පුවතක පසුබිම:
බුදුහාමුදුරුවෝ
සිංහල බෞද්ධයන්ට පමණක් ද?
මෙම වසරට යෙදෙන 2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් ශ්‍රී ලංකා රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති වැඩපිළිවෙළ සමගම විවිධ පුද්ගලයන් අසන ප්‍රශ්න කීපයක් ඇත. බුදුහාමුදුරුවෝ සිංහල බෞද්ධයන්ට පමණක් ද? බුද්ධාගම සිංහල බෞද්ධයන්ට පමණක් ද? දෙමළුන්ට චීවරයේ සෙවණ අහිමි ද? යනු එවැනි ප්‍රශ්න කීපයකි. මේ සියලු ප්‍රශ්නවල අරමුණ සිංහල බෞද්ධයන්ට පහර ගැසීම මිස වෙනත් දෙයක් නොවෙයි. බුදුහාමුදුරුවන් අපිට පමණක් අයිතිය. බුද්ධාගම අපට පමණක්‌ය දෙමළුන්ට චීවරයේ සෙවණ හිමි නැතැයි කියන හෝ සිතන සිංහල බෞද්ධයෙක් හෝ සිංහල බෞද්ධ භික්‍ෂුවක් නොමැත. එසේ නම් මෙවැනි ප්‍රශ්න නිර්මාණය කිරීමේ අරමුණ කුමක් ද? මේවා ඉතා සියුම් ලෙස සැලැසුම් කර ඉදිරිපත් කරන්නේ සිංහල බෞද්ධ විරෝධීන්ය. විශේෂයෙන් බුදු දහමට එරෙහිවූවන්ය. ඇතැම් සිංහල බෞද්ධයෝ ද කිසිදු වග විභාගයකින් තොරව ඔවුන්ගේ කියමන් එලෙසින්ම උච්චාරණය කරති. අනාගත ලෝකයේ ඉතිරිවන එකම දහම බුදු දහම බවත් අනෙකුත් ආගම් විනාශ වී යන බවත් ශ්‍රේෂ්ඨ විද්‍යාත්මක අනාවැකි ඉදිරිපත් කළ කෙනෙක් වූ ආතර් සී. ක්‌ලාක් මහතා පවසා ඇත. ඔහුගේ “ගැඹුරු මුහුද” නමැති කෘතියෙහි 253, 254 පිටුවල මෙසේ සඳහන් වෙයි.
“ඩාවින්ගෙන් ප්‍රෝයිඩ්ගෙන් වැදුණු මරු පහරින් කවදාවත් නැඟී සිටීමට ඉඩ නොලැබෙන ලෙස බිඳවැටුණු කිතු සමය විසිවැනි සියවසේ අවසාන භාගයේ දී ඇති වූ පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් නිසා බලාපොරොත්තු රහිතව අවසාන වරට බිඳවැටිණි. අරුම පුදුම දෙවි දේවතාවුන්ගෙන් සැදුණු හින්දු ආගම විද්‍යාත්මක බුද්ධිවාදය පිළිගත් යුගයක දී නොමැරී සිටීමට අපොහොසත් විය. ඉස්‌ලාම් ආගම ද එම බලවේගයෙන්ම දුබල විය. ඩාවින්ගේ උදාවන තරුව මහමුද්ගේ දුබල අඩ සඳ අභිබවා බැබළෙන්නට වූ හෙයින් ඉස්‌ලාම් ආගමට කලින් තිබුණු ගරුත්වය තවදුරටත් පිරිහී ගියේය.”
“අනෙක් සියලුම බලසම්පන්න ආගම් විනාශ කළ හදිසි පහරවල් බුදු සමය කෙරෙහි බලනොපැවැත්වීය. අභ්‍යන්තර ශාසන ශෝධන වලින් පිරිසිදු කරන ලද බුදු සමයේ මූලික ධර්ම තවමත් නොනැසී පවතී.”
