Spread the News

බොදු බල සේනා සමුළුවේ පාගමනට පොලිස් ප්‍රහාර

June 25, 2012  source:

ගාල්ල, වඳුරඹ ඊයේ (ජූනි 24) පැවති බොදු බල සේනා මහා සමුළුව ඉතා සාර්ථක ව පැවැත්වුණු බවත් පසු ව පාගමනකින් ගොස් බොදු සම්ප්‍රදායනට පටහැනි ලෙස ධර්ම ප්‍රචාරයේ යෙදෙන එම ප්‍රදේශයේ පුද්ගලයෙකුට විරෝධය ප්‍රකාශ කළ අවස්ථාවේ ආරක්ෂක අංශ ගරුතර සංඝරත්නය ඇතුළු බෞද්ධ බැතිමතුන්ට ප්‍රහාරයක් එල්ලකළ බවත් වඳුරඹින් වාර්තා වේ.

බෞද්ධ වේශයෙන් පෙනී සිටිමින් බුදුසසුන හා බුදු දහම විකෘති කරන දකුණු ලක වනසන මිසදිටු බලවේග පරදවමු යන තේමාවෙන් සම්බුද්ධ සාසනයේ රැකවරණය උදෙසා බොදු බල සේනා සමඟ ගාලු බොදු පවුර මඟින් මේ මහා සමුළුව සංවිධානය කර තිබූ අතර එම විරෝධතාව ඊයේ පස්වරු 2.00 සිට වඳුරඹ නගරයේ දී පැවැත්විණි.

මේ වෙනුවෙන් අතිගරු මහා සංඝරත්නය කොළඹ සිට පවා වැඩම කර සිටි අතර වඳුරඹ, කීඹිය, ලේල්වල, ඌරල හා නාගොඩ ඇතුළු අවට ප්‍රදේශවල විහාරස්ථානවල ගරුතර මහා සංඝරත්නය ද අතිවිශාල ජනතාවක් ද එක් රැස් ව සිටියහ.

ඉතා සාමකාමී ව විරෝධතා රැස්වීම පැවැත්වුණු අතර පසු ව මේ සිද්ධියට හේතු වූ බුදුරජාණන් වහන්සේ දෙසූ දහමට වෙනත් අරුත් සපයමින් තමාගේ මතයට අනුව බුදු දහම විග්‍රහ කරමින් මිසදිටු අදහස් පළ කරන තැනැත්තාගේ ධර්ම ප්‍රචාරක ස්ථානය වෙත පාගමනින් යාමටත් එහි ගොස් විරෝධතාව දැක්වීමටත් කළ තීරණයෙන් පසු ව ගැටුම්කාරී සිද්ධිය වාර්තා වේ.

මේ අවස්ථාවේ පොලිසිය ජනතාවට ප්‍රහාර එල්ල කළ බවත් පසු ව විශේෂ කාර්ය බලකාය හා කැරළි මර්දන ඒකකය පවා කැඳවා තිබූ අතර කඳුළු ගෑස් හා අධිපීඩන ජල ප්‍රහාරයන් ද භික්ෂූන් වහන්සේලා ඇතුළු පාගමනින් පැමිණි පිරිස වෙත එල්ල කර ඇතැයි පැවසේ.

මේ ගැටුමින් පොලිස් නිලධාරීන් ද තුවාල ලබා ඇති අතර දේපළවලට හා රථ වාහනවලට ද හානි සිදු ව තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වේ. එහි දී තුවාල ලැබූ පොලීස් නිලධාරීන් දෙදෙනෙකු කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි ද පැවසේ.

– සිංහලයා පුවත්