බොරු අතක වටිනාකම කෝටියකි
හැබෑ අතක්?
ජීවිතය යනු පදාර්ථ ගණනාවක එකතුවකි හෙවත් අවයව රාශියක එකතුවකින් වූ නිර්මාණයකි. හැම සත්ත්වයකුටම එය පොදු වුවත් මනුෂ්‍ය ජීවිතයක් බාහිර පුළුවන්කම් නිසා හෝ දැනුම් සම්භාරයන් නිසා සුවිශේෂ වෙයි.
නීති ශිෂ්‍යාවකගේ අතක් වැරැදි වෛද්‍ය ප්‍රතිකර්මයක් නිසා ශරීරයෙන් කපා හළ බවක් වාර්තා විය. ඒ පිළිබඳව රට තුළ මහත් වූ ආන්දෝලනයක්‌ද ඇති විය. එහෙම වූයේ ඒ වූ කලී හදිසි අනතුරකින් සිදු වූ දෙයක් නොව වෛද්‍යවරයාගේ නොසැලකිලිමත්කම නිසා වූ වරදක් බව ප්‍රකට වූ හෙයිනි.
එම ශිෂ්‍යාවට කෘත්‍රිම අතක් රජයේ අනුග්‍රහයෙන් ලබා දෙන බව හා එම කෘත්‍රිම හස්‌තයේ වටිනාකම රුපියල් කෝටියක් වන බව ද තවදුරටත් වාර්තා විය. කාත්‍රිම අතක හෙවත් බොරු අතක වටිනාකම රුපියල් කෝටියක් නම් හැබෑ අතක වටිනාකම කීයක්‌වේදැයි සිතා ගත හැකිය. හොඳයි බොරු අතක වටිනාකම රුපියල් කෝටියක් නම්, සැබෑ අතක වටිනාකම රුපියල් දෙකෝටියකැයි අපි මොහොතකට උපකල්පනය කරමු.
එවිට දෑතේ වටිනාකම රුපියල් හතර කෝටියක් වෙයි. පා දෙකේ වටිනාකමත් ඒ තරම්ය. මන්ද, මොන අවයවය නැති වුණත් ජීවිතය අඩාල වන තරමට වඩා අත් පා අහිමි වූවොත් ජීවිතයම අනුන්ට බරක් වන එකකි.
තවදුරටත් මිනිස් ජීවිතය හා බැඳුණු හෘදය, පෙණහල්ල, වකුගඩුව, මොළය, දෑස, දෙකන ආදී අවයවවල වටිනාකම ද රුපියල් සතවලින් තක්‌සේරු කරන්නට ගියොත් එහි වටිනාකම සටහන් කිරීමට අපට ඉලක්‌කම් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන්නට ඉඩ තිබේ. කෝටියකට එහා සංඛ්‍යාවන් අපට තිබේ. කෝටි සීය කංකර එකයි. කංකර සීය නයුත එකයි. නයුත සීයක් බිම්බර එකකයි. බිම්බර සීයක් අසංඛ්‍ය එකයි ආදී වශයෙන් ගණනය කළ හැකි නිසා වටිනාකමට එයත් ප්‍රමාණවත් නොවේ.
තමාට උපමාව තෙමේම යෑයි බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේත් ඒ නිසා විය හැකිය. මෙතැනදී අතුරු ප්‍රශ්නයක් මතුවෙයි. එනම් මිනිසකුගේ පසුම්බියේ ඇති රුපියල් දහක් හමාරක් පැහැර ගැනීමට හෝ ඉඩමක මායිම පිළිබඳ නොවටිනා ප්‍රශ්නයක් ඇතිවූ විට තවත් කෙනකු විසින් අර වටිනාකම තුලනය කළ නොහැකි මිනිසකු මරා දමන්නේ ඇයි?
මිනිසකුගේ ජීවිතයේ වටිනාකම අප ගණනය කරන්නට උත්සාහ කළේ ශාරීරික අවයව ගැන පමණක් සිතා බලාය. එහෙත් ඇතැම් ජීවිතයක බැඳුණු උගත්කම, දක්‌ෂතාව, ගුණධර්ම, හැකිකම ආදියෙන් වටිනාකම අපට ගණනය කළ හැකිද? අපි මොහොතකට සිතමු. කාලිදාස. බර්නාඩ් ෂෝ, තාගෝර් වැන්නකුගේ අතක වටිනාකම නම් කළ හැකිද? අපේ කව්සිළුමිණ කතුවරයාගේ, ගුරුළුගෝමිගේ, විද්‍යා චක්‍රවර්තිගේ හුරු අතේ වටිනාකම ගණනය කරන්නට ඉලක්‌කම් ප්‍රමාණය සෑහේද? ශල්‍ය වෛද්‍යවරයකුගේ, නාඩි බලා රෝග විනිශ්චය කරන වෙද මහතකුගේ, කවියකුගේ ලේඛකයකුගේ හුරු අත ලෝකයක් තරම් නොවටනේද? හස්‌තයේ පමණක් නොවේ අතක මහපටඟිල්ල අහිමි වුනොත් ඒ ඇඟිල්ලේ වටිනාකම හිතා ගන්නට බැරිකමක් නැත.
