බෞද්ධ භික්ශූන් වහන්සේලා වතිකානුවේ පල්ලියක – රංග ජයවර්ධන

Spread the News

බෞද්ධ භික්ශූන් වහන්සේලා වතිකානුවේ පල්ලියක – රංග ජයවර්ධන, on January 7th, 2011

Source Link:

ඉහත රූපයෙන් ඔබ දකින්නේ ශ්‍රී ලංකාවේ අන්තර් ආගමික සහජීවනය වෙනුවෙන් කොන්දේසි විරහිතව කටයුතු කරන ශ්‍රී ලංකාවේ වැඩ වසන ස්වාමීන් වහන්සේලා කිහිප නමක්, මැල්කම් රංජිත් කාදිනල් තුමාගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන්වතිකානුවේ දේව මෙහෙයට සහභාගී වී ඇති ආකාරයයි. නම් ගම් නොකිව්වාට මේ සිටින්නේ ජනපති තුමාට පවා උපදෙස් දෙන ප්‍රසිද්ධ හිමිවරුය. (බුදු දහමට වඩාත් ආදරේ කරන සහ දේශය සතුරාට පාවා නොදීමට දිවි හිමියෙන් කැප වූ) ජයලත් ජයවර්ධන මන්ත්‍රී තුමාගේ මැදිහත් වීම මත මුන්වහන්සේලා එහි වැඩ ඇත.

අන් ආගම් වලටද ගරු කිරීම බුදු රජානන් වහන්සේ පවා වදාල දෙයකි. එනමුත් මෙහිදී අපට ගැටළු තුනක් ඇත.

1. බෞද්ධ භික්ශූන් වහන්සේලා කතෝලික ආගම වැනි මිසදිටු ආගමක තිබෙන උත්සව වලට සම්බන්ධ වීම සුදුසුද? බුදුරජානන් වහන්සේගේ කාලයේ සැරියුත් මුගලන් යනාදී මහරහතන් වහන්සේලා ඇතුළු ආර්ය සාංඝයා වහන්සේ නිගන්ඨයින්ගේ හෝ වෙනත් ආගමික කණ්ඩායම් වල උත්සව වලට සම්භන්ධ වුනිද? මෙම භින්ශූන් වහන්සේ වතිකානුවට නොවැඩියානම් එය අන්තර් ආගමික සහජීවනයට බාධාවක් වේද?

2. බෞද්ධ භික්ශූන් වහන්සේ නමක් කාන්තාවක් සමග එකළඟ වාඩි වීම සිංහල බෞද්ධ සම්ප්‍රදායට කෙතෙක් උචිතද? හදිසි අවස්ථාවකදී කාන්තාවක් අසල වාඩි වීම ගැටළුවක් නොවන්නේනම් පොදු ප්‍රවාහන සේවයේ බස් රථ වලදී ගැබ්නි මවක් වුවද හුනස්නෙන් නැගිට භික්ශූන් වහන්සේ නමකට තම අසුන දිය යුත්තේ ඇයි? එම අවස්ථාව මීට වඩා හදිසි අවස්ථාවක් නෙමෙයිද?

3. භික්ශූන් වහන්සේ කිසිදු විටෙක ගිහියන්ට පසු පසින් වාඩි වෙන්නේ නැත. එනමුත් මේ ස්වාමීන් වහන්සේලා වතිකානුවේ දේව මෙහෙයන්ට සම්බන්ධ වූයේ මේ බව නොදැනද? එය ශ්‍රී ලංකාව තුල පමණක් තිබෙන සම්ප්‍රදායක්ද?

අපිට ආරංචි වූ පරිදි සමහර භික්ශූන් වහන්සේලා මේ ගමන ප්‍රතික්ශේප කර ඇත. එනම් අන් ආගමිකයින් වෙසෙන තැන් වලට ධර්ම ප්‍රචාරය අරමුණු කර නොගෙන යන ගමන් වලදී සිදුවන ගැහැට උන්වහන්සේලා අවබෝධ කරගෙන ඇති බැවිනි. එහෙනම් මේ වහන්සේලා වතිකානුවට වැඩිනේ මේ බව නොදැනද? නැතහොත් වෙන යම් අරමුණක් පෙරදැඩි කරගෙනද?

වඩාත් වැදගත් ලෙස දැක්විය යුතු දේනම් සමහර භික්ශූන් වහන්සේ එංගලන්තයේ රැජින සම්භන්ධ වන උත්සව වලට පවා සහභාගී වී ඇති බව අපට දැනගන්නට ලැබී තිබීමයි. එහි ගැටළුව වන්නේ රැජිණ ඉදිරියේදී සියල්ලෝම නැගිට තම හිස ඇයට පහත් කර ගෞරව දැක්විය යුතු යැයි සම්මතයක් තිබෙන නිසා එයට සහභාගී වූ භික්ශූන් වහන්සේද හුනස්නෙන් නැගිට එංගලන්තයේ රැජිණට ශීර්ෂ ප්‍රණාමය දක්වා තිබීමයි. දඹදිව එක්සේසත් කළ මහා අශෝක අධිරාජයාටවත් තම හිස පහත් නොකළ සංඝ චීවරය දරාගත් ආර්යයන්ගෙන් පැවැත එන්නෙක්, සිංහල බෞද්ධ භික්ශූන් වහන්සේලාව අමු අමුවේ අපවත් කරනවන ලද මිත්‍යාදුශ්ථික රජ පරම්පරාවකින් පැවැත එන රැජිනකට හුනස්නෙන් නැගිට තම හිස පහත් කිරීම ඉතාමත් ඛේදයකි.

විශේෂයෙන්ම විදේශ රටවල සිටින සියලුම සිංහල බෞද්ධයින්ගේ අවධානය මේ කරුණු කෙරෙහි යොමු වේවා. වරක් ආර්ය මහා සංඝයාට පූජා කල විට කල්ප ගනනාවක් ගියද එහි පින් බලය නොමැකෙන, බුද්ධ චීවරයේ ගෞරවය රැක ගැනීම සංඝයා වහන්සේලාගේ මෙන්ම ගිහි අපගේද වගකීමකි.