මෙවැනි විද්වත් ප්‍රකාශ මෙන්ම බුදු සමයේ සත්‍යතාව හා ප්‍රායෝගික බව නිසා නව සොයා ගැනීම් සමග බදුදහම තව තවත් බැබළීමට පත්වෙයි. එහෙත් බුදු සසුනට එනම් භික්‍ෂුන් වහන්සේ, ගිහි බෞද්ධයන්, බෞද්ධ සිද්ධස්‌ථාන, බුද්ධ ධර්මය හා පිළිවෙත්වලට පහර ගසා ඒවා විනාශ කළ විට හෝ යටපත් කළ විට බුදු දහමේ බැබළීම ද යටපත් වී යනු ඇත. ඒ සඳහා ලොව පුරාම විවිධ බලවේග ක්‍රියාත්මක වෙයි. අප රටෙහි ද මිසදිටු බලවේග මෙන්ම එම බලවේග වලට අසු වූ නාමික බෞද්ධයන් ද ඒ සඳහා පෙළ ගැසී සිටින බව පෙනෙයි.
සියලු ආගම් එකය. “පන්සලේ, පල්ලියේ, කෝවිලේ දැල්වෙන්නේ එකම පහන, යෑයි කියමින් ජනාධිපති රණසිංහ ප්‍රේමදාසයන්ගේ කාලයේ නිර්මාණය කරන ලද සර්වාගමික වැඩ පිළිවෙළේ අරමුණ ද අන් කිසිවක් නොව බුදු සසුන අනෙකුත් ආගම් තුළ දිය කර හැරීමයි. මෙහි දී ඇතැම් පඬියන් බුදු දහම නැති කළ නොහැකි යෑයි කියනු ඇත. එය සත්‍යයකි. බුදු දහමේ මූලික හරයන් බුදු කෙනෙක් ඇතිව ද, නැතිව ද පවතින බව බුදුරජාණන් වහන්සේම දේශනා කර ඇත. එහෙත් බුදුරජාණන් වහන්සේ විසින් තම නුවණ මෙහෙයවා සොයා ගෙන ඉදිරිපත් කරන ලද බුදු දහම ආරක්‍ෂා වනුයේ ඒ සඳහා වැඩපිළිවෙළක් ඇතොත් පමණි. එය රැකගන්නා පිරිසක් සිටියොත් පමණි.
ඉතිහාසය විමසා බැලුවොත් පෙනෙන පැහැදිලි සත්‍යය නම් බුදු සසුන රැකගනු ලැබුවේ සිංහල දේශයේ සිංහල බෞද්ධයන් විසින් බවයි. විවිධාකාරයෙන් විවිධ පුද්ගලයන් එළිපිට හා සූක්‍ෂම ලෙස සිංහල බෞද්ධයන්ට පහර ගසා ඔවුන් වැරැදිකරුවන් කර සිංහල බෞද්ධ පදනම බිඳ හෙළීමට උත්සාහ දරනුයේ බුදු සසුන විනාශ කරලීමේ අරමුණ මතයි. වර්තමානයේ බෞද්ධ ජනගහනය වැඩිම රටවල් වන මියන්මාර් හා සියමය වැනි රටවලට ද බුදු සසුන රැගෙන ගියේ සිංහල දේශයෙනි. කෝට්‌ටේ යුගයේ දී ඥනගම්භීර නම් හිමිනම ප්‍රධාන පිරිසක් මෙරට පැමිණ පිවිතුරු බුදු සසුන සියමට හා මියන්මාර් දේශයට (බුරුමයට) රැගෙන ගිය බව සියම් ඉතිහාස කතාවේ ද සඳහන් වෙයි. බුදු දහම හා බුදුහාමුදුරුවන් මෙන්ම බුදු සසුන ද සිංහල බෞද්ධයන්ට පමණක් අයිති නොවන බව සත්‍යයකි. එහෙත් එම දහම, සසුන රැක ගත්තේ මෙරට සිංහල බෞද්ධයන් බව ද සත්‍යයකි. ඒ නිසා සත්‍ය දහමට ගරු කරන ලොව කවරම කෙනෙක් වුවද කළ යුත්තේ එම සසුන හා දහම රැකගත් සිංහල බෞද්ධයනට ගරු කිරීමයි. “ඉන්දියාව මිහිඳු හිමියන් මගින් ලබා දුන් දායාදය රැකගැනීම පිළිබඳ සිංහල බෞද්ධයන්ට ඉන්දියාව ණය ගැති” යෑයි මහාචාර්ය භරත සිංහ උපාධ්‍යාය විද්වතාණන් සිය “පාලි සාහිත්‍යකා ඉතිහාස්” නමැති කෘතියෙහි සඳහන් කරන්නේ ද ඒ නිසයි.
