බොදුබල සේනාවේ කටයුතු ආගමික සහජීවනයට අනතුරක්‌ – ඇමැති රිෂාඩ් බදියුදීන් නිවේදනයකින් කියයි

Spread the News

බොදුබල සේනාවේ කටයුතු ආගමික සහජීවනයට අනතුරක්‌
– ඇමැති රිෂාඩ් බදියුදීන් නිවේදනයකින් කියයි

source:

ශ්‍රී ලංකාවේ දැනට පවතින නිදහස්‌ සාමකාමී යුගය බොදුබල සේනාවේ කටයුතු හේතුවෙන් අන්තරාකාරී දිශාවකට යොමුවීමේ අවදානමක්‌ ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.

බොදු බල සේනා සංවිධානයේ ස්‌වාමීන් වහන්සේලා පස්‌නමක්‌ සහ පුද්ගලයන් පිරිසක්‌ පෙරේදා (23 දා) පෙරවරුවේ කොළඹ 03, ගාලු පාරේ අංක 73/1 හි පිහිටි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයට ඇතුළු වී “වටරැක විජිත ස්‌වාමීන් වහන්සේ එහි සඟවාගෙන සිටිනවා” යෑයි කියමින් අමාත්‍යාංශයේ සියලුම අංශ දැඩි සෝදිසියකට ලක්‌ කිරීමේ ක්‍රියාව සම්බන්ධයෙන් මෙම නිවේදනය එවා තිබේ.

එම නිවේදනයේ මෙසේද දැක්‌වේ.

රජයේ ආයතනයක්‌ තුළට මෙලෙස අනවසරයෙන් සහ වැරැදි ලෙස ඇතුළු වී සිදුකළ මෙම කටයුත්ත නීතිය හා සාමය ගරු කරන සමාජයේ දැඩි දෝෂ දර්ශනයට ලක්‌විය යුත්තකි. රණවිරුවන්ද, සිංහල, දෙමළ හා මුස්‌ලිම් ජනතාව ලක්‍ෂ ගණනකගේද ජීවිත අහිමි කළ 30 වසරක යුද්ධයක්‌ අවසන් කළ සමයක, ප්‍රජාතාන්ත්‍රික රටක්‌ වශයෙන් ශ්‍රී ලංකාවේ දැනට පවතින නිදහස්‌, සාමකාමී යුගය, මෙම බොදුබල සේනාවේ කටයුතු හේතුවෙන් අන්තරාකාරී දිශාවකට යොමුවීමේ අවදානමක්‌ද පවතී. එමෙන්ම මෙම කටයුතු හේතුවෙන් ආගමික සහජීවනයක්‌ අප රට තුළ නොමැති බවට ඇතැමුන් ගෙන යන ප්‍රචාරයන්ට අනුබල දීමක්‌ වේ. මෙවන් පසුබිමක ජනාධිපතිවරයා විසින් ආගමික ගැටුම් සහ පැමිණිලි විමර්ශනය කිරීමට විශේෂ පොලිස්‌ ඒකකයක්‌ ඊයේ (24 දා) ස්‌ථාපනය කිරීම පිළිබඳව මාගේ ප්‍රශංසාව දක්‌වනු කැමැත්තෙමි.

තවද ජනාධිපතිවරයා ඉවත් කිරීමට හෝ වෙනත් අයෙක්‌ ජනපති කිරීමට තමන්ට හැකියාව ඇතැයි” උදම් අනන මෙම බලසේනා ප්‍රධානීන්, රජය පෙරළා දැමීමේ කුමන්ත්‍රණයක සැලසුම් කරුවන්දැයි සැක සහිතය. මොවුන්ගේ ක්‍රියාකාරකම් සහ පරමාර්ථ දෙස බැලීමේදී මෙය එල්.ටී.ටී.ඊ. සංවිධානයටත් වඩා දරුණු සංවිධානයක්‌ බවද පෙනී යයි.

ජනතාවට මාර්ගෝපදේශකත්වය ලබාදිය යුතු ගෞරවනීය සඟරුවන, රජයේ වගකිවයුතු අමාත්‍යාංශ හා ආයතන තුළට මෙලෙස කඩාවැදී දක්‌වන හැසිරීම් රට තුළ වැරැදි පූර්වාදර්ශ ඇති කරන්නක්‌. මෙවන් අන්තවාදී හැසිරීම් හෝ ක්‍රියාවන් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ මධ්‍යම ප්‍රතිපදාවටද පටහැනි වේ. එබැවින් මෙම නීති විරෝධී ක්‍රියාවන් අප නැවත නැවතත් හෙළා දකින අතර ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිසියෙන් හා වගකිවයුතු අංශයන්ගෙන් ඉල්ලා සිටිමි.