Spread the News

බෙදුම්වාදය ආවේ ආණ්‌ඩුවල වැරදි නිසයි!
උතුරු පළාතේ ද්‍රවිඩ ජාතික සංධානයේ
මහ ඇමැති අපේක්‍ෂක – සී. වී. විග්නේෂ්වරන්


source:
ඉන්දු ලංකා ගිවිසුම යටතේ උතුරට පළාත් සභාවක්‌ පිහිටුවීම සඳහා වසර විසිපහකට පසු පළමුවරට ඡන්දයක්‌ පැවැත්වීමට තීරණය කර ඇත. උතුරු පළාතට පත්වන ප්‍රථම මහ ඇමැතිවරයා ලෙස ඉතිහාසගත වන්නට බොහෝ දෙනෙක්‌ ද්‍රවිඩ ජාතික සන්ධානයෙන් මේ සඳහා තරග කරන්නේ සී. වී. විග්නේශ්වරන් මහතාය. ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරුවරයෙකි.

උතුරු පළාතේ ද්‍රවිඩ ජාතික සංධානයේ මහ ඇමැති අපේක්‍ෂක සී. වී. විග්නේෂ්වරන් මහතා සමග දිවයින ඉරිදා සංග්‍රහය කළ සාකච්ඡාවක සටහන

මතු දැක්‌වේ.

ප්‍රශ්නය – ඔබේ ගම්පළාත

පිළිතුර – යාපනේ මනීපායි. මගේ පියාගේ පියා ඒ කියන්නේ සීයා රැකියාව නිසා ත්‍රිකුණාමලයට ගියා. නමුත් ඒ දෙන්නම මනිපායි.

ප්‍රශ්නය – ඔබේ දේශපාලන පක්‍ෂය

පිළිතුර – මම කිසිම පක්‍ෂයක නෑ

ප්‍රශ්නය – මේ දක්‌වා ඔබ දේශපාලන පක්‍ෂයකට සහාය දක්‌වා නැද්ද?

පිළිතුර – නෑ මම කිසිම පක්‍ෂයකට අයිති නෑ. කවදාවත් මම පක්‍ෂ දේශපාලනය කළේ නෑ.

ප්‍රශ්නය – ඒ කියන්නේ ඡන්දය පාවිච්චි කරලම නැද්ද?

පිළිතුර – ඡන්දෙ දීලා තියෙනවා. ඒත් ඒ කාටද කියල නම් කියන්න බෑ.

ප්‍රශ්නය – ඔබ ඉගෙනගත්තේ කොළඹ රාජකීය විදුහලේ. සිංහල වාමාංශික පක්‍ෂ සමගත් දේශපාලකයන් සමගත් ඔබට නෑදැකම් තියෙනවා. විනිසුරුවරයකු ලෙසත් කොළඹ රාජකාරි කළා. අසූ තුනේ ජූලි කලබලය ඔබ දකින්නේ කිනම් ආකාරයටද?

පිළිතුර – මම ඒ කාලේ හිටියේ යාපනේ. ඒ නඩුකාරයෙක්‌ විදිහට. ඒ නිසා කොළඹ සිද්ධවූ දේ මට බලපාන්නේ නෑ.

ප්‍රශ්නය – ඒ කළු ජූලිය ඔබට දැනුනේ කොහොමද?

පිළිතුර – මම දන්නවා හමුදාව මිනිස්‌සු මැරුවා කියලා. පොලිසිය මරණ පරික්‍ෂණ කරන්න බැහැ කිව්වා. සමහර මිනිස්‌සු, අපේ නෑදැයෝ මැරුණා. මරණ පරික්‍ෂණ නැත්නම් මිනිය අරගෙන යන්න බෑ ඒ නිසා මොනවහරි කරන්න කිය කියා මිනිස්‌සු කීවා. මම පොලිසියෙන් ඇහුවා ඇයි එළියට එන්නේ නැත්තේ කියලා. හමුදාව මිනිස්‌සු මරනවා. ආණ්‌ඩුව කිව්වා එළියට යන්න එපා කියලා කියා පොලිසිය කිව්වා. මම කිව්වා හමුදාව මිනිස්‌සු මරනවා කියලා කියන්නේ කවුද කියලා. නෑ හමුදා ඇඳුම් ඇඳගෙන කව්දොa ඇවිත් මරනවා කිව්වා. පොලිසිය ඇවිත් මරණ පරික්‍ෂණ කළා. හමුදා ඇඳුම් ඇඳගෙන ආ පිරිසක්‌ මරා දැමුවා කියා අපි තීරණයකට ආව. ඉන් පසු ඒ මිනී අරගෙන අවසන් කටයුතු කරන්න පුළුවන් වුණා.

