතු සොළවමින් කොළ කඩමින්, කඩාගත් කොළ ගුලි කරමින්, විවිධ හැසිරීම් දැක්‌වූවා. ඔහුගේ පෙර ආත්ම භවයන් කවර ආකාරදැයි වදාරණ සේක්‌වා” ආනන්ද හාමුදුරුවන් බුදුන් වහන්සේගෙන් ඉල්ලීමක්‌ කළා. එයට බුදුන් වහන්සේ පිළිතුරු දුන්නේ මේ ආකාරයෙන්.

”ආනන්ද, ඒ බමුණ තරුණයාත් මීට පෙර ආත්ම ගණනාවක්‌ම ඉපිද සිටියේ වඳුරු ආත්මයක. ඊට පෙර මිනිස්‌ ආත්මයේදී කරන ලද බලවත් අකුසල කර්ම නිසයි එම ආත්ම ලබන්නේ. සමහරු දැඩි මාන්නයෙන්, ආඩම්බරයෙන් අනුන් හෙළා දකිමින් තමන් උසස්‌ යයි සිතමින් කටයුතු කරනවා. ඒ අකුසලය නිසා ඔවුන් උපත ලබනුයේ වඳුරු ආත්මවල. එසේ ආත්ම ගණනාවක වඳුරු පුරුදු නිසයි වඳුරන් සේ හැසිරුණේ. හැබැයි ආනන්ද ඔහුත් හොඳින් බණ ඇහුවා”

”තවත් එක්‌ තරුණයෙක්‌ නිතරම ඇස්‌ උඩට හරවාගෙන තමයි බණ ඇහුවේ. ඔහුගේ අතීත භවයන් දැනගන්න කැමැති යයි ආනන්ද ස්‌වාමීන් වහන්සේ කරනු ලැබූ ඉල්ලීමට බුදුරජාණන් වහන්සේ මේ ආකාරයෙන් කරුණු පැහැදිලි කළා.

”ආනන්ද ඒ තරුණයා නම් මීට පෙරත් මිනිස්‌ ආත්ම භාවය ලබා සිටි අයෙක්‌. ආත්ම ගණනාවක්‌ තුළදීම ඔහු නක්‍ෂත්‍ර කටයුතු කරමින් ග්‍රහ තාරකා පිළිබඳව විශ්වාස කරමින් අනුන්ට නැකැත් කියාදෙමින් තමයි ජීවිකාව ගත කළේ. ඒවා කිරීම මම නම් කිසිම ආකරයකින් වර්ණනා කරන්නේ හෝ අගය කරන්නේ නැහැ. ආත්ම ගණනාවක ඒ පුරුද්ද නිසයි ග්‍රහ තාරකා දෙස බලන්නා වගේ උඩ බලාගෙන ධර්මය ඇහුවේ.

හැබැයි ස්‌වාමීනි ඒ තරුණයා අසල සිටි අනෙක්‌ තරුණයා නම් ඔබ වහන්සේගේ දේශනය අවසන් වන තෙක්‌ ආරම්භයේ සිටම හොඳින් ධර්මය ඇහුන්කන් දුන්නා. ඔබ වහන්සේ දෙසම නෙත් යොමුකර වැඳගෙන ඉතා හොඳින් ධර්මයට ඇහුන්කන් දුන්නා. ඒ බමුණු තරුණයා අතීත භවයන් ගත කළේ කවර ආකාරයෙන්ද කියා මට කියා දෙන්න. ආනන්ද ස්‌වාමීන් වහන්සේ ඉල්ලීමක්‌ කළා.

පින්වත් ආනන්ද, ඒ තරුණයා නම් මීට පෙර දිව්‍ය මනුෂ්‍ය ආත්ම ලබමින් සිටි අයෙක්‌. ගිය ආත්මයේ බ්‍රාහ්මණ කුලයේ ඉපිද සිටි අයෙක්‌. හොඳින් වේද මන්ත්‍ර හදාරමින් ඒවා හොඳින් කට පාඩම් කරගෙන සිටි ඒ තරුණයා ඒ පුරුද්දට හොඳින් ධර්මය ඇහුන්කන් දුන්නා. හැබැයි සත්‍ය ධර්මය ඇහුන්කන් දුන්නේ අද. කොතරම් හොඳින් ධර්මය ශ්‍රවණය කළත් ඔහුටත් හොඳින් ධර්මය අවබෝධ වුණේ නැහැ. තව තවත් ධර්මය ඇසීමෙන් ඔහුට මාර්ගඵල නිවන් අවබෝධ කරගැනීමේ වාසනාව තිබෙනවාZ යෑයි බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට ප්‍රකාශ කළහ.

අතීත පුරුදු ආත්මයෙන් ආත්මයට ගමන් කරන ආකාරය මේ කථාවෙන් හොඳට වැටහෙන්නට ඇති. සමහර අතීත පුරුදු රහත් බව ලැබුවත් රහතන් වහන්සේටත් පවතිනවා. අතීත පුරුදු හෙවත් වාසනාව නැත්තේ බුදුරජාණන් වහන්සේට පමණයි.