Spread the News

භාරත ඝාතනය ධම්මිකට පරාවළල්ලක්‌ වේ
කරාටේ ධම්මික – අවසන් කොටස

source:

පසුගිය මහ මැතිවරණයේදී මේ තරුණ දේශපාලනඥයා කොළඹ දිස්‌ත්‍රික්‌කයට තරග කළේය. මොහු ජයග්‍රහණය කරවීම සඳහා කරාටේ ධම්මික ඇතුළු සගයන් දැඩි ලෙස වෙහෙස මහන්සි වූහ.

කොරතොට ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ ජයසිංහ එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රබල ආධාරකරුවකු විය. ජයසිංහගේ වැඩිමහල් සොහොයුරා කරාටේ ධම්මික අතින් මැරුම් කෑවේ 2002 වර්ෂයේදීය. කඩුවෙල වසන්ත ඝාතනය කළ අවස්‌ථාවේ සිටි සෙසු සාමාජිකයන් අතර ජයසිංහගේ අයියා විය.

මේ සිද්ධිය නිසා ජයසිංහ සිටියේ කරාටේ ධම්මික කෙරෙහි දැඩි වෛරයකින්ය. කොයි මොහොතක හෝ ධම්මිකගෙන් පළිගන්නා බව ඔහු හැම විටම කීවේය. ඒ බව කරාටේ ධම්මිකටද සැලවී තිබිණි.

තරුණ දේශපාලනඥයා කොළඹට තරග කරද්දී ජයසිංහද ඔහුට ආධාර කිරීමට ඉදිරිපත් වූයේය. පක්‍ෂය මාරු කළ ජයසිංහ තම සගයන් විශාල පිරිසක්‌ද සමඟ තරුණ දේශපාලනඥයාගේ සහායට එක්‌වූවේය. ජයසිංහ තරුණ දේශපාලනඥයාට කිට්‌ටුවීම කරාටේ ධම්මිකට එතරම් රිස්‌සුවේ නැත. ඔහු ජයසිංහට එරෙහිව මරණ වරෙන්තු නිකුත් කළේය. සිය ගෝලයන් දෙදෙනකු යොදාගෙන කඩුවෙල කොරතොට ප්‍රදේශයේදී ජයසිංහට වෙඩි තබා ඝාතනය කරවීමට ධම්මික පියවර ගත්තේය.

මේ ඝාතනයෙන් තරුණ දේශපාලනඥයාද අන්දුන් කුන්දුන් වූයේය. ඝාතනය පිටුපස කරාටේ ධම්මික සිටින බව දේශපාලනඥයා දැන සිටියේ නැත.

ජයසිංහ ඝාතනය පිළිබඳ පරික්‍ෂණ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මගින් ආරම්භ කළේය.

විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ සති කීපයක්‌ තිස්‌සේ කළ පරීක්‍ෂණවලින් පසු ජයසිංහට වෙඩි තිබූ ඝාතකයා අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

ඒ මිනීමරුවා වැලිගම ප්‍රදේශයේ සැඟවී සිටියදී ජයසිංහ මරා දැමූ සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී අපරාධ වැලක තොරතුරු අනාවරණය වන්නට විය.

තමන් මේ ඝාතනය කළේ කරාටේ ධම්මිකගේ නියෝග මත බව ඝාතකයා පිළිගත්තේය. එමෙන්ම කරාටේ ධම්මික විසින් සැලසුම් කර තිබූ ඝාතන රැසක තොරතුරු ද මේ ඝාතකයාගෙන් හෙළිදරව් වූවේය. ඉන්පසු දේශපාලන පොරපිටිය පමණක්‌ නොව පාතාල ලෝකයද රත්විය.

එවකට දේශපාලන ලෝකයේ බලකණුවක්‌ව සිටි භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා සහ ප්‍රසන්න සෝලංගආරච්චි මහතා ඝාතනය කිරීමට කරාටේ ධම්මික සැලසුම් කරගෙන සිටි බවට සියලු තොරතුරු ඒ වන විට හෙළිවී තිබිණි.

මේ කාලසීමාව වන විට ධම්මික කලින් උපකාර කළ ජනහිතකාමී දේශපාලනඥයා සහ දේශපාලන කරලියට අලුතින් එක්‌වූ තරුණ දේශපාලනඥයා අතර බද්ද වෛරයක්‌ හටගෙන තිබිණි. පොලිසිය කරාටේ ධම්මික පසුපස ලුහුබඳින්නට වූහ. මේ කාලසීමාව වන විට පොලිස්‌ විශේෂ කාර්යබලකායේ සහකාර පොලිස්‌ අධිකාරි සිසිර කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කණ්‌ඩායමක්‌ද පාතාල නායකයන් සොයා දැවැන්ත මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කර තිබිණි.

තරුණ දේශපාලනඥයාගේ රැකවරණය මැද සිටි පාතාල ලෝකයේ නොම්මර එකේ අපරාධකරුවකු වූ ඕල්කොට්‌ කොටුවන්නේ මේ කාල සීමාවේදීය. ඉතාම රහසිගතව සුපිරි ජීවිතයක්‌ ගත කරමින් සිටි ඕල්කොට්‌ පොලිස්‌ විශේෂ කාර්ය බළකාය මගින් කුරුණෑගලදී අත්අඩංගුවට ගත්තේය.