ප්‍රශ්නය – ඔබ ඇයි උතුරේ මහ ඇමැතිකමට ඉදිරිපත් වෙන්න හිතුවේ

පිළිතුර – මම හිතුවේ නෑ. මම අදත් හිතන්නේ නෑ. මට එපා කියලයි මම කියන්නේ. ඒත් ද්‍රවිඩ ජාතික සන්ධානයේ පක්‍ෂ පහ එකතුවෙලා ගත්තු තීරණයක්‌. මේ කාලයේදී මේ සඳහා ඉදිරිපත් විය යුතුමයි කියා ඔවුන් කිව්වා. ඔවුන් මට කරදර කළා. බල කළා මේකට ඉදිරිපත් වෙන්න කියලා. ඉතින් මම කිව්වා සියලු දෙනාම එකතුවෙලා ඉදිරිපත් කරනවා නම් මම එන්නම් කියලා. ඒ අනුව තමයි ද්‍රවිඩ ජාතික සන්ධානයේ පොදු අපේක්‍ෂකයා විදිහට මම තරග කරන්නේ අද වුණත් මට කිව්වොත් ගෙදරට වෙලා ඉන්න කියලා මම ගෙදර ඉන්නවා. මට මේකට උවමනාවක්‌ නෑ.

ප්‍රශ්නය – ඔබ පොදු අපේක්‍ෂකයා වීම සඳහා ද්‍රවිඩ ජාතික සන්ධානයට ඉදිරිපත් කළ කොන්දේසි මොනවාද?

පිළිතුර – මම කිසිම පක්‍ෂයකට අයිති නෑ. අනෙක ඒ අයගේ ප්‍රතිපත්ති මොනවද කියලා මම හරියට දන්නේ නෑ. ඒවාට විරුද්ධව මම මොකුත් කරන්නේ නෑ. නමුත් මගේ වැඩ මට කරගෙන යන්න ඉඩ දෙන බව ඔවුන් කිව්වා.

ප්‍රශ්නය – විනිසුරුවරයෙකු ලෙස තීන්දු තීරණ ගැනීම පිළිබඳ ඔබට හසල දැනුමක්‌ පළපුරුද්දක්‌ තියෙනවා. ඒත් දේශපාලනයේදී ඔබ ආධුනිකයි. අත්දැකීමක්‌ නෑ නේද?

පිළිතුර – දේශපාලන න්‍යාය දන්නවා. ඡන්ද පෙත්සම් නඩු කරලා තියෙනවා. ඒත් මිනිස්‌සු එක්‌ක එකතුවෙලා පක්‍ෂ දේශපාලනය කරලා නෑ.

ප්‍රශ්නය – මේක අලුත්ම අත්දැකීමක්‌ වේවි?

පිළිතුර – ඔව්. ඒක ඇත්ත බලමු මම මැරෙන්න කලින් ඒකත් කරලා බලමුකෝ.

ප්‍රශ්නය – විග්නේෂ්වරන් කියන්නේ ද්‍රවිඩ ජාතිවාදියෙක්‌. බෙදුම්වාදියෙක්‌ කියා ඇතැමුන් ඔබව හඳුන්වනවා….?

