බුදු පුතුන් වනසන
උන්ට කුමටද බුදු බණ source:
මේ සටහන තබන මොහොත වන විට සියල්ල සිදුවී හමාරය. පසුගිය තුන් වැනිදා ඉරිදා රාත්‍රියේ තමන්වහන්සේ වැඩසිටි විහාරස්‌ථානයේදීම කපා කොටා මරා දමන ලද මොරටුව එගොඩඋයනේ සුනන්දෝපනන්දාරාමයේ විහාරාධිපති, පුජ්‍ය මැටිගහතැන්නේ විමලවංශ හිමියන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතුත් දැන් සිදුකර අවසන්ව ඇත.
සිද්ධියේ තුච්ඡ ම්ලේච්ඡත්වය ගත වු සතිය පුරාම මේ රටේ මිනිස්‌සු ඕනෑවටත් වඩා තලුමැරූහ. බොහෝ දෙනෙක් මේ සතිය ගෙවා දැමුවේ මේ නින්දිත අපරාධයෙන් උපන් ම්ලේච්ඡ රසයෙහි කර වටක් ගිලෙමිනි. ඒ රසය උපදින්නේ පියවර කිහිපයකිනි. හාමුදුරුවන්වහන්සේ කපාකොට ම්ලේච්ඡ ලෙස මරා දැමීමෙන් පසු මුලින්ම සමාජය කම්පනය වන්නේය. එහෙත් කම්පනය වු මිනිස්‌සුන්ට වහාම සිය සිත් සනසා ගැනීම සඳහා හාමුදුරුවන් වහන්සේ ඝාතනය කළ අපරාධකරුවන් බවට සැකකළ පුද්ගලයන් දෙදෙනෙක් අත් පිටුපසට බැඳ ලේන්සුවලින් මුහුණු වසා හිසට වෙඩි තබා මරා පාර අයිනේ දමා යන්නේය. අනතුරුව අපරාධකරුවන් බවට සැකකළ පුද්ගලයන් වාසය කළ නිවෙස් කුඩුපට්‌ටම් වී යන්නේය.
ඒ නීතියක් සහිත බව කියවෙනා අපේ රටේදී නිර්මාණය වන සමාජ කම්පනයන් උදාසීන කරනු ලබනා ක්‍රමවේදයේ හැටිය. අප මේ ලියෑවිල්ල ලියනුයේ එසේ සමාජය තෘප්තිමත් කරමින් නිමා කළ නින්දිත අපරාධයක මතකය ඒ සමාජය විසින් අමතක කිරීම ආරම්භ කරනු ලබනා මුල්ම තත්aපරයේදීය.
හිමියන්ගේ ඝාතනයට පසුබිම සැකසෙන අයුරු
මොරටුව එගොඩඋයනේ සුනන්දෝපනන්දාරාමයේ විහාරාධිපතිව වැඩ විසූ පූජ්‍ය මැටිගහතැන්නේ විමලවංශ හිමියන් කපා කොටා ඝාතනය කරනු ලබන්නේ පන්සල සතු ඉඩම් කට්‌ටියක අනවසරයෙන් පදිංචි වී සිටි පුද්ගලයන් කණ්‌ඩායමක් හා එම හිමියන් අතර එම ආරාමික දේපළ සම්න්ධයෙන් දීර්ඝ කාලයක් තිස්‌සේ ඇතිවන ගැටුමක අවසාන තිරශ්චීන ප්‍රතිඵලය ලෙසය. මේ බලහත්කාර පදිංචිකරුවෝ කුඩා ගෙවල් හයක ජීවත් වෙමින් සිටියහ. වාර්තා වන ආකාරයට ඔවුන් මේ භූමියේ පදිංචිව සිටින්නේ මීට වසර තිහකට පමණ පෙර සිටය. මරාදැමූ නායක හාමුදුරුවන්ට පෙර, ආසන්න අතීතයේ දී එලොවටත් මෙලොවටත් නැතිව විහාරස්‌ථානයේ ජීවත් වූ පාරාජිකා වුන සමහර චීවරධාරීන්ගේ අවකෙළිවල ජීවී සාධක මේ අනවසර පදිංචිකරුවන් අතරින් සොයාගත හැකි බව විටෙක කියෑවිනි. ඒ වකවානුවේ මොවුන් මේ පන්සල් භූමියේ අනවසරයෙන් පදිංචි වන්නේ ඒ නිල නොවන බලයද සමගිනි.
