Spread the News

බුදු දහමට නිගා දෙන කාලි කෝවිලේ
පූජකවරයාගේ ක්‍රියාවට විරෝධය

source:
ලබුගම – ඩේවිඩ් අමරසිංහ

යන්ත්‍ර, මන්ත්‍ර, තොවිල් ආදී අනේක විද, හූණියම් දේවාල කටයුතු සිදු කරමින් කාලිකෝවිලක්‌ ලෙස නම් කර පවත්වාගෙන යන ස්‌ථානයක භූමිය වෙන් කර ගැනීම සඳහා ඉදිවන වැටෙහි කොන්ක්‍රීට්‌ කණුවලට බුද්ධ ප්‍රතිමා සවිකර බුදු දහමට හා බුද්ධ ප්‍රතිමාවන්ට බරපතළ සේ නිගා කරන දේවාල පූජකවරයකුට විරෝධය පෑම සඳහා වග ශ්‍රී විජිතාරාම විහාරස්‌ථානයට හතර පේරුවේ දායක දායිකාවන් විශාල පිරිසක්‌ පසුගියදා රැස්‌වී මෙම ආගම් විරෝධී ක්‍රියාව වහාම නවතාලීම සඳහා පියවර ගන්නා ලෙස විහාරාධිපති පූජ්‍ය පණ්‌ඩිත, උග්ගල්ලේ රතනසිරි ස්‌වාමීන් වහන්සේගෙන් ඉල්ලා සිටියේය. වග ඉරිදාපොළ නගරයට ආසන්න ස්‌ථානයක මෙම දේවාලය පවත්වාගෙන යන බව කියති.

එහි සිදුකරන කටයුතු කිසිසේත්ම බුදු දහමට අනුකූල නොවන බැවින් බුද්ධ ප්‍රතිමා තබාගෙන කරන කටයුතු කෙරෙහි රැස්‌ව සිටි පිරිස තද බල ලෙස විරෝධයන් ප්‍රකාශ කළහ.

බුද්ධ ප්‍රතිමා 80 ක්‌ පමණ වැටේ කොන්ක්‍රීට්‌ කණුවල සවිකර මොහු සිදුකර තිබෙන්නේ බරපතළ ආගම් විරෝධී ක්‍රියාවක්‌ මෙන්ම බුදු දහමට අවමානයක්‌ බවද රැස්‌ව සිටි පිරිස එක හඬින් ප්‍රකාශ කළහ.

සතුන් මරා බිලි පූජා පවත්වන ස්‌ථානයක බුද්ධ ප්‍රතිමා තබාගෙන ආගමික කටයුතු කිරීමට කිසිසේත්ම අනුමත කළ නොහැකි බව ප්‍රකාශ කළ ඔවුහු වහාම අදාළ පූජකවරයා දැනුවත් කළ යුතු බවටද ප්‍රකාශ විය. එළැඹෙන 11 වැනිදා පූජකවරයා මුණගැසී කරුණු පහදාදී දේවාල භූමියෙන් බුද්ධ ප්‍රතිමා ඉවත් කර ගැනීමටත් ඉදිරියේදී දේවාලයේ සිදුකරනු ලබන කටයුතු සඳහා බුද්ධ ප්‍රතිමා යොදානොගන්නා ලෙස උපදෙස්‌ දීමටත් මෙහිදී සෑම දෙනාම එකඟවූහ.

බුදු දහමට හානි පමුණුවන කටයුතු සිදු කිරීම වැළැක්‌වීම සඳහා පියවර ගන්නා බව විහාරාධිපති පූජ්‍ය පණ්‌ඩිත උග්ගල්ලේ රතනසිරි ස්‌වාමීන් වහන්සේ එහිදී පැවසුහ. සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න, නිමල් විඡේසිරි කරුණාරත්න ඇතුළු කීපදෙනෙක්‌ද ඊට විරෝධය පාමින් අදහස්‌ දැක්‌වූහ.