පිළිතුර – අපේ සුලු ජාතිය ගැන අපි කතා කළ හැටියම ආණ්‌ඩුව හරි මහජාතිය හරි කියන්නේ ඔයාලා හුඟක්‌ම ජාතිවාදියි කියලා. ඒක වැරදියි. අපේ ප්‍රශ්න ගැන අපිම තමයි හිතන්න ඕනේ. ආණ්‌ඩුව අපේ ප්‍රශ්න ගැන හිතුවේ නෑ. 1956 දී සිංහල පමණයි කියා නීතිය ගෙන එද්දී අප ගැන හිතුවේ නෑ. උතුරු නැගෙනහිර මිනිස්‌සු ඔක්‌කෝම දෙමළෙන් වැඩ කරන නිසා ඒ පළාත්වල දෙමළෙනුත් අනෙක්‌ පළාත්වල සිංහලෙනුත් වැඩ කළ යුතුයි කියා කීවා නම් අද මේ ප්‍රශ්න කිසිම දෙයක්‌ නෑ. එසේ කරන්නේ නැතිව ලංකාව පුරා සිංහල පමණයි කියා කී නිසා තමයි මේ ප්‍රශ්න ආවේ. එදා ඉඳලාම ප්‍රශ්න. පනස්‌ අටේදි ගහලා මරලා කොටලා උතුරට යෑව්වා. අධ්‍යාපන ප්‍රතිපත්ති ගෙනවා. අපේ ප්‍රශ්න අපි කියද්දී අපිට බෙදුම්වාදීන් කියා කියනවා. බෙදුම්වාදය ආවේ ආණ්‌ඩු විසින් අපට කළ වරද නිසා. ආණ්‌ඩු දෙමළ මිනිසුන්ට වැරදි කළ නිසා තමයි ළමයින් (එල්ටීටීඊය)ආයුධ අරගෙන රණ්‌ඩු කළේ. බෙදුම්වාදය ආවේ අපේ උවමනාවට නොවේ. 1926 දී එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහත්තයා ඔක්‌ස්‌µර්ඩ් ගිහින් ඇවිත් කීවා ෙµඩරල් තමයි ලංකාවට හොඳ කියලා. ඒ කාලෙදී දෙමළ මිනිස්‌සු තමයි ෙµඩරල් එපා කිව්වේ. දකුණේත් උතුරෙත් ඒ අය ඉන්නවා. සිංහල අය උතුරේ ඉන්නවා. වෙනසක්‌ කරන්න ඕන නෑ. ෙµඩරල් ක්‍රමයෙන් වෙන්නේ මිනිසුන්ට එක එක තැන්වලට යන්න වෙන එකයි. අපි එකම ලංකාව කියා තමයි එදා දෙමළ මිනිස්‌සු ෙµඩරල් එපා කිව්වේ. ඉන්පසු තමයි සිංහල පමණක්‌ නීතිය ආවේ. ඒකට විරුද්ධව දෙමළ මිනිස්‌සු මොනව හරි කිව්වාම බෙදුම්වාදීන් කියා කියනවා. අපට කළ වරද ගැන අපි කියද්දී බෙදුම්වාදීන් කියා අපිව හැඳින්වීම හරිද, අපි කියනදේ හරිද වැරදිද කියා සෝදිසි කරලා බලලා ඒ වැරැද්ද නිවැරැදි කිරීමයි කළ යුත්තේ. එහෙම කළොත් බෙදුම්වාදය ගැන කතා කරන්නට අපිට උවමනාවක්‌ නෑ.

ප්‍රශ්නය – ද්‍රවිඩ ජනතාවට ඊළමක්‌ ඕනෑද?