තරුණ දේශපාලනඥයාගේ ඉහමොල රත්විය. ඕල්කොට්‌ බේරා ගැනීමට ඔහු දස අතේ දිව්වේය. ඕල්කොට්‌ විසින් ඒ වනවිට කර තිබූ මිනීමැරුම් ප්‍රමාණය පමණක්‌ 50 කට ආසන්න වී තිබිණි. කෙසේ හෝ ඕල්කොට්‌ට පොලිස්‌ විශේෂකාර්ය බලකායෙන් ගැලවීමක්‌ ලැබුණේ නැතැ

අන්තිමේදී ඕල්කොට්‌ට සිදුවූයේ තමන් සිදු කළ මහා අපරාධවලට ජීවිතයෙන් වන්දි ගෙවීමටය.

ඔල්කොට්‌ මියයැමෙන් පසු කරාටේ ධම්මික තව තවත් ආරක්‍ෂාවීමට කටයුතු කළේ කොයි මොහොතක හෝ පොලිසිය තමන්ද කොටුකර ගන්නා බව ඉවෙන් දැන සිටි නිසාය.

කරාටේ ධම්මික කොළඹ ප්‍රදේශය අතහැර දකුණු පළාතට පැන යන්නේ පොලිස්‌ ඇසට වැලිගසමින්ය සිය ජීවිතය බේරා ගැනීමේ අරමුණු ඇතිවය.

කොළඹ නගරය අතහැර දැමූ කරාටේ ධම්මික ඉතාම කුප්‍රකට ජීවිතයක්‌ ගත කිරීම සඳහා ගාල්ල නෙළුව ප්‍රදේශයට ගියේය. ගාල්ල ප්‍රදේශයේ රජයේ ප්‍රබලම දේශපාලනඥයකුගේ බාල සොහොයුරා ධම්මිකගේ කිට්‌ටුතම මිතුරෙකි. ටික කලක්‌ රහසිගතව සිටීමට ධම්මික ඔහු සොයා ගියේය.

“උඹ මගේ ළඟ ඉන්න එපා. පොලිසියයි එස්‌.ටී.එෆ් එකයි පිස්‌සු බල්ලො වගේ උඹව හොයනවා. මම උඹට හැංගිලා ඉන්න තැනක්‌ හොයලා දෙන්නම්.”

දේශපාලනඥයාගේ සොහොයුරා ධම්මිකට කීවේය. ධම්මිකට නවාතැන් ගැනීමට සූදානම් කර තිබුණේ නෙළුව ප්‍රදේශයේ එක්‌තරා විහාරස්‌ථානයකි. ධම්මික එහේ සිටියේ වෙනත් නමකින්ය. මේ පුද්ගලයා මුළු රටම හෙල්ලූ පාතාල නායකයකු බව විහාරාධිපති හිමියන් හෝ ගමේ කිසිවකුත් දැන සිටියේ නැත. වැඩි දවසක්‌ ගතවන්නට පෙර ධම්මික ප්‍රදේශවාසීන්ගේත් විහාරයේ ස්‌වාමීන්වහන්සේලාගේත් හොඳ හිතා දිනා ගත්තේය. කාලයක්‌ තිස්‌සේ යෝගී ව්‍යායාම්වල නිරතව සිටීම සහ සිත එකඟ කරගෙන භාවනා කිරීමේ හැකියාව ධම්මික සතු විය. විහාරස්‌ථානයේ පොඩි හාමුදුරුවන්ට සහ පිටස්‌තර පුද්ගලයන්ට භාවනා පංති කිරීමට ද ධම්මික කටයුතු කළේය.

ධම්මික නිරතුරම දුරකථන මාර්ගයෙන් සිය බිරිඳට සහ දරුවන්ට ඇමතුම් ලබාගැනීමට අමතක කළේ නැත. ජංගම දුරකථන නිතර පාවිච්චිය පොලිස්‌ ඇස තමන් වෙත යොමු වීමට හේතුවනු ඇතැයි ධම්මික නොසිතුවා විය හැක. කරාටේ ධම්මික පසුපස ලුහුබඳිමින් සිටි පොලිසිය ජංගම දුරකථන අංක කීපයක්‌ ඔස්‌සේ පරීක්‍ෂණ පවත්වා ඔහු සිටින ඉසව්වන් පිළිබඳව තොරතුරු සොයා ගත්තේය. මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්‌ථානාධිපති ඕ. සී. අමරබන්ධු මහතා ඇතුළු නිලධාරීන් ගාල්ල නෙළුව ප්‍රදේශය පීරන්නට පටන් ගත්හ. තමන් සිටින ස්‌ථානය පිළිබඳව පොලිසියට ඉව වැටී ඇති බව ධම්මිකගේ ඔත්තුකරුවන් මාර්ගයෙන් කන වැකිණි. ඔහු වහාම නෙළුවේ පන්සල අතහැර දමා සිය සමීපතම තරුණ දේශපාලනඥයා සොයා ආවේය.

“ධම්මික අයියා කිසිදේකට බය වෙන්න එපා. මම ඔයාව ආරක්‍ෂා කර ගන්නම්. ඔයාව ආරක්‍ෂා කර ගන්න යන්න ඕනෙ ඉහළම තැනටත් මම යනවා.”