මැටිගහතැන්නේ විමලවංශ හිමියන් මෙම විහාරස්‌ථානයේ අධිපතිත්වයට පත්වන්නේ මීට වසර 17 කට පෙරය. විමලවංශ හිමියන් විහාරාධිපති ධූරයට පත්වන මොහොත වන විට පන්සල මිනිසුන්ගෙන් ගිලිහුණු තැනක් වූවා සේම දුගී අනවසර පදිංචිකරුවන් සමාජ විරෝධී අපරාධකරුවන් බවට පත්වෙමින් සිටියේය. ඔවුන්ගේ ජීවිත පැවතුම්වල ප්‍රාථමික නිහීනත්වය පිළිබඳ කදිම සාධක සැකකරුවන්ව සිටියදී මරා දැමෙන පන්සල් බිමේ අනවසර පදිංචිකරුවන් වූ සුජීව ගුණරත්න (38) හා රන්දිම නුවන්රත්න (28) යන මාමා බෑණා වරුන්ගෙන් සැපයෙයි. විමලවංශ හිමියන් නායක හාමුදුරුවන් වන විට සුජීව ගුණරත්නගේ වයස අවුරුදු 21 කි. තිස්‌අට හැවිරිදි වනවිට සුජීව ගුණරත්න වයස 21, 18, හා 16 හැවිරිදි පිරිමි දරුවන් තිදෙනකුගේ පියෙක්‌ව සිටියේය. ඒ වන විට හෙතෙම හෙරොයින් නඩුවක් සම්බන්ධව වරදකරු වී වසර හතක සිරඳඩුවමක් ද විඳ තිබිණි. හේ අච්චු විඳ නිදහස්‌ව පැමිණ ඇත්තේ පසුගිය දෙසැම්බරයේය. මේ මිනිසා විවාහයට පිවිසෙන්නේ යන්තම් අවුරුදු 16 ක් වනවිටය.
ලොකු හාමුදුරුවන් පන්සල භාරගන්නා විට දසවිය නොඉක්‌මවා සිටි රන්දිම නුවන්ජිත් විසි හත් හැවිරිදි වනවිට වයස අවුරුදු 8 ක හා 5 ගැහැනු දරුවන් දෙදෙනකුගේ පියෙකි. මේ වන විට ඔහු මත්ද්‍රව්‍ය භාවිතයේ යෙදුණු බව කියන තැනැත්තෙකි. ඔහුත් අඩුම තරමින් අවුරුදු 18 පිරෙන්නට පෙර විවාහ වූවෙකි. මේ අර්ධ මිනිස්‌සුන්ගේ නූගත්කම, දුගී බව, සමගම උපදිනා සමාජ විරෝධී දුරාචාරය සාමකාමී ප්‍රදේශවාසීන්ට බලවත් සමාජ ගැටලුවක් නිර්මාණය කර තිබුණේය.
උහු මත්කුඩු විකිණුහ. පාවිච්චි කළහ. ගංජා විකිණුහ. ගංජා ගැසුහ. මොවුන්ගේ සමාජ විරෝධි හැසිරීමට බලය සපයන දේශපාලනයක්‌ද තිබිණි. උදාහරණය මේ වන විට මෙම ඝාතන සිද්ධිය සම්බන්ධව පොලිස් අත්අඩංගුවට පත්වන ආණ්‌ඩු පක්‌ෂයේ බලය සහිත මොරටුව නගරසභාවේ උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාරය. පුෂ්පකුමාරලාත් ඉබේ පහළවන්නේ නැත. ඔවුන් රැකෙන්නේ ඊට ඉහලින් ඉන්නා දේශපාලකයන්ගේ සුරතලුන් ලෙසය. මේ දිස්‌වෙමින් තිබුණේ මේ රටේ යථාර්ථය වන සමාජ දුරාචාර ජාලයක අනුයාත පුරුක් ගැලපෙමින් පැවති ආකාරයය.