පිළිතුර – පළමුවෙන්ම කියන්න ඕනෑ ඊළම කියන්නේ ලංකාවට තවත් නමක්‌. ඊළමක්‌ ඕනෑද කියා අහන එක වැරදියි. දෙමළ ඊළම කියා නැගෙනහිර උතුර වෙනම ප්‍රශ්නයක්‌ තිබුණේ හේතුවක්‌ නිසා. ළමයින් (එල්ටීටීඊය) හිතුවා අපිට කිසිවක්‌ දෙන්නේ නෑ… බණ්‌ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම, ඩඩ්ලි – චෙල්වනායගම් ගිවිසුම කැඩුවා. අපිට කිසිවක්‌ ලැබෙන්නේ නෑ කියා හිතලා ළමයි (එල්ටීටීඊය) යුද්ධය පටන්ගත්තා හැබැයි යුද්ධය ඉවරවූ පසුව දෙමළ මිනිසුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් දෙනවා කියලා ආණ්‌ඩුව පිටරටවලට කිව්වා. දැන් ඉතින් එයාලාව මරලා දැම්මනේ. දැන් හිතනවා අපි දෙමළ මිනිසුන්ට කිසිවක්‌ දිය යුතු නෑ කියලා. ද්‍රවිඩ ජාතික සන්ධානය කවදාවත් ඊළමක්‌ ගැන අහලා නෑ. තම තමන්ගේ ඉඩම්වල පදිංචි වෙන්න ඉඩ දෙන්න බලය බෙදාදෙන්න කියලයි කියන්නේ. ටී. එන්. ඒ. කිසිදවසක ඊළමක්‌ ඉල්ලුවේ නෑ. එල්. ටී. ටී. ඊ. ළමයින්ගේ හිතේ හැටියට ඒක කළා.

ප්‍රශ්නය – ඔබ උතුරේ මහ ඇමැතිවරයා වුණොත් එහි ජනතාව වෙනුවෙන් ඉටු කරන්නේ කෙබඳු සේවාවක්‌ද?

පිළිතුර – ඔව්……. යුද්ධයෙන් පස්‌සේ මිනිසුන් හුඟාක්‌ අමාරුවට වැටුණා. ගෙවල් දොරවල් නෑ. ඉඩම්වලට යන්නෙ බෑ. පවුලේ සාමාජිකයන් කොහේද කියා දන්නේ නෑ. පුරුෂයා නැතිව බිරිය ඉන්නවා. දෙමාපියන් නැතිව දරුවෝ ඉන්නවා. ඒ අයට හුඟාක්‌ සහන දෙන්න ඕනෑ. ඒක ගැන තමයි මම කල්පනා කරන්නේ. බෙදුම්වාදයක්‌වත්, ඊළමක්‌වත් මට ඕනේ නෑ. මිනිසුන්ට සහනයක්‌ ලබාදිය යුතුයි. පුළුවන් තරම් ඒ කටයුත්ත කරනවා. ආණ්‌ඩුවත් අපට සහාය දිය යුතුයි. කවුරුත් අපිට සහාය දැක්‌විය යුතුයි.

ප්‍රශ්නය – ඔය කියපු දේවල් කරන්න පොලිස්‌ සහ ඉඩම් බලතල ඕනෑ නැහැනේ…….?

පිළිතුර – කොහෝ හරි………කොයි රටක හරි බලය බෙදලා දෙනවා නම් නම් ඉඩම් සහ පොලිස්‌ බලතල දෙනවා. ඉඩම් පොලිස්‌ බලය නැතිව කොහේ හරි බලය බෙදා දී තිබෙනවාද කියලා අහලා බලලා ඔයා මට කියන්න. මම නම් දන්නේ නැහැ අපේ ආරක්‍ෂාව අපිට නැත්නම් පිට කෙනෙකුට තමයි අපේ ආරක්‍ෂාව භාර දෙන්න වෙන්නේ. පිට කෙනෙකුට අපේ ආරක්‍ෂාව භාර දුන්නොත් අපිට ආරක්‍ෂාවක්‌ තියෙයිද? දැන් බලන්න හමුදාව අපේ ඉඩම් අරගෙන එක එක දේ කරනවා. ඒ ඉඩම් අපිට අයිති නැති නිසා පිට ඉඳලා එන අයට ඕනෑ දෙයක්‌ කරන්න පුළුවන්. ඒ නිසා ඉඩම් සහ පොලිස්‌ බලතල දෙකම අපිට තිබිය යුතුයි.

ප්‍රශ්නය – පොලිස්‌, ඉඩම් සහිත පළාත් සභාවක්‌ යනු වෙනම ඊළමක්‌ පිහිටුවා ගැනීමක්‌ කියා කිව්වොත්?