“2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළගැසෙමු” යනුවෙන් බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය විසින් මුද්‍රණය කොට බෙදාහරින ලද කෘතියේ පූර්විකාවෙහි මෙසේ සඳහන් වෙයි. “වසර දෙදහස් තුන්සීයක් මුළුල්ලේ ලංකාවේ සමාජයීය හා සංස්‌කෘතික පරිසරය සෘජුවම පෝෂණය වූයේ බුදු සමයේ ආභාසය ලබාගෙනය. 15 වැනි සියවසේ පටන් (ඊටත් කලින් පොළොන්නරු යුගයෙහි දී චෝළයන් විසින් කරන ලද විනාශය ද මීට ඇතුළත් විය යුතුව තිබිණි) මෙරට සිදු වූ පෘතුගීසි, ලන්දේසි, ඉංගී්‍රසි ආක්‍රමණික යුගවල දී මෙරට විසූ බෞද්ධ ජනතාව සහ බෞද්ධ සංස්‌කෘතික පරිසරය සූක්‍ෂම උපාය මාර්ගවලින් ද, බලහත්කාරයෙන් ද වෙනස් කරන්නට නොයෙක් උපාය මාර්ග යොදනු ලැබීය. එහෙත් බහුතර සිංහල බෞද්ධ ජනතාවගේ දැඩි ආගමික ශ්‍රද්ධාවත්, දේශානුරාගයත් නිසා එකී ප්‍රයන්ත සාර්ථක වූයේ නැත. එදාටත් වඩා සියුම් වූ උපක්‍රම භාවිත කරමින් ඒවා නැවතත් හිස ඔසවන්නට පටන්ගෙන ඇත….. මෙබඳු වූ බලවේගයන්ගේ සෘජුවූත් චක්‍රවූත්, අරමුණ මෙරට බුද්ධශාසනයත් ඒ හා බැඳුණු සංස්‌කෘතික උරුමයත් විනාශ කිරීම බව අප නුවණින් තේරුම්ගත යුතුය.
මෙසේ බුදු සසුනට එරෙහි කුමන්ත්‍රණ පිළිබඳ සඳහන් කරන අතරම ඒ සඳහා ප්‍රජා මූල කමිටු ඇතුළු වෙනත් කමිටු පිහිටුවීම පිළිබඳවද එම කෘතියෙහි සඳහන් කර ඇත. ඒ සමගම ග්‍රන්ථයෙහි 33 වැනි පිටුවෙහි අන්‍යාගමික කමිටු පිහිටුවීම පිළිබඳ සඳහන් කරන අතරම “මෙම කාර්යභාරය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ දී අභියෝගාත්මක වැඩපිළිවෙළක් විය හැකි ලෙස ද හඳුනාගත යුතු වේ. “2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළගැසෙමු යන විශේෂ ශීර්ෂ පාඨය යථාර්ථවාදී කරමින් අන්‍යාගම් වන හින්දු, ඉස්‌ලාම්, කතෝලික, ක්‍රිස්‌තියානි ආගම් සඳහා දිස්‌ත්‍රික් කමිටු පිහිටුවනු ලැබේ” යනුවෙන් දක්‌වා ඇත. මෙවැනි වැඩ පිළිවෙළක් යෝජනා කිරීමේ අරමුණ කුමක් ද? එක්‌කෝ මෙය සකස් කළ අය ඔවුන්ගේ නොදැනීම නිසා කළ දෙයකි. එසේ නැතිනම් මෙම කෘතියෙහි මුලින්ම සඳහන් කළ සූක්‍ෂම කුමන්ත්‍රණකාරයනට හසුවීමකි. එසේත් නැතිනම් දැන දැනම හිතාමතාම බුදු සසුනට නිගා කිරීම හෝ හානි කිරීම සඳහා යෝජිත වැඩපිළිවෙළකි.
සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් අන්‍යාගමික කමිටු පිහිටුවීමේ අයෝග්‍යතාව බුදු සසුන පිළිබඳ යම් ශ්‍රද්ධාවක් ඇති කෙනකුට වුවද වැටහී යා යුතුය. අන්‍යාගම් අදහන සාමාන්‍ය ජනතාව තුළ බොහෝ විට බෞද්ධයන්ට එරෙහි ක්‍රියාදාමයන් නැතත් එම ආගම්වල මූලික කාරකාදීන් එළිපිටත්, සූක්‍ෂම ලෙසත් බෞද්ධයන්ට හා බුදු සසුනට එරෙහිව මෙරට තුළ ක්‍රියා කරන බව ඉතා පැහැදිලි කරුණකි. එසේ තිබිය දී මෙවැනි වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීම ගැන අප ඇසිය යුත්තේ “මේවා සැලැසුම් කළේ මොන මෝඩයාද? මොන ද්‍රෝ හියෙක්ද?” යනුවෙනි. මේවා මෙසේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන අය මෙන්ම අනුමත කරන අයද නිසි අවබෝධයක් නොමැතිව හෝ අවබෝධයෙන් යුතුව හිතාමතාම කුමන්ත්‍රණකාරීව ක්‍රියා කරන බව පැහැදිලිවම කිව යුතුය.
ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 09 වැනි වගන්තියේ සඳහන් වෙන බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය දිය යුතුය. බුද්ධශාසනය ආරක්‍ෂා කොට පෝෂණය කළ යුතුය යන අදහස මෙරට කිසිවකු විසිනුත් අනුල්ලංඝනීය වූ සම්මුතියකි. ඊට අනුගතව බුද්ධ ශාසනයට බෞද්ධ භික්‍ෂූන්ට හා බෞද්ධයන්ට මෙරට රජය වැඩිපුර සැලකිලි දැක්‌වීම පිළිබඳ කිසිවකුටත් එරෙහි විය නොහැක. එසේම කවුරුන් හෝ “අපි එක ආගමකට වැඩිපුර සැලකිල්ලක් දක්‌වන්නේ නැත. සියලු ආගම් එක සමානය” යනුවෙන් ප්‍රකාශ කරතොත් එයද ඉහත සම්මුතියට පටහැනි වූවකි. සාමාන්‍ය ජනතාවටත් වඩා මේ පිළිබඳ රජයේ මැතිඇමැතිවරුන් හා නිලධාරීන් හොඳින් වටහාගත යුතුව ඇත.
කළ යුතුව ඇත්තේ මෙවැනි අවුල් කිරීම් නොව බුද්ධ ශාසනය ආරක්‍ෂා කොට පෝෂණය කිරීමත් මුළු ලෝකයේම සාධාරණ බුද්ධිමතුන් මෙන්ම පොදු ජනතාව ද අපෙන් එනම් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින බුදු දහම ඔවුන්ට ලබා දීමට අවශ්‍ය පියවර ගැනීමත්ය. ඒ සඳහා විදේශීය භාෂාවලින් දහම කියා දිය හැකි භික්‍ෂූන් වහන්සේ මෙන්ම ගිහියන් ද පුහුණු කළ යුතුය. ඒ සමගම රට තුළ බුද්ධශාසනයට එරෙහිව ක්‍රියාත්මක වෙන අන්‍යාගමික හා අන්‍ය ජාතික බලවේගවලට ඉඩ නොදීමටද මැතිඇමැතිවරුන් හා රාජ්‍ය නිලධාරීන් ක්‍රියා කළ යුතුය. එවැනි වැඩපිළිවෙළකින් තොරව “2600 සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළගැසෙමු” යෑයි පොත් මුද්‍රණය කළාට දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කළාට ප්‍රයෝජනයක් වන්නේ නැත. ශ්‍රී ලංකාව බහු ආගමික රටක් නොවේ. සත්‍ය වශයෙන්ම කියතොත් වසර දෙදහස් ගණනක් තිස්‌සේ සිංහල බෞද්ධ රට වශයෙන් පැවැතුණ ඉදිරියට ද එසේම පැවැතිය යුතුය. එහෙත් අන්‍යාගමිකයන් හා එම ආගම්වලට මෙරට සිංහල බෞද්ධයන්ගේ විරෝධයක් අතීතයේ තිබුණෙත් නැත. අදත් නොමැත. අනාගතයට ද ඇති වන්නේ නැත. සිංහල බෞද්ධකමට එරෙහිව නැඟී එන බලවේගවලට එරෙහිවීම මෙන්ම එම බලවේග පරාජය කිරීම දුටුගැමුණු රජතුමාගේ කාලයේ පටන්ම මෙරට සිංහල බෞද්ධයන්ගේ යුතුකමක් හා වගකීමක් බවද කිව යුතුය.
පුජ්‍ය බෙංගමුවේ නාලක හිමි
Source: http://www.divaina.com/2011/03/01