Spread the News

බෞද්ධාගම සම්බන්ධ කටයුතුවලදී උපදෙස්‌ ගන්න බෞද්ධ කාරක සභාවක්‌

අනුර බාලසූරිය

සියලු නිකායන්හි මහානායක හිමිවරුන්ගේ අදහස්‌ සැලකිල්ලට ගෙන බෞද්ධාගම සම්බන්ධ කටයුතුවලදී රජයට උපදෙස්‌ ලබාගැනීමට හා අනුශාසනා කිරීමට බෞද්ධ උපදේශක කාරක සභාවක්‌ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පත්කර තිබේ.

මහා නායක හිමිවරුන් විසින් නම්කර ඇති අනුශාසක හිමිවරු ඇතුළු නියෝජිත පිරිසක්‌ මෙම උපදේශක කමිටුවට අයත්වෙති.

මෙම බෞද්ධ උපදේශක කාරක සභාව පිහිටුවීම පෙරේදා (18 දා) අරලියගහ මන්දිරයේදී ජනාධිපතිවරයාගේ සහභාගිත්වයෙන් සිදු කෙරුණි.

බෞද්ධ උපදේශක කාරක සභාවක අවශ්‍යතාව දැඩිව පැන නැඟී තිබූ බවත් බෞද්ධාගම සම්බන්ධ කටයුතුවලදී ක්‍රියා කළයුතු ආකාරය පිළිබඳව රජයට අවශ්‍ය උපදෙස්‌ මෙම කාරක සභාව තුළින් ලබාගැනීමට අපේක්‍ෂා කරන බවත්, ඒ තුළින් රජයේ ගමන් මග එමගින් නිවැරදි කර ගැනීමට අපේක්‍ෂා කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.

මෙම අවස්‌ථාවට එක්‌වූ මල්වතු පාර්ශවයේ අනුනායක නියංගොඩ විජිතසිරි නාහිමිපාණන් වහන්සේ මෙවන් උපදේශක කාරක සභාවක්‌ පිහිටුවීමට ජනාධිපතිවරයා පියවර ගැනීම වඩාත් සතුටට කරුණක්‌ බව සඳහන් කළහ.

ජනාධිපතිවරයා රටට ලබාදෙන නිවැරදි නායකත්වය රටේ සියලු මහා සංඝරත්නය අගය කරන බවත් පැවැසූ උන්වහන්සේ මෙම උපදේශක කාරක සභාව නිවැරදි සැලැස්‌මක්‌ අනුව කටයුතු කළයුතු බවත් පෙන්වා දුන්හ.

බෞද්ධ උපදේශක කාරක සභාවක්‌ පිහිටුවීමට කටයුතු කිරීම ඉතාමත් කාලෝචිත පියවරක්‌ බවත් රට තුළ අන්තර් ආගමික සංහිඳියාව ගොඩනැඟීමට එය ඉතා වැදගත්වන බවත් මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමිපාණෝ පැවැසූහ.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සභභාගිත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැති මෙම අවස්‌ථාවට මල්වතු පාර්ශවයේ වැඩබලන ලේඛකාධිකාරී පහමුනේ සුමංගල, අස්‌ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී ආණමඩුවේ ධම්මදස්‌සි, නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද, කෝට්‌ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ වැඩබලන මහානායක ඉත්තෑපාන ධම්මාලංකාර, අග්ගමහා පණ්‌ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස, අතිපූජ්‍ය කරගොඩඋයන්ගොඩ මෛත්‍රීමූර්ති නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය, අගමැති දි. මු. ජයරත්න, බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එම්. කේ. බී. දිසානායක යන මහත්වරු මෙම අවස්‌ථාවට එක්‌වූහ.