පිළිතුර – ඒක වැරදියි. දැන් තියෙන දහතුන් වැනි සංශෝධනය අනුව සෑම නීතියම ආණ්‌ඩුකාරවරුන්ගේ කැමැත්ත මතයි සිද්ධ වෙන්නේ. සමහරු ඔය කතා නිකං බොරුවට නොදැනුවත් කම නිසා කියවනවා. ආණ්‌ඩුකාරවරයා ගේ සම්පූර්ණ බලය තියෙද්දී ඉඩම් පොලිස්‌ බලතල තියාගෙන අපි යමක්‌ කරනවා නම් ඒ සඳහාත් ඔහුගේ මතය විමසිය යුතුයි. ආණ්‌ඩුකාරවරයාට පාලනය කරන්න පුළුවන්. එහෙම තියෙද්දී අපි යමක්‌ කරනවා කීම තේරුමක්‌ නෑ. තවත් එකක්‌ බලය බෙදාදෙනවා කිව්වාට තියෙන බලය නොදී ඉන්නවානම්, බලය නොදී අතේ තියාගෙන ඉන්නවානම් මොනවද අපිට දෙන්නේ. දෙන්න දෙයක්‌ තියෙනවද? ඉඩම්, පොලිස්‌ බලතල නැතුව අපි මොනවද කරන්නේ.

ප්‍රශ්නය – ඔබ මහ ඇමැති වුණොත්, ඉන් පසුවත් මේ බලතල නොදුන්නොත් ඔබ ගන්නා තීරණය මොකක්‌ද?

පිළිතුර – දැනට නීතිය අනුව මේ බලතල ඔක්‌කොම තියෙනවා. ආණ්‌ඩුව බලන්නේ ඒක නැති කරන්නයි. එහෙම කළොත් ඒ අවස්‌ථාවේදී ජනතාව සමග කතා කළ යුතුයි. දකුණු අතින් දෙනවා දෙනවා කියලා වම් අතින් ඔක්‌කොම ගන්නවා. මොනවද අපිට දෙන්න යන්නෙ. මේ ගැන අවසන් තීරණයකට ආ යුතුයි. සාකච්ඡා කළ යුතුයි දැන්ම කිසිවක්‌ කියන්න බෑ.

ප්‍රශ්නය – පළාත් සභාවකට මධ්‍යම ආණ්‌ඩුවේ සහාය නැතිව වැඩ කරන්න අපහසුයි. ඔබ මහ ඇමැති වුණොත් මධ්‍යම ආණ්‌ඩුව සමග වැඩ කරන්න සූදානම්ද?

පිළිතුර – මම කියන්නේ මධ්‍යම ආණ්‌ඩුව අපිට සහාය දිය යුතුයි කියලා. අපි සමග එකතුවෙලා මෙය කළ යුතුයි. යුද්දෙන් කරදරවූ අයගේ ජීවිතවලට හොඳක්‌ කළ යුතුයි. ඒ සඳහා ආණ්‌ඩුව අපිට සහාය දෙන්න ඕනෑ. ඒ නැතිව රණ්‌ඩු වෙවී හිටියොත් එක එක දේ කිව්වොත් ඒ මිනිසුන්ට කිසිම සහනයක්‌ දෙන්න බැරි වේවි. ඔබ ඔය ප්‍රශ්නය ආණ්‌ඩුවෙන් අහන්න. අනෙක්‌ පළාත් හතට සෑම දෙයක්‌ම දෙනවා. අපි දෙමළ කියන නිසා අපි කලුයි කියලනේ කියන්නේ. එහෙම කළොත් කොහොමද පළාතේ රාජකාරි කරන්නේ කියා ඔයා ආණ්‌ඩුවෙන් අහන්න. හැබැයි මම මහ ඇමැති වුණොත් ආණ්‌ඩුව සමග එකතුවෙලා මේවා කරන්න කැමැතියි. තරග කරන අනෙක්‌ අයටත් මම කියන්නේ තරග කරමු. දිනුවට පසුව ඒ මිනිසුන්ගේ ප්‍රශ්නවලට මොනව හරි විසඳුමක්‌ ලබා දෙමු.