නියෝජ්‍ය නගරාධිපති යෑයි කියනු ලබන නිලධාරියා අනෙක් බොහෝ දේශපාලකයන් සේම ස්‌වකීය දහදුරා දේශපාලනය පවත්වාගෙන යමින් තිබුණේ මේ සමාජ අපරාධකාරයන්ව පාවිච්චි කරමිනි. ස්‌වකීය පැවැත්ම තහවුරු කරනා මේ මිනිසුන් වෙනුවෙන් කොන්දේසි විරහිතව ඉදිරිපත් වන්නට ඔහු කටයුතු කළ බවට සාධක තිබිණි. අධිකරණයට වාර්තාවන ආකාරයට පන්සල් ඉඩමේ අනවසර ඉදිකිරීම් පුළුල් වන්නේ මේ දේශපාලකයාගේ අධීක්‌ෂණය යටතේය. ඒ කටයුතු නිමාවනතුරු මේ අනවසර පදිංචිකරුවන් සමග ඔහු රැඳී සිටියේය. හෙළිදරව් වන ආකාරයට මේ අපරාධකාරයින් සම්බන්ධව පොලිසිය ඉදිරිපත්ව කටයුතු කිරීම වැළකී තිබුණේ ඔහු විසින් මොරටුව පොලීසියට කළ බලපෑම් නිසාය.
මීට පෙර අවස්‌ථාවක මේ තැනැත්තා ලොකු හාමුදුරුවන්ට පොලීසියේදීම පහරදී තිබුණේය. ඒ සම්බන්ධ නඩුවක් තවම විභාග වෙමින් පවතී. තවත් වරෙක මේ මරා දැමෙන සැකකරුවන් දෙදෙනා පන්සලේ ලොකු හාමුදුරුවන්ට පහරදී රිමාන්ඩ් බන්ධනාගාරගත වන්නේය. ඔවුන්ට ඇප දී නිදහස් කරගෙන ගමට රැගෙන එන්නේ මේ දේශපාලකයාය. ගමේ මිනිසුන්ට අනුව පන්සලේ අයිතිය හා ගමේ ජීවිතවල සංහිඳියාව වෙනුවෙන් පන්සලේ නායක හාමුදුරුවන් හුදකලා සටනක් කරන්නේ මේ විෂම බලවේගයට එරෙහිවය.
මේ ආරවුල විසඳා ගැනීමට ලොකු හාමුදුරුවෝ නීතියේ පිහිට පැතූහ. මේ අතර මේ අනවසර පදිංචිකරුවන්ට දායක සභාවේද ඉල්ලීම මත පන්සල් ඉඩමෙන් පර්චස් දෙක බැගින් ලබාදීම සඳහාද අදහසක් ඉපදී තිබිණි. එහෙත් මේ අනවසර පදිංචිකරුවෝ නිරන්තරව ලොකු හාමුදුරුවන් හා ගැටුණහ. අවසානයේදී හාමුදුරුවන්ගේ ජීවිතයට පැහැදිලි තර්ජනයක් එල්ලවන්නට වූයේය.
මරා දැමෙන ආකාරය
ලොකු හාමුදුරුවන් මරා දැමෙන්නේ පසුගිය 3 වැනි ඉරිදාය. එදින සවස පහයි තිහ පමණ වන විට මේ අපරාධකරුවෝ කණ්‌ඩායම පන්සලට පැමිණෙති. ඒ වන විට පන්සලේ මල් පැළවලට වතුර දමමින් සිටිනා පඤ්Æලෝක නමැති පොඩි හාමුදුරුවන්ට පහර දෙති. ලොකු හාමුදුරුවන්ට මරණ තර්ජන එල්ල කරති. පොඩිහාමුදුරුවන් පන්සලේ ඝණ්‌ඨාරය ගැසීමෙන් පසු අපරාධකරුවෝ ඉවත්ව යති. ලොකුහාමුදුරුවෝ පොඩි හාමුදුරුවන්ද කැඳවාගෙන පොලීසියට ගොස් මේ අනාරක්‌ෂිත ස්‌වරූපය සම්බන්ධව පැමිණලි කරති. පොලීසිය පවසන පරිදි ඒ අවස්‌ථාවේදී උන්වහන්සේලා යළි පන්සලට පැමිණෙන්නේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සමගිනි.