තරුණ දේශපාලනඥයා සිය සමීපතම සගයාට කීවේය.

මේ කාල සීමාව වනවිට තරුණ දේශපාලනඥයා පාතාල අපරාධකරුවන්ට රැකවරණය සලසන තවත් දේශපාලනඥයකු සමඟ දැඩි වෛරයකින් පසු වූවේය. ඒ දේශපාලනඥයාගේ පාතාල සගයන්ට තර්ජන එල්ල කිරීම සඳහා කරාටේ ධම්මික පාවිච්චි කිරීමට තරුණ දේශපාලනඥයා පියවර ගත්තේය. ඒ වනවිට කොළඹ පාතාලයේ ප්‍රබලයා බවට පත්ව සිටි ප්‍රින්ස්‌ කොලම්ස්‌ ද මරුමුවට පත්ව සිටියේය. පාතාලයට සහ මත්කුඩු ජාවාරමට සම්බන්ධ නාගරික මන්ත්‍රීවරයකු කොළඹ සිය බලය ව්‍යාප්ත කිරීමට උත්සාහ ගෙන සිටියේ මේ කාල සීමාවේය.

තරුණ මන්ත්‍රීවරයා මේ නාගරික මන්ත්‍රීවරයා සමඟ කෝප වුණේය.

“උඹට කොළඹ රජකරන්න දෙන්න බැහැ. පණට ආදරයක්‌ තියෙනවානම් මෙහෙන් පලයන්. නැත්නම් මම උඹව ඉතුරු කරන්නෙ නැහැ.”

තරුණ මන්ත්‍රීවරයා නාගරික මන්ත්‍රීවරයාට තර්ජනය කළේය. දේශපාලන හයිය මුදල් බලය ඇති තරුණ මන්ත්‍රීවරයා සමඟ ගැටුම් ඇතිකර ගැනීම සිය දිවි නසාගැනීමක්‌ වැනි බව නාගරික මන්ත්‍රීවරයා දැන සිටියේය.

ඒ අතර කරාටේ ධම්මික සිය ගෝලබාලයන් යොදවා කුඩුවලට ප්‍රසිද්ධ නාගරික මන්ත්‍රීවරයාගේ පක්‍ෂ කාර්යාල ඇතුළු දේපොළ රැසකට පහරදී විනාශ කළේය. තවදුරටත් ශ්‍රී ලංකාවේ රැඳී සිටියොත් තමන්ට මරණය අත්වනු ඒකාන්ත බව නාගරික මන්ත්‍රීවරයාට තේරුම් ගොස්‌ තිබිණි.

දෙවරක්‌ නොසිතා ඔහු රට හැර එංගලන්තයට ගියේ තරුණ දේශපාලනඥයාගෙන් සහ කරාටේ ධම්මිකගෙන් එල්ල වී ඇති ජීවිත තර්ජන නිසාවෙනි.

ඒ වන විට ශ්‍රී ලංකාවේ පාතාල ඉතිහාසයේ නම් දරා ගෙන සිටි මහා අපරාධකරුවන් අතුරින් ඉතිරිව සිටියේ කරාටේ ධම්මික පමණි.

කිඹුලා ඇලේ ගුණා, තෙල්බාලා, රත්ගම නදුන් වැනි නම් දරූ ප්‍රබලයන් සියලු දෙනා ඒ වන විට දිවි ගලවා ගැනීම සඳහා රට හැර ගොස්‌ සිටියහ.

පාතාලයේ ගෝර්ඩ් පාදර් ලෙස නම් දරා සිටි කරාටේ ධම්මික සිය ආරක්‍ෂාව තව තවත් තර කර ගත්තේය. කිසිම අවස්‌ථාවක මේ අපරාධකාරයො ප්‍රසිද්ධියේ පෙනී සිටියේ නැත. බිරිඳ සහ දරුවන් හමුවූයේද කොළඹින් පිටත කොහේ හෝ රහසිගත ස්‌ථානයකදීය.

තරුණ දේශපාලනඥයා කරාටේ ධම්මික ආරක්‍ෂා කර ගැනීමට නොගත් උත්සාහයක්‌ නැත. තරුණ දේශපාලනඥයා ධම්මිකට දැක්‌වූයේ හිතවත් කමකට වඩා බිය පක්‍ෂපාතී බවකි. ධම්මික කියන ඕනෑම දෙයක්‌ එක පයින් ක්‍රියාත්මක කිරීමට තරුණ දේශපාලනඥයා කටයුතු කළේ ඒ නිසාය.

කොළඹට සහ තදාසන්න ප්‍රදේශවල පොලිස්‌ ප්‍රධානීන් කීප දෙනකුම පෞද්ගලිකව මුණ ගැසුණු තරුණ දේශපාලනඥයා ධම්මිකගේ ආරක්‍ෂාවට සහතිකයක්‌ ලබා ගත්තේය. ධම්මික සහ සගයන් ආරක්‍ෂා කර ගැනීම සඳහා තරුණ දේශපාලනඥයා පොලිසියේ ඉහළම පුටු සොයා ගියේය.

පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ ඉමහත් කීර්තියක්‌ දිනාගෙන සිටි සහකාර පොලිස්‌ අධිකාරී සිසිර කුමාර මහතා (මහඔයදී ඉකුත්දා සිදුවූ ෙ€දනීය සිදුවීමෙන් මියගිය) කරාටේ ධම්මික සෙවීමට මෙහෙයුමක්‌ රහසිගතව ආරම්භ කර තිබිණි. පොලිස්‌ දෙපාර්තමේන්තුවේ ඉහළම පුටු නම්මාගත්ත ද සහකාර පොලිස්‌ අධිකාරී සිසිර කුමාර මහතාගෙන් ධම්මිකට කිසිම ගැලවීමක්‌ නොලැබෙන බව තරුණ දේශපාලනඥයා හොඳින් දැන සිටියේය.

මේ අතර තම කිට්‌ටුවන්තම සගයකු වූ “කටා රොෂාන්” නාඳුනන සන්නද්ධ කණ්‌ඩායමක්‌ විසින් පැහැරගෙන ගොස්‌ ඝාතනය කිරීමේ සිද්ධියෙන් තරුණ දේශපාලනඥයා අන්දුන් කුන්දුන්ව සිටියේය.

පාතාල ලෝකයේ තවත් නමගිය අපරාධකරුවකු වූ “කටා රොෂාන්” ඝාතනය තරුණ දේශපාලනඥයා වෙත එල්ල වූ මරුපහරක්‌ විය. කටා රොෂාන් ඝාතනයේ චෝදනාව කෙළින්ම එල්ල වූයේ පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ සහකාර පොලිස්‌ අධිකාරී සිසිර කුමාර මහතා සහ එහි නිලධාරීන් වෙතය.

තරුණ දේශපාලනඥයා තමාට කිට්‌ටුවන්තම පොලිස්‌ නිලධාරියකු සොයා ගියේය. (මේ වන විට විශ්‍රාමික)

බලන්න අංකල් මහ ජරාවැඩක්‌ කරලා තියෙන්නෙ. මාගේ දේශපාලන ජීවිතේම ඉවරයි. මේ මනුස්‌සයා මට කොච්චර උදව් කළාද? මේක කරපු අයට හොඳ පාඩමක්‌ උගන්වන්න ඕනෙ….

තරුණ දේශපාලනඥයා දැඩි ආවේගයෙන් කතා කළේය. දේශපාලනඥයා සනසාලු පොලිස්‌ ලොක්‌කා වහාම පරීක්‍ෂණයක්‌ ආරම්භ කළේය. පාතාලයේ නමගිය අපරාධකරුවකු වූ කටා රොෂාන් ඝාතනය පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීමට රහස්‌ පොලිසිය සහ තවත් පොලිස්‌ කණ්‌ඩායම් කීපයක්‌ යෙදවීමට පොලිස්‌ ලොක්‌කා පියවර ගත්තේය.

රට වෙනුවෙන් අපරිමිත සේවයක්‌ කළ සහකාර පොලිස්‌ අධිකාරී සිසිර කුමාර මහතා දින තුනක්‌ තිස්‌සේ රහස්‌ පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කළේ පාතාල නායකයකු ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳ තොරතුරු සෙවීමටය.

තරුණ දේශපාලනඥයාගේ ඉල්ලීම මත පොලිස්‌ ලොක්‌කා විසින් සිසිර කුමාර මහතා වහාම අම්පාර මහඔය කඳවුර වෙත මාරුකර යෑව්වේය.

සිසිර කුමාර මහතා අකල් මරණයකට ගොදුරු වූයේ මහඔය කඳවුරේ සේවය කරමින් සිටියදීය.

සහකාර පොලිස්‌ අධිකාරිවරයා මරාදැමූ පුවත ඇසූ සැණින් තරුණ දේශපාලනඥයා කරාටේ ධම්මික ඇතුළු පාතාල සහචරයෝ ප්‍රීතිඝෝෂා පැවැත්වූහ. රතිඤ්ඤා පත්තු කරමින්ද සිය සතුට ප්‍රකාශ කළහ. ඉන් නොනැවතුණු කරාටේ ධම්මික සිය සහෝදරයා බඳු තරුණ දේශපාලනඥයා සමඟ එක්‌ වී සිසිර කුමාර මහතා ඝාතනය වීමේ සතුට වෙනුවෙන් විශාල සාදයක්‌ද පැවැත්වීමට කටයුතු කළේය. කරාටේ ධම්මිකගේ ආරක්‍ෂිත නිවස්‌නය පිහිටා තිබුණේ නුගේගොඩ පරණ කැස්‌බෑව පාරේ නිවසකය. තරුණ දේශපාලනඥයා සිය පක්‍ෂ කාර්යාලය පවත්වාගෙන ගියේද මේ නිවසේය. ඊට අමතරව රට පුරා ප්‍රදේශ කිහිපයකම කරාටේ ධම්මික ආරක්‍ෂිත නිවාස කීපයක්‌ම මිලදී ගෙන සිටියේ අවශ්‍ය අවස්‌ථාවලදී ප්‍රයෝජනයට ගැනීම සඳහාය.