මිනිසකු මරා දැමීමට අවි ඔසවන්නාට ජීවිතයක වටිනාකම පිළිබඳ අවබෝධයක් නැත. ඔහුට වටින්නේ ඔහුගේ ජීවිතය පමණි. ඔහුට මෙන්ම සෙසු අයටත් බඩගින්න, ආශාව පිළිබඳ දැනී ඇතැයි අවබෝධ කර ගත හැකිනම් හෙතෙම තවත් මිනිසෙකු මරන්නට අවි ඔසොවන්නේ නැත. වත්මන් සමාජයේ අගැයීම අනුව මිනිසා යනු කතිර එකකි. නැත්නම් මනාප එකකි. දේශපාලනඥයාට මනුෂ්‍යයකුගේ වටිනාකමක් එයින් එහාට නැත. කුඩුකාරයාගේත්, නඩුකාරයාගේත්, ආණ්‌ඩු කාරයාගේත් වටිනාකම, කතිර මිනුමෙන් සලකාබැලුව විට ඒ තිදෙනාගේ දේශපාලන වටිනාකම කතිර එකක් පමණි. සාමාන්‍ය මිනිසාට කතිර එකයි, උගතාට කතිර දෙකයි. මෝඩයාට කතිර අයිතියක් නැත යන අයුරින් වෙනසක් වෙතොත් එදාට රාජ්‍ය පාලනයද වෙනස් වේ.
නීති ශිෂ්‍යාවගේ අත කැපීමේ සිද්ධිය වෙනත් අයුරකින් දකින්නෙක්‌ද වේ. ඒ පරිණත ජ්‍යෙdතිෂවේදියාය. පුද්ගලයකුගේ අත් පා ඡේදනය වීමට හේතු දක්‌වන ජ්‍යෙdතිෂ සිද්ධාන්ත පරණ පත පොතෙහි සටහන්ව ඇත. එහෙයින් අතක් ඡේදනය වන්නේදැයි එය සිදුවීමට පෙර පරිණත ජ්‍යෙdතිෂවේදියාට දැකිය හැකිය. ශනි – සිකුරු පාප පීඩිතව 6 වැන්නේ හෝ 8 වැන්නේ වෙතොත් අත් පා කපා වෙන් කෙරෙන බව ජ්‍යෙdතිෂ සිද්ධාන්තවල දැක්‌වේ. එසේ නොවෙතොත් ජන්ම කේන්ද්‍රයේ 2 සහ 12 යන රාශි යුග්මය පීඩා වී ආයුධ දෙර්කාණයකටද නෑකම් කියතොත් අත් පා අහිමි වීමට එය හේතුවකැයි දැක්‌වේ.
ජ්‍යෙdතිෂයට අනුව නම් අත් පා පමණක් නොව, දෙවැන්න අන්ධ රාශියක්‌ද වී නීච රවි හෝ නීච සඳු වෙතොත් ඇස අන්ධ වෙයි. 12 වෙතොත් අනෙක් ඇස අන්ධ වෙයි. එහෙයින් වද රාශි, ගොළු රාශි, ජල රාශි, කෘර රාශි ආදී වශයෙන් වූ රාශි ප්‍රභේධය පිළිබඳ දැනුමක් ලැබ ඇතොත් යමක් සිදු වීමට පෙර ඒ බව අනාවරණය කළ හැකිය. අවාසනාව නම් එය උගන්වන ජ්‍යෙdතිෂ ගුරුවරුන් අප අතර නොවීමයි. ජ්‍යෙdතිෂ කඩ වෙතත් පුහුණු ගුරුවරුන් අඩුය. ආධුනික ජ්‍යෙdතිෂ වේදියෙකුට කළ හැකි කදිම පර්යේෂණයක් වෙයි. එනම් මගතොට දී හමුවන අත් පා අහිමි වූවන් සමඟ මිත්‍ර වී අදහස් හුවමාරු කර ගනිමින් ඔහුගේ ජන්ම පත්‍රය පරීක්‍ෂාවට ලක් කිරීමයි. එබඳු දහ දෙනකුගේ කේන්ද්‍ර පරීක්‍ෂා කර බලන විට එක් පොදු ග්‍රහ පිහිටීමක් දක්‌නට ලැබේ. ඒ අනුව කිසියම් ජ්‍යෙdතිෂ සිද්ධාන්තයක් හඳුනාගත හැකිය.