පොලීසිය ගිය පසු යළිත් රාත්‍රී 8.15 පමණ පැමිණෙන අපරාධකරුවෝ ලොකුහාමුදුරුවන්ව මරන්නට හොයති. උන් අතේ කඩු කිණිසි, ඇසිඩ් බෝතල් වේ. එදින එළිවන්නට පෙර ලොකුහාමුදුරුවන් මරා දමන බවට අපරාධකරුවන්ගෙන් ප්‍රකාශ වේ. අනතුරුව යළිත් පොලිසියට යන ලොකුහාමුදුරුවෝ මේ ගැන පැමිණිලිs කරති. පැමිණිලිs කර පන්සලට එන විට හාමුදුරුවන් යළි එනතුරු සැඟව සිටින මිනීමරුවන් පිරිස උන්වහන්සේව වාහනයෙන් එළියට ඇදදමා වටවී කපා කොටා ඝාතනය කරති. අනතුරුව ලේ වැකුණු සිවුර ගලවාගෙන සිවුර වනමින් සිය කටයුත්ත නිමා කළ වග කියමින් පිටව යති. අවසානයේ හාමුදුරුවෝ අපවත් වෙති.
මරා දැමෙන මොහොත වන විට ලොකු හාමුදුරුවෝ තමුන්ගේ අවනඩුව පිළිබඳව මොරටුව පොලීසියට පැමිණිලි කර තිබුණහ. පොලිස්‌පතිතුමාට ලිතව දන්වා තිබුණහ. පොලිස් මූලස්‌ථානය දැනුවත් කර තිබුණහ. HRC 3840-12 පැමිණිලි අංකය යටතේ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබුණහ. මොරටුව පොලිසියට පමණක් මේ ආරවුල සම්බන්ධව ලොකුහාමුදුරුවන් කර තිබුණු පැමිණිලි ගණන 11 කි. නීතිය සම්බන්ධ විශ්වාසයක් තැබියයුතු සිවිල් පුරවැසියෙකුට මීටත් වඩා කළහැකි දෙයක් නොවේ.
මේ අතර උන්වහන්සේව මේ අපරාධකරුවන් විසින් කාලාන්තරයක් තිස්‌සේ මරණ බියට පත්කරමින් සිටින්නේය. පසුව මරණ මොහොත, දින වේලාවල් සහිතව ප්‍රකාශයට පත්කරන්නේය. හාමුදුරුවන් මේ අවදානම මොරටුව පොලීසියට දන්වන්නේය. අනතුරුව දෙනෝදාහක් බලා සිටිද්දී ම්ලේච්ඡ ලෙස කපා කොටා හාමුදුරුවන්ව ඝාතනය කර දමන්නේය.
හාමුදුරුවන් මරා දමනතුරුත් නීතිය ක්‍රියාත්මක නැත. එහෙත් හාමුදුරුවන් මරා දැමූ පසු, එදින රෑම උන්වහන්සේ මරා දමූ බවට සැක කරනා ප්‍රධාන සැකකරුවන් දෙදෙනා හිසට වෙඩිතබා මරා දැමෙයි. අත් පිටුපසට කර ගැටගසා ඇස් බැඳ හිසට වෙඩිතබා ඝාතනය කළ සැකකරුවන්ගේ මළසිරුරු දැලිකඩ මොරොන්තුඩුව වෙල් යායක් අසලදී හමු වේ. අනතුරුව ඔවුන් වාසය කළ නිවාස කුඩුපට්‌ටම් වේ. මොවුන්ගේ මරණයේ අවසාන කටයුතු සඳහා සමීප ඥතීන්වත් සම්බන්ධ නොවේ. මිනී වැළලීමට සුසානයක් ලැබෙන්නේ නැත. පොලීසිය මැදිහත්ව එකම වළක් හාරා එහි මිනී දෙකම තැන්පත් කර වසා දැමේ.
දැන් රටට සතුටුය. එහෙත් මේ නඩුව මෙසේ සැලසුම් කළේ කවුද, අපරාධකරුවන් තහවුරු කරගත්තේ කෙසේද, ඔවුන් මරාදමන්නට තීන්දු කළේ කවුද යන්න තවමත් මේ රට දන්නේ නැත. මරා දැමුණු ලොකු හාමුදුරුවෝත් උන්වහන්සේව ඝාතනය කළ බවට සැකකර මරා දැමෙන සැකකරුවෝත් මේ රටේ පුරවැසියන්ය. මේ දෙපාර්ශ්වයටම රටේ නීතිය ක්‍රියාත්මක වූයේ නැත. මේ අප දකින්නේ නීතියේ ආධිපත්‍යය පිහිටවූවායෑයි කියන රටක සැපය.