ප්‍රශ්නය – ආණ්‌ඩුව උතුරට යමක්‌ කර තිබෙනවා. ආණ්‌ඩුවට වඩා යමක්‌ ද්‍රවිඩ ජාතික සන්ධානය පසුගිය අවුරුදු හතර තුළ උතුරේ ජනතාවට ලබාදී තිබෙනවද?

පිළිතුර – ආණ්‌ඩුව මොනවද දීලා තියෙන්නේ කියලා මුලින්ම අහන්න. පාරවල් හදලා තියෙනවා. ඒවා ආණ්‌ඩුවෙන් දුන්නේ නැහැ. ඒවා පිටරට සල්ලි. ආණ්‌ඩුව කිසිම දෙයක්‌ කරලා නෑ. සම්පූර්ණයෙන්ම පිටරට සල්ලි පාවිච්චි කරලා පාරවල් හැදුවා. ඒත් මිනිසුන්ට තමන්ගේ ඉඩම්වලට යන්න බෑ. නැතිවුණ අය ගැන සොයා බලන්න විදිහක්‌ නෑ. ආර්ථික තත්ත්වය දුර්වලයි. ඒවා කල්පනා කළ යුතුයි. ටී. එන්. ඒ මොනවද කළේ කියා. අහලා වැඩක්‌ නෑ. ආණ්‌ඩුව මොකුත් කරලා නෑ. ටී. එන්. ඒ එකට කරන්නටත් ආණ්‌ඩුව ඉඩ දෙන්නේ නෑ. ඒකත් ලියාගන්න.

ප්‍රශ්නය – ටී. එන්. ඒ. එකට උතුරු පළාතේ බලය ලැබුණොත් ඉන්දියාව සමග කෙබඳු ගනුදෙනුවක්‌ සිදු කරයිද?

පිළිතුර – දහතුන්වැනි සංශෝධනය ඉන්දු ලංකා ගිවිසුම යටතේ තමයි ගෙන ආවේ. ඒකේ වෙනස්‌කමක්‌ කරනවා නම් ඉන්දියාව සමග එකතුවෙලා කළ යුතුයි. ඉන්දියාවේ එකඟත්වය නැතිව ඒක කරන්න බැහැ. එමනිසා දහතුන්වැනි සංශෝධනය ක්‍රියාත්මක කරද්දී ඉන්දියාව සමග සාකච්ඡා කරන්න වේවි. පළාත් සභා සමග ආණ්‌ඩුව සාකච්ඡා කර මේ සංශෝධන කරනවා නම් කිසිම ප්‍රශ්නයක්‌ නෑ. ඉන්දියාව කියන්නේ මේක නැති කරනවා නම් ඒ අය සමග සාකච්ඡා කළ යුතුයි. නැතිනම් එය වරදක්‌ කියා. අපේ ප්‍රශ්න හරියාකාරව විස¹ගන්න බැරි නිසා තමයි අපිට අනෙක්‌ අය සමග කතා කරන්න සිද්ධ වෙන්නේ.

ප්‍රශ්නය – මහ ඇමැතිකම වසර දෙකහමාර බැඟින් බෙදා ගන්න ඔබ සහ මාවෙයි සේනාධිරාජා අතර එකඟත්වයක්‌ ඇති වුණාද?

පිළිතුර – නෑ. එහෙම කිසිම එකඟත්වයක්‌ නෑ.

ප්‍රශ්නය – ඔබ මහ ඇමැති අපේක්‍ෂකයා ලෙස නම් කිරීම පිටුපස ඉන්නේ ඉන්දියාවද?

පිළිතුර – මම ඒවා ගැන කිසිවක්‌ දන්නේ නෑ. ඉන්දියාව සමග හෝ වෙන කිසිවකු හෝ සමග කතා කරන්න මට වුවමනාවක්‌ නෑ. මම එහෙම කතා කළේත් නෑ. මම ඔය අපේක්‍ෂක කම එපා කිව්වා. මේක ගන්න මට ඕන කමක්‌ තිබුණෙත් නෑ. ඉන්දියාව තියා මම දන්නෙත් නෑ මාව මේකට පත්කරන බව.