රඹුක්‌කන වල්පොල ප්‍රදේශයේදී රුපියල් අට ලක්‍ෂයකට ඉඩමක්‌ සමඟ නිවසක්‌ මිලදී ගත් ධම්මික එය සිය සගයකු වූ අනුර සම්පත් නමැත්තාට භාර දුන්නේය. මේ නිවසේ කාන්තාවන් දෙදෙනෙක්‌ ද පදිංචිව සිටියහ. එක්‌ කාන්තාවක්‌ ධම්මිකගේ අනියම් බිරිඳකි. අනුර සම්පත් නමැත්තාද නවාතැන් ගෙන සිටියේ මේ නිවසේය.

කරාටේ ධම්මික මාසයකට දෙකකට වතාවක්‌ හොර රහසේම රඹුක්‌කන වල්පොල පිහිටි නිවසට ගොස්‌ නිදහසේ දින කීපයක්‌ එහි ගත කර ඒමට පුරුදුව සිටියේය. මේ අතර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට රජය සූදානම් විය. කොළොන්නාව නගර සභාවේ අපේක්‍ෂකයකු ලෙස තම පුංචි අම්මාගේ පුත්‍රයා ඉදිරිපත් කිරීමට කරාටේ ධම්මිකට අවශ්‍ය විය.

කොළොන්නාව සංවිධායක වූ දුමින්ද සිල්වා මහතාට සිය අදහස ධම්මික ඉදිරිපත් කළේය.

“මූ …. අපේ එකා. කොහොම හරි කොළොන්නාව නගරාධිපති කරන්න ඕනෙ.”

ධම්මිකගේ ඉල්ලීම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක විය. ධම්මිකගේ ඥති සොහොයුරා කොළොන්නාව නගර සභාවේ අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් කළා පමණක්‌ නොව ඔහු නගරාධිපති කරවීමට අවශ්‍ය සහාය ලබා දීමටත් දුමින්ද සිල්වා පොරොන්දු වූවේය.

ඒ වන විට කොළොන්නාව තනිකරම කුඩු පුරයක්‌ බවට පත්ව තිබිණි. පාතාල අපරාධකරුවන්ගේ පාරාදීසයක්‌ ලෙසද කොළොන්නාව ප්‍රසිද්ධ විය.

මේ පාතාල ක්‍රියා සහ මත්කුඩු ජාවාරම් වලට එරෙහිව හිටපු මන්ත්‍රී භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා නැගී සිටියේය. කොළොන්නාවේ නගරාධිපති කිරීමට ප්‍රසන්න සෝලංගආරච්චි මහතාට සහාය වීමට භාරත ලක්‍ෂ්මන් ඉදිරිපත් වූවේය. භාරතත් දුමින්දත් අතර ගැටුම් හට ගත්තේ එතැන සිටය. කාලයක්‌ තිස්‌සේ මොවුන් දෙදෙනා විරසකව සිටියද එළිපිටම ඔවුන් සටනට බැස්‌සේ පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු සමයේදීය.

විරුද්ධ පාක්‍ෂිකයන් මෙන්ම සෝලංගආරච්චි මහතාට පක්‍ෂ පුද්ගලයන්ද හිංසාවට ලක්‌ කිරීම ඔවුන්ගේ ඡන්ද වැළැක්‌වීම වැනි කාර්ය සියල්ල භාර ගෙන තිබුණේ කරාටේ ධම්මිකය. ඔහු සිය ගෝලබාලයන් යොදවා කොළොන්නාවේ යූ. එන්. පී. පාක්‍ෂිකයන්ට පුළුවන් තරම් හිරිහැර කළේය. ඉන් නොනැවතුණු ධම්මික සෝලංගආරච්චිට සහාය දෙන පුද්ගලයන්ට ඔවුන්ගේ පක්‍ෂ කාර්යාලවලට පහර දුන්නේය.

නගර සභා මැතිවරණයට දින කීපයකට පෙර තලංගම ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක්‌ වෙත කඩාවැදුණු කරාටේ ධම්මිකගේ ගෝලබාලයන් එහි බලෙන් ඇතුළුවීමට උත්සාහ කළහ. ඒ වන විට රාත්‍රී සමාජශාලාව අලුත්වැඩියා කටයුත්තක්‌ සඳහා වසා දමා තිබිණි. එහෙත් සිය පාතාල බලය පාවිච්චි කළ මැරයන් එහි ඇතුළුවීමට උත්සාහ කළ ද හිමිකරුවන් ඊට ඉඩ දුන්නේ නැත. අන්තිමේදී ධම්මිකගේ ගෝලබාලයන් රාත්‍රී සමාජ ශාලාව වෙත වෙඩි වරුසාවක්‌ එල්ල කර නගර සභා අපේක්‍ෂක සෝලංගආරච්චි මහතාගේ නිවස අසලට ගියහ.

ඒ වන විට සෝලංගආරච්චි මහතා නිවසේ සිටියේ නැත. ධම්මිකගේ මැරයන් සෝලංගආරච්චි මහතාගේ නිවස සහ ඒ අවට ප්‍රදේශයට වෙඩි පිට වෙඩි තබන්නට වූහ. මුළු ප්‍රදේශයම භීතියෙන් ඇලලී ගොස්‌ සිටියහ. කොළොන්නාව ප්‍රදේශය යුද්ධයට මැදි වූ නගරයක්‌ මෙන් විය. කරාටේ ධම්මිකගේ පාතාල කල්ලිය මුළු කොළොන්නාව පුරාම දැඩි භීතියක්‌ පතුරුවා තිබිණි. කරාටේ ධම්මික මේ සියලු ක්‍රියාවන් කළේ සෝලංගආරච්චි නගරාධිපති වීම නවතා සිය ඥති සොහොයුරාට ඒ ස්‌ථානය ලබාදීමටය.