සිද්ධිය අවසානයේදි පොලීසිය නිල වශයෙන් පවසන පරිදි හාමුදුරුවන් මරා දැමීම නිසා කම්පා වූ ප්‍රදේශවාසීන් පිරිසක් මේ සැකකරුවන් හිසට වෙඩිතබා ඝාතනය කරන්නට ඇතැයි සැක කළ හැකිය. ඒ අනුව මේ අපරාධකරුවන්ට දඬුවම් කළ ප්‍රදේශවාසීහු ගිනි අවි දරති. ඔවුහු අපරාධකරුවන් බව තමුන් උපකල්පනය කරනා උන් රැගෙන ගොස් දෑත් බැඳ, ඇස් වසා පැහැරගෙන ගොස් හිස කුඩු වෙන්නට වෙඩි තබා මරති. මිනී, පාර අයිනේ විසිකර දැමීමෙන් අනතුරුව මිනීමැරුම පිළිබඳ කිසිදු සාක්‌ෂියක් රහිතව වාෂ්ප වෙති. මේ තුට්‌ටු දෙකේ ගොං කතා ඇසෙන්නේ අපට පමණක් නොවේ. ලෝකයම මේ නිරුවත් රංගනය දෙස බලා සිටින වග වටහා නොගැනීමට තරම් බලය සහිත උන් නොදැනුවත් නැත. මේ පෙළගැසෙන්නේ සැලසුම් සහගත දැනුවත් නොසලකා හැරීමකි.
මෙවැනි සිදුවීම් තේරුම් ගැනීමට හැකි අතීත කතා ජාතක පොත්හිද පැනේ. අතීතයේදී බුදුන් මැරීමට දේවදත්තයන් විසින් දුනුවායින් දෙදෙනෙක් යෙදවීය. ඒ දුනුවායන් දෙදෙනා මැරීමට තවත් දුණුවායන් සිව් දෙනෙක් යෙදවීය. ඒ සිවු දෙනා මැරීමට දුනුවායින් අටදෙනෙක් යෙදවීය. තවමත් මේ රටේ ක්‍රියාත්මක වන්නේ අවුරුදු දෙදහස් පන්සියයකට එපිටදී සාක්‌ෂි නැතිකිරීම සඳහා සැලසුම් වූ ඒ දේවදත්තයන්ගේ ‘තියරිය’ ය. දැනටමත් රටට පෙනෙන්නේ අත්අඩංගුවට ගෙන ඇති මොරටුවේ නියෝජ්‍ය නගරාධිපතිවරයා තවදුරටත් රඳවා තබාගැනීම තේරුමක් නැති බවය. ඔහුට එරෙහිව වන ප්‍රධාන සාක්‌ෂි මේ වන විට වළදමා හමාරය. මේ ඇත්ත අප බලාපොරොත්තු වනවාට වඩා බිහිසුණුය.
අගවිනිසුරුවරිය ඉවත්කරන ලද මොහොතේ විධායකය හා ව්‍යවස්‌ථාදායකය අතර ඇතිවු ගැටුම අර්ථකථනය කරගත්තාක් සේ කිරිබත් උයාගෙන කෑ මේ රටේ ගවයන්ට තමුන් ඉදිරියේ වන මේ බිහිසුණු ව්‍යසනය පිළිබඳ ශංකාවක් නැත. රට තුළ මේ අසංස්‌කෘතික අනීතික ස්‌වරූපය ගැන සංවාදයක් නූපදින විට ඒ ගැන ලෝකයෙන් කෙරෙනා විමසීම ‘අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්’ යන්නට එපිටින් වන අරුත්ගැන්වීමක් නැත. ‘ජිනීවා දංගෙඩි’අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ නොවේ. අප විසින් කැටයම් කපා නිර්මාණය කරගත් ඒවාය. අගවිනිසුරු වරියටවත් නීතියේ සාධාරණය ඉටුනොවුනා යෑයි විශ්වාස කරනු ලබනා රටක යථාර්ථය මෙයය. මේ සිදුවෙමින් ඇත්තේ අනීතික ගෝත්‍රික ම්ලේච්ඡත්වය මේ සමාජය තුළ දැනුවත්ව සාමාන්‍යකරණය වීමය.
ඒ අපරාධයේ ප්‍රතිඵල මේ සමාජයට ලැබෙනු ඇත්තේ තැපෑලෙනි. එය තේරෙන විට අශ්වයා ඉස්‌තාලයත් කඩාගෙනම පලාගොස් හමාරය.
ජානක ලියනආරච්චි – හේමන්ත රන්දුණු