ප්‍රශ්නය – ඔබව මේ අපේක්‍ෂක කමට පත්කළ පසුව හෝ ඉන්දියාව සමග ඔබ කතා කළේ නැද්ද?

පිළිතුර – ඉන්දියාව සමග මා හෝ මා සමග ඉන්දියාව හෝ අද මේ ප්‍රශ්නය අහන මොහොත දක්‌වා කතා කළේ නෑ. මාව මේ අපේක්‍ෂකකමට පත් කළාට පස්‌සේ වැඩිපුරම මා එක්‌ක කතා කරන්නේ මාධ්‍යවේදීන් තමයි.

ප්‍රශ්නය – දහතුන්වැනි සංශෝධනය පිළිබඳ ටී. එන්. ඒ මතය සහ එජාපයේ මතය බොහෝදුරට එක සමානයි. උතුර මැතිවරණයේදී එජාපය සමග එකට වැඩ කරන්න ටී. එන්. ඒ. එකට ආරාධනා කළොත්?

පිළිතුර – ඒවා තවම කතා කරලා නෑ. ඒ නිසා කිසිවක්‌ කියන්න බෑ. එහෙම කතා කරලා තීරණය කළ හැකිනම් ඒක හොඳයි.

ප්‍රශ්නය – සාධාරණ මැතිවරණයක්‌ අපේක්‍ෂා කරනවාද?

පිළිතුර – නෑ මම හිතන්නේ නෑ. විදේශ නිරික්‍ෂකයෝ ගෙන ආ යුතුයි. ද්‍රවිඩ ජාතික සන්ධානය මැතිවරණ කොමසාරිස්‌ගෙන් ඉල්ලීමක්‌ කළා. හමුදාව ඡන්දෙ දාට කඳවුරුවලට සීමා කරන්න කියලා. එහෙම කිරීමට තමන්ට බලයක්‌ නෑ කියා දේශප්‍රිය මහත්තයා කියා තිබුණා. එහෙමනම් මොනවද කරන්නේ. මම ඡන්ද පෙත්සම් කළ නිසා දන්නවා තර්ජන කරනවා. හැඳුනුම්පත් අරන් ඡන්දය දාන්න දෙන්නේ නෑ. හොර ඡන්ද දානවා. ඉතිං මේ ඡන්දෙ සාධාරණව කරයි කියා පෙනෙන්න නෑ. ඊට විරුද්ධව පුළුවන් තරම් අපි වැඩ කළ යුතුයි.

ප්‍රශ්නය – ඔබ පොදු අපේක්‍ෂකයෙක්‌. ද්‍රවිඩ ජාතික සන්ධානයේ සාමාජික පක්‍ෂයක නියෝජිතයෙකුත් නෙවේ. ද්‍රවිඩ ජාතික සන්ධානය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට යන්නේ නෑ. මේ තේරීම් කාරක සභාව ගැන ඔබේ මතය?

පිළිතුර – ගිහින් වැඩක්‌ නෑ. ආණ්‌ඩුව ඔය වගේ කොමිසම් කීයක්‌ දැම්මද මංගල මුණසිංහ වාර්තාව, තිස්‌ස විතාරණ වාර්තාව චන්ද්‍රිකා ජනාධිපතිවරියගේ කාලේ ව්‍යවස්‌ථාව හැදුවා. ඊට අමතරව දහඅට වතාවක්‌. ටී. එන්. ඒ. සමග ආණ්‌ඩුව සාකච්ඡා කළා. ඒත් කිසිම දෙයක්‌ කරලා නෑ. තේරීම් කාරක සභාවට මහජාතියේ නියෝජිතයෝ වැඩිපුර දාලා සුළු ජාතීන් හතර පස්‌ දෙනෙක්‌ දානවා. බහුතරය කියන එක හරියි කියලා අනෙක්‌ මතය නැතිකරලා දානවා. අපි ඕකට යනවා කියන්නේ කෝච්චියට බෙල්ල තියනවා වාගේ වැඩක්‌නේ.