අත් පාවල කාරක අයිතිකරු සෙනසුරුය. එහෙයින් අත් පා ශක්‌තිමත් කිරීමට හෝ කඩා දැමීමට සෙනසුරු පුරෝගාමී වෙයි. ඒ සඳහා ජන්ම කේන්ද්‍රයේ පතිත සෙනසුරු කවරෙක්‌දැයි හඳුනාගත යුතුය. උච්ච සෙනසුරා, නීච සෙනසුරා, කෝදණ්‌ඩ සෙනසුරු, අවරෝහණ සෙනසුරු, ආරෝහණ සෙනසුරු, පාපකර්තරි සෙනසුරු, පාප සංයෝග සෙනසුරු, කණ්‌ඨක සෙනසුරු, ඒරාෂ්ඨකය මතුකරන සෙනසුරු ආදී සෙනසුරුට චරිත ගණනාවකි. එහෙයින් පුද්ගලයකු දෙව්ලොවට ගෙනයන්නේත්, අපායට ඇදගෙන යන්නේත් එකම සෙනසුරා විසින් යෑයි ප්‍රකට කියමනක් වේ.
අත් පා කැපීම, පියයුරු පිළිකා මතුකිරීම, නහර දුර්වල කිරීම වැනි ආබාධ වූවන්ගෙන් සියයට අසූවකට වැඩි ගණනක් ඒ සඳහා සෙනසුරු ප්‍රමුඛ වී ඇත.
විවෘත ආර්ථික ක්‍රමය යටතේ රුපියල්, ශත වඩාත් වටිනා දෙයක් බවට පත්ව ඇත. එ නිසා මිනිහාට හෙණ ගැහුවත් එයින් තමාට ආදායමක් ලැබේ නම් එයින් සතුටු වන, තිරශ්චිත සතුටක් බොහෝ මිනිසුන් තුළ වේ. මිනිසුන්ගේ අත් පා කැපෙන තරමට කෘත්‍රිම අත් නිෂ්පාදනය කරන්නා සතුටු වේ. මිනිසුන් මැරෙන තරමට අවමංගල අධ්‍යක්‍ෂවරු සතුටු වෙති. ඒ නිසා තම ආදායම ඉහළ නගින බැවිනි. මුළු සමාජයම රෝගීන් වන විට වෛද්‍යවරයා අකමැති නැත. මිනිසුන්ට අපල වන තරමට ඇතැම් ජ්‍යෙdතිෂ මුදලාලි කෙනෙක් සතුටුය. එකම දරුවකු සිටින මවක හෝ පියෙකු කේන්ද්‍රයක් බලවා ගැනීමට ජ්‍යෙdතිෂ කඩකාරයා වෙත ගිය විට ඒ දෙගුරුනට මාරක බියක් ඇතිකර රුපියල් හැට හැත්තෑ දහක් වැයකර තමා ලවාම යන්ත්‍රයක් ජීවම් කර බැඳීමට මග පාදා ගැනීමට ඔහු පෙළඹෙන්නේ රුපියල් ශත ආර්ථික සමාජ ක්‍රමය නිසාය.
සියලුම මුදල් භාවිතය අවලංගු කර යළිදු අතීතයේදී මෙන් භාණ්‌ඩ හුවමාරුව අනුව ජීවත්වන සමාජයක් අනාගතයේදී උදාවීමට මේ නිසා බැරිකමක් නැත. එයත් බැරි නම් වනාන්තරගතව මිනිස් සමාජයෙන් තොරව ජීවත්වීමට පෙළඹෙන මිනිස් සමාජයක් අනාගතයේදී ඇති වන්නට බැරිකමක් නැත.
මිනිසුනට වැලඳෙන රෝග නිසාත්, කෘත්‍රිම උපකරණවල අසීමිත මිල නිසාත් ඖෂධ වර්ගවල මිල ඉහළ යැම නිසාත් මේ විවෘත ආර්ථික රටාව යටතේ සමාජ ගත වන චෞරයෙක් මග යන එන මගියකුගේ පපුවට පිස්‌තෝලය එල්ල කර දීපිය තොගේ හදවත, දීපිය තොගේ වකුගඩුව කියා ශාරීරික අවයව මංකොල්ල කෑමෙහි යෙදෙන අපරාධකරුවන් බිහිවන්නට බැරිකමක් නැත.
ජීවිතයක වටිනාකම නොදැන ඇතැම් මවක දරුවන් වඩා ගෙන ළිඳට පැන දිවි හානි කර ගත් බවත් තව කෙනකු එල්ලී දිවි නසා ගත් බවත් පුවත්පත්වල වාර්තා වෙයි. එහෙම වන්නේ ආත්ම පරාජය නිසායත හෙවත් තමාට තමාම පැරදුන නිසාය. තමාට තමාම පැරදීම තරම් පරාජයක් තවත් නැත.
උත්පාද තිථි භංග යන නීතිය යටතේ සියල්ල ඇතිවී, පැවැති, නැතිවී යන බව හැබෑය. ඒ වූ කලී කාලය හෝ දෛවය විසින් කරනු ලබන තීරණයකි.