Sun. Jan 19th, 2025
Spread the News

බෞද්ධ ආගමික සංකේතයන්ට නිගාකළ සිහිවටනයක්‌

source link:


බෞද්ධ ආගමික සංකේතවලට නිග්‍රහ කිරීම කලක පටන් පැවැතිණි. විවිධ මූලධර්මවාදී බලවේග උත්සාහ කර සිටියේ බුදුන් වහන්සේට නිගා කිරීමටය. ඒවාට එරෙහිව සෑමවිටම බෞද්ධයෝ නැගී සිටියහ. මේ සම්බුද්ධත්ව ජයන්තිය සැමරෙන කාලයයි. එම කාලයේදීත් බෞද්ධයන්ට එරෙහිව නොයෙකුත් බලවේග ක්‍රියාත්මක වන අයුරු අපට පෙනී යයි.


මෙලෙස බෞද්ධ ආගමික සංකේතයන්ට නිග්‍රහ වන ආකාරයෙන් සකස්‌ කළ සිහිවටනයක්‌ ඊයේ “දිවයින” කාර්යාලයට රැගෙන එන ලදී. එය රැගෙන එනු ලැබුවේ වැල්ලවත්තේ ශ්‍රී විජයාරාමාධිපති, අධිකරණ සංඝනායක අහංගම ආනන්ද නාහිමියන් හා වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්‌ථානාධිපති මහරගම මහින්ද හිමියන් විසිනි.

පසුගිය දිනක බැංගලෝරයේ සංචාරය කළ දීපානී කඳනාරච්චි මහත්මිය විසින් මේ බෞද්ධ විරෝධී සිහිවටන මිලදී ගෙන මෙරටට රැගෙන විත් එය ආනන්ද හිමියන්ට භාරදී ඇත. මෙහි මිල ඩොලර් 50 ක්‌ වී ඇත.

බෞද්ධයන්ට බෝකොළය ඉතාම වැදගත් ආගමික සංකේතයකි. බෝකොළය මැද ඡේසුස්‌ වහන්සේ කුරුසිය ඇණගසා ඇති අයුරින් මේ සිහිවටනය සකස්‌ කර ඇත. සැබැවින්ම මෙය බෞද්ධ විරෝධී නිර්මාණයක්‌ වන අතර ආගම් අතර සංහිඳියාවන් බිඳදමන්නකි.

මේ බෞද්ධ විරෝධී නිර්මාණය ගැන “දිවයින” සමග අදහස්‌ දැක්‌වූ අහංගම ආනන්ද නාහිමියෝ මෙසේ පැවසූහ.

“අද රටම 2600 සම්බුද්ධත්ව ජයන්තිය සැමරීමට සූදානම් වෙනවා. නමුත් මෙවැනි නිර්මාණ දැක්‌කම හිතෙන්නේ මේවා නිසා ආගම් අතර භේදයක්‌ ඇතිවෙන්න පුළුවන් කියන එකයි.

බෞද්ධයෝ කිසිම අවස්‌ථාවක අන්‍යාගමික සංකේතවලට නිග්‍රහ කරන්නේ නැහැ. ඇත්තෙන්ම මෙවැනි නිර්මාණවලින් සිදුවන්නේ ආගමික සහජීවනය නැතිවන එකයි”.

මහරගම මහින්ද හිමියෝ මේ ගැන අදහස්‌ දක්‌වමින් මෙසේ කීහ. “ආගමික සහජීවනය ඇති කළ යුතු කාලයක මෙවැනි දේ දක්‌නට ලැබීමෙන් සිදුවන්නේ ඒ සුහදතාවට බලවත් හානියක්‌. විශේෂයෙන් ඉන්දියාව හරහා මෙවැනි නිර්මාණ විවිධ රටවලට පැතිරයැම ගැන අපි දැඩි අවධානය යොමු කළ යුතුයි”.

– චතුර

Protected by Security by CleanTalk