නගර සභා මැතිවරණයට පෙර දින එනම් ඔක්‌තෝබර් 7 වැනිදා රාත්‍රී කොළොන්නාව ප්‍රදේශයේ මිනිස්‌ ඝාතනයක්‌ සිදුවිය. ඝාතනයට ලක්‌ වූයේ දුමින්ද සිල්වාගේ ආධාරකරුවෙකි. යතුරුපැදියකින් පන්නාගෙන ආ සන්නද්ධ පුද්ගලයන් දෙදෙනකු ත්‍රිරෝද රථයක යමින් සිටි පුද්ගලයාට වෙඩි තබා පලා ගියහ.

මේ ඝාතනයෙන් දුමින්ද සිල්වා දැඩි ලෙස උරණ වූවේය. කරාටේ ධම්මික ද සිටියේ දැඩි කෝපයකින්ය. තරුණයා ඝාතනය කළේ භාරත ලක්‍ෂ්මන් මහතාගේ පාර්ශ්වයේ පිරිසක්‌ විසින් බවට ප්‍රචාරයක්‌ ද පැතිර ගොස්‌ තිබිණි. පළාත් පාලන මැතිවරණය පැවති දින මුල්ලේරියාවේ සිදුවූ ෙ€දවාචකයට මුල් වූයේ කරාටේ ධම්මිකගේ මේ ඡන්ද සටනය. එසේ නොවන්නට භාරත ලක්‍ෂ්මන් මහතා ද අද ජීවතුන් අතර සිටියි. භාරත මහතා සමඟ සිට ජීවිතයෙන් සමුගත් අහිංසකයන් සිව් දෙනාද තවමත් ජීවතුන් අතරය.

භාරත ඝාතනයෙන් දුමින්ද සිල්වා බරපතළ තුවාල ලැබීමත් තමන්ට පාරාවළල්ලක්‌ වනු ඇතැයි ධම්මික කීප විටක්‌ නොසිතුවා විය හැක.

භාරත මහතාට වෙඩි තැබුවේද කරාටේ ධම්මිකගේ ළඟම ගෝලයන් වූ දෙමටගොඩ චමින්ද තත්පර කට්‌ටා යන පාතාල සගයන් බව පරීක්‍ෂණවලින් පවා හෙළි විය. මුල්ලේරියාවේ සිද්ධියෙන් පසු දැඩි ලෙස අපහසුතාවට පත් වූයේ කරාටේ ධම්මිකය. කොයි මොහොතක හෝ ආරක්‍ෂක අංශ තමන් පසුපස එන බව ධම්මික හොඳාකාරවම දැන සිටියේය. තම එකම ආරක්‍ෂකයාටද තමන්ට පිහිට විය නොහැකි මොහොතක නොසිතූ මොහොතක සිදුවූ විනාශයකින් අන්දමන්දව සිටි කරාටේ ධම්මික කෙළින්ම ගියේ රඹුක්‌කන වල්පොල පිහිටි තම ආරක්‍ෂිත නිවස්‌නය වෙතය.

අධිසුඛෝපභෝගී ජීප් රථයෙන් පැමිණි ධම්මික දින කීපයක්‌ තිස්‌සේ රඹුක්‌කන නිවසේ ඉතාම රහසිගත ලෙස නවාතැන් ගෙන සිටියේය.

එහෙත් අපරාධකාරයාගේ ජීවිතය කෙටිය. කළ අපරාධ වලට වන්දි ගෙවිය යුතු කාලය එළැඹ තිබිණි.

ඔක්‌තෝබර් 22 වැනිදා උදේ 6.00 ට පමණ සුදු පැහැති වෑන් රථයක්‌ ධම්මික නවාතැන්ගෙන සිටි රඹුක්‌කන වල්පොල නිවසට කඩා වැදුනේය. ටී 56 අවි අවිවලින් සන්නද්ධව සිටි 12 දෙනකුගෙන් සමන්විත පිරිසක්‌ නිවසට කඩා පැන්නහ.

පාතාල ලෝකයේ මහා කෙරුම්කාරයකුව සිටි කරාටේ ධම්මිකගේ බෙල්ලෙන් අල්ලාගත් සන්නද්ධ පිරිස ඔහු ඇදගෙන ගොස්‌ වෑන් රථයට දමා ගත්හ. මිනීමැරුම් තිස්‌ ගණනකට වගකිවයුතු මේ පාතාල නරුමයා පිළිබඳ අද වනතුරුත් කිසිදු හෝඩුවාවක්‌ නැත. මුල්ලේරියාවේ සිද්ධිය නොවන්නට කරාටේ ධම්මික නමැති චරිතය අදටත් පාතාල ලෝකයේ වැජඹෙන චරිතයක්‌ වනු නොඅනුමානය.