ප්‍රශ්නය – දකුණේ සිංහල ජනතාව ගැන ඔබට මොනවද හිතෙන්නේ?

පිළිතුර – දකුණේ ජනතාවට සුලු ජනතාවගේ ප්‍රශ්න තවමත් හරි හැටි තේරෙන්නේ නෑ. ඒ අයට තේරුම් කර දිය යුතුයි. දේශපාලකයන් හැම දේම වැරැදි විදිහට කියා දීලා තියෙනවා. නිවැරැදි ලෙස තේරුම් ගත්තොත් ඒ ප්‍රශ්න ලේසියෙන් විසඳිය හැකියි.

ප්‍රශ්නය – ඔබ කියන්නේ මේ ප්‍රශ්නෙට මුල දේශපාලකයින් කියාද?

පිළිතුර – නැතුව ඒගොල්ලන් නැතුව වෙන කවුද. පනස්‌ පහේදී සර ¨ජෝන් කිව්වා භාෂා දෙකම ජාතික භාෂා කරමු කියා. එයා ඡන්දෙන් දිනාවි කියලා බණ්‌ඩාරනායක මහත්තයා කිව්වා සිංහල පැය විසිහතරෙන් රාජ්‍ය භාෂාව කරනවා කියා. එයාලා දේශපාලනය කළ නිසානේ අපි කරදරයට ලක්‌වෙලා තියෙන්නේ.

ප්‍රශ්නය – පළාත් සභා අහෝසි කළ යුතු බව ආණ්‌ඩුවේ එක්‌ පාර්ශ්වයක්‌ කියනවා. වාසුදේව ඇමැතිවරයා ඇතුළුÊතව පිරිසක්‌ කියනවා පළාත් සභා අවශ්‍ය බව. ආණ්‌ඩුවේ මේ ඝට්‌ටනය ගැන ඔබ මොනවද හිතෙන්නේ.

පිළිතුර – ආ ඒක තමයි ලොකුම නාඩගම. මේක රඟදක්‌වන අලුත්ම නාට්‍යයක්‌. ඉඩම් බලය, පොලිස්‌ බලය එපා කියා කියද්දී දෙමළ අය කියයි නෑ නෑ ඒවා ඕනෑ කියලා. එතකොට ආණ්‌ඩුව කියාවී දෙමළ ජනතාව දහතුන භාරගන්නවා. එහෙමනම් තියාගන්න කියලා. දහතුනේ ප්‍රශ්න හුඟාක්‌ තියෙනවා. ඒවා වෙනස්‌ කළ යුතුයි. ආණ්‌ඩුවේ අය දැන් සති දෙකක්‌ තිස්‌සේ කිසිම දෙයක්‌ කියන්නේ නෑ. මෙනන් ආවා පොදු රාජ්‍ය මණ්‌ඩල නායක සමුළුව තියෙනවා. නවනිදන් පිල්aලෙ එනවා. ඒ නිසා මේ අය දැන් නිහඬයි. තර්ටීන් ප්ලස්‌ දෙනවා කිව්වා. දැන් තර්ටීන් මයිනස්‌. අපිට ඕනෑ තර්ටීන් ප්ලස්‌ මිස තර්ටීන් මයිනස්‌ නොවේ. ආණ්‌ඩුකාරවරයාට හුඟාක්‌ බලය ලබාදී තිබෙනවා. දකුණතින් දෙන බලය ඔහු වමතින් ගන්නවා. ඕක අනෙක්‌ පළාත් සභාවලට නැහැ. උතුර නැගෙනහිරට බලය බෙදා දෙන්නයි දහතුන්වැනි සංශෝධනය ගෙනාවේ. ඒත් අනෙක්‌ පළාත්වලට මේක ගෙනාවේ ඡේ. ආර්. ජනාධිපතිවරයාගේ තියෙන කපටිකමට. මම දන්නෙ නෑ ඒ වචනය කියන එක හොඳද කියලා.

සාකච්ඡා කළේ – අජිත් අලහකෝන් – ඡායාරූප – නිශාන් එස්‌. ප්‍රියන්ත