හේමන්ත රන්දුණු

4 thoughts on “භාරත ඝාතනය ධම්මිකට පරාවළල්ලක්‌ වේ,කරාටේ ධම්මික – අවසන් කොටස”
  1. http://www.divaina.com/2011/11/14/news10.html
    කරාටේ ධම්මිකගේ ළඟම හිතවතියක්‌
    ජයටම කප්පම් ජාවාරමේ

    සමන් ගමගේ

    ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියක්‌ විසින් පැහැරගෙන යනු ලැබූ පාතාල නායක කරාටේ ධම්මික සමඟ සමීප සබඳතා පැවැත්වූ කාන්තාවක්‌ මේ වන විට

    ධම්මිකගේ ගෝලබාලයන් ද සමඟ එක්‌ව ධනවත් ව්‍යාපාරිකයන්ගෙන් මහා පරිමාණයෙන් කප්පම් ලබාගැනීමේ ජාවාරමක්‌ අරඹා ඇතැයි බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබේ.

    පැහැරගනු ලැබූ කරාටේ ධම්මික විදේශගතව ජීවත්ව සිටින බව අඟවා ව්‍යාපාරිකයන් බියගන්වමින් එම කාන්තාව ඇතුළු කල්ලිය කප්පම් ලබාගැනීම සිදුකරගෙන යන බව ද අනාවරණය වී ඇත.

    කරාටේ ධම්මිකගේ ගෝලබාලයන් තමන් සමීපයට ගැනීම සඳහා ධම්මික නොමැරී ජීවත්ව සිටින බව පවසමින් මෙම කාන්තාව විසින් පසුගිය දිනෙක ගොතටුව ප්‍රදේශයේදී සුපිරි සාදයක්‌ ද පවත්වා තිබේ.

    එහෙත් පැහැරගනු ලැබූ කරාටේ ධම්මික මරා දමා ඇති බවට බුද්ධි අංශ වෙත මේ වන විට තොරතුරු ලැබී තිබෙන අතර ඊට සම්බන්ධ පාතාල කෙරුමන් කොටුකර ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක්‌ ද ආරම්භ කර ඇත.

  2. සන්නද්ධ පාතාල කල්ලියක්‌
    “දෙමටගොඩ අජා” පැහැර ගනී
    http://www.divaina.com/2011/11/15/news08.html
    සමන් ගමගේ

    පාතාල ප්‍රබලයකු සහ මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු ලෙස ප්‍රකට දෙමටගොඩ අජා නමැත්තා සන්නද්ධව පැමිණි ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියක්‌ විසින් පැහැරගෙන ගොස්‌ ඇත.දෙමටගොඩ අජා පසුගියදා (12 දා) රාත්‍රි දෙමටගොඩ මන්සන්ධියේ සිටියදී වෑන් රථයකින් පැමිණ ඇති පාතාල කල්ලිය ගිනි අවි එල්ල කර මෙම පැහැර ගැනීම සිදු කර තිබේ.

    එසේ පැහැරගනු ලැබූ අජා පිළිබඳ මෙතෙක්‌ කිසිදු තොරතුරක්‌ ලැබී නැත.

    මීට වසර දෙකකට පමණ ඉහතදී මත් කුඩු තොගයක්‌ද රැගෙන සුඛෝපභෝගී මෝටර් රථයකින් සිය බිරිඳ ද සමඟ යමින් සිටියදී පොලිසියට කොටු වූ අජාට එරෙහිව මහාධිකරණයේ නඩුවක්‌ද විභාග කෙරෙමින් පවතී.

  3. මිද්දෙණිය ජූලම්පිටියේදී
    පොලිස්‌ වෙඩි ප්‍රහාරයකින් පාතාලයේ දෙදෙනා මරුට

    සමන් ගමගේ – ප්‍රදීප් ප්‍රසන්න සමරකොන්, මිද්දෙණිය කෝංගල ලියනගේ, වීරකැටිය – අමිල ජුලම්පිටිය නාකුළුගමුවේ – නෙල්සන් ගල්ඇටුඹගේ

    මිද්දෙණිය ජූලම්පිටිය ප්‍රදේශයේදී පෙරේදා (24 වැනිදා) ඇතිවූ වෙඩි හුවමාරුවකදී කිසියම් භිහිසුණු අපරාධයකට සූදානම්ව සිටි දකුණේ ප්‍රබල පාතාල කල්ලියක සාමාජිකයන් දෙදෙනකු මිද්දෙණිය පොලිසියේ නිලධාරින් කණ්‌ඩායමක්‌ සමග ඇතිවු වෙඩි හුවමාරුවකදි මියගිය අතර ඔවුන් ගමන් ගත් යතුරු පැදියක්‌ සමග අවි ආයුධ කිහිපයක්‌ද සොයාගෙන තිබේ. සොයාගත් අවි අතර ටී. 56 ගිනි අවි දෙකක්‌, ග්‍රෙනේඩ් බෝම්බයක්‌ සහ ගල්කටස්‌ වර්ගයේ ගිනි අවියක්‌ද වන බව පොලිසිය සඳහන් කරයි. මියගිය පාතාල සාමාජිකයන් දෙදෙනා මීට මාස කිහිපයකට

    ඉහත පොලිස්‌ වෙඩි කා මිය ගිය දකුණේ පාතාල නායකයකු වූ නෙළුව ප්‍රියන්ත කල්ලියේ ප්‍රබල සාමාජිකයන් දෙදෙනකු වන සෙවනගල කුමාර හෙවත් ජානක ප්‍රදීප් කුමාර සහ මිද්දේණිය සරත් නමැත්තන් බවට ඊයේ සවස්‌ වන විට හඳුනාගෙන තිබිණි.

    මෙම වෙඩි හුවමාරුව අතරේ මියගිය පාතාල සාමාජිකයන් දෙදෙනා සමග සිටි තවත් පාතාල මැරයන් දෙදෙනකු පොලිසියෙන් බේරී යතුරු පැදියකින් පලා ගොස්‌ ඇත.

    සන්නද්ධ පාතාල සාමාජිකයන් සිව් දෙනකු යතුරු පැදිවල නැගී මිද්දෙණි ජූලන්පිටිය ප්‍රදේශයට පැමිණෙමින් සිටින බව ඊයේ (24දා) අලුයම මිද්දෙණිය පොලිසියට තොරතුරක්‌ ලැබී ඇත.

    එම තොරතුරත් සමග වහා ක්‍රියාත්මක වූ මිද්දෙණිය පොලිසියේ නිලධාරින් පිරිසක්‌ අදාළ ප්‍රදේශයට ගොස්‌ ඇති අතර එහිදී යතුරු පැදිවලින් පැමිණි පාතාල සාමාජිකයන් සිව්දෙනා ජූලන්පිටිය ප්‍රදේශයේ කැලෑබද ස්‌ථානයක තිබූ නිවසක රැඳී සිටින බවට පොලිසියට දැනගැනීමට ලැබී තිබේ.

    ඒ සමගම පොලිස්‌ නිලධාරින් කණ්‌ඩායම අදාළ නිවස වැටලීමට ඒ වෙත ළඟා වෙද්දී ටී. 56 ගිනි අවි දෙකකින් සන්නද්ධව නිවසේ සිට පිටතට පැමිණි පාතාල කල්ලියේ සාමාජිකයන් දෙදෙනකු පොලිස්‌ නිලධාරින් දෙසට වෙඩි වරුෂාවක්‌ එල්ල කර ඇති අතර එහිදී පොලිසියද පෙරලා ඔවුන් දෙසට වෙඩි තබා ඇත.

    පැය භාගයක පමණ කාලයක්‌ මෙම වෙඩි හුවමාරුව සිදුව තිබෙන බව තංගල්ල කොට්‌ඨාසයේ උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ “දිවයින” ට පැවැසීය.

    වෙඩි හුවමාරුව සිදුවන අතරේ නිවසේ රැඳී සිටි අනෙක්‌ පාතාල සාමාජිකයන් දෙදෙනා තවත් යතුරු පැදියක නැගී පොලිසියෙන් බේරී එම ස්‌ථානයෙන් පලා ගොස්‌ ඇත.

    සිදුවූ වෙඩි හුවමාරුවෙන් පසු පොලිසිය එම ස්‌ථානයට ගොස්‌ සිදු කළ සෝදිසි කිරීම්වලදි මියගිය පාතාල සාමාජිකයන් දෙදෙනාගේ මළ සිරුරු සමග අවි ආයුධ සහ යතුරු පැදිය සමග ලියකියවිලි කිහිපයක්‌ සොයාගෙන ඇතැයිද ඉහත උසස්‌ පොලිස්‌ නිලධාරියා සඳහන් කළේය.

    මියගිය පාතාල සාමාජිකයන් දෙදෙනා අතරින් සරත් නමැත්තා නම් දෙකකින් ජාතික හැඳුනුම් පත් දෙකක්‌ හදාගෙන සිට ඇති අතර එම හැඳුනුම්පත් දෙකද මෙහිදී පොලිසියට හමුවී ඇත.

    මෙම පාතාල සාමාජිකයන් පිරිස ජූලන්පිටිය ප්‍රදේශයට පැමිණ ඇත්තේ තවත් පාතාල ප්‍රබලයකු බව කියන මිද්දෙණිය අමරේ නමැත්තා ඝාතනය කිරීමට සුදානම්ව බවටද තොරතුරු ලැබී තිබේ.

    පලා ගිය පාතාල සාමාජිකයන් දෙදෙනා කොටු කර ගැනීම සඳහා දකුණු පළාත භාර ජ්‍යෙෂ්ට පොලිස්‌ අධිකාරි ලලිත් ජයසිංහ සහ නියෝජ්‍ය පොලිස්‌පති හෙක්‌ටර් ධර්මරත්න යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත තංගල්ල කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි සී. ඊ. වෙදිසිංහ මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුමක්‌ ආරම්භ කර තිබේ.

    මිද්දෙණිය පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්හන සිදුකරයි.
    http://www.divaina.com/2011/12/26/news07.html

  4. This is exactly the 3rd article, of your website
    I actually read. And yet I actually love this particular one, “භාරත ඝාතනය
    ධම්මිකට පරාවළල්ලක්‌ වේ,කරාටේ ධම්මික
    – අවසන් කොටස | ජාතික බෞද්ධ බලවේගය” the
    most. Regards -Agustin

Comments are closed.