Spread the News

ආරියතිලක
2023.01.22

Madduma Bandara statue Kandy -Picture by Wikimedia Commons -Author
Cherubino

මද්දුම බණ්ඩාර යන නම ඇසෙන විට, ඒ නම කියන විට නිතැතින්ම සිහියට එන්නේ වීර මද්දුම බණ්ඩාර කුමරු ගැන ය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් ඇහැලේපොල මහ අදිකාරම් නිලමේ තුමාගේ දරු පවුල ඝාතනය කරන ලද කතා ප්‍රවෘත්තිය නොදන්නා කිසිවෙක්, මෙරට නැති තරම් ය.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජුන් කල ඇහැලේපොල මහ නිලමේ තුමා, උඩරට රාජ්‍යයයේ මහ අදිකාරම් ධූරයට පත් විය. පසු කලයේ අස්ථානයේ සැකය හේතුවෙන් රජ තෙමේ ඇහැලේපොල මහ අධිකාරම් නිලමේ තුමන් කෙරෙහි බලවත් ලෙස අඝාත බැඳ ගත්තේ ය.
ඇහැලේපොල මහ අදිකාරම් නිලමේ තුමාගේ කණිටු පුතනු වන්නේ මද්දුම බණ්ඩාර කුමරු ය. වැඩි මහල් කුමරුගේ සහ මද්දුම බණ්ඩාර කුමරුගේ හිසගසා දමන ලෙස, අඝාත බැදගත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුන් විසින් රාජ නියෝග නිකුත් කරන ලදී. දියනිය වනේ ලා කෙටීමට ද ඇහැලේපොල කුමාරිහාමි ද දියේ ගිල්වා මැරීමට ද රජුන් විසින් රාජාඥා නිකුත් කරන ලදී.

දළදා මන්දිරයේ, වැඩසිටින මාළිගාවේ රන් කරඬුවේ ශ්‍රී දළදා වහන්සේ දිලිහි දිලිහී වැඩ සිටින්නාහ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ද, තම හදවත ක්‍රෝධයෙන් දිලිහි දිලිහී රජ වාසලේ ඉදිරිපස සිටියේ ය. දළදා මැඳුර අභියස විෂ්ණු සහ නාථ දෙවොල් අතර දේව සංහිද නැමැති භූමියේ සිරභාරයේ සිට ගෙනෙන ලද, ඇහැලේපොල කුමාරිහාමි ඇතුළු දරු තිදෙනා සිටිත්.
සූඅසූදහසක් වූ ධර්මස්කන්ධයන් ස්පර්ශව වැඩ සිටින්නා වූ, තථාගත සම්බුදු රජුන්ගේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වෙතින් විහිදුවන්නා වූ රශ්මි කදම්බය, ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ හදවත ස්පර්ශ නොවුනා සෙයකි. ශ්‍රී දළදා වහන්සේගේ තේවා පූජාවේ හඬ රජු විසින් නො අසන ලද සේය.

දිනය 1814 මැයි මස 17 වෙනිදා ය.
රජ අණලත් ගහලයා, කිසිදු වරදක් නැති, මද්දුම බණ්ඩාර කුමරුගේ වැඩිමහල් සහෝදර කුමරුන්ගේ ගෙල සිඳීමට සූදානම් විය. එකෙනෙහි වයස නවයක් වූ වැඩිමහල් කුමරු බියෙන් තැතිගෙන මව්ගේ ඇඟේ
දැවටී හඬන්නට වන. එකෙනෙහි ම සත් අවුරුදු වයසැ’ති මද්දුම බණ්ඩාර කුමරු,

“අයියණ්ඩී බිය නොවන්න මැරෙන හැටි මම පෙන්වන්නම්”යැ’යි
කියා දංගෙඩිය ඉදිරියේ හිට ගත්තේ ය. ගහලයා විසින් එක කඩු පහරින් ම මද්දුම බණ්ඩාර කුමරුන්ගේ හිස කදින් වෙන් කරන ලදී. මද්දුම බණඩාර කුමරුගේ ගෙල සිඳී, හිස නැති ගෙලින් ගලා ගිය ලෙයින් දංගෙඩිය තෙත් විය. බලාගෙන හුන් ජනතාව හිස අත තබා වැළපෙන්නට වූහ.

මද්දුම බණ්ඩාර කුමරු විසින්
“අයියණ්ඩී බිය නොවන්න මැරෙන හැටි මම පෙන්වන්නම්” යැ’යි කියන ලද වීර වදන් පෙළින් “මැරෙන හැටි” පෙන්නා දුන්නේ, තම අය්යණ්ඩියට පමණක් ම නොවේ. රජුගේ අධාර්මික, සාධරණ නොවූ තීන්දුව අභියෝගයට ලක් කර, මැරෙන හැටි රජුට ද පෙන්වී ය. රජුගේ අධ්‍යාත්මය සොලවා දැමුයේ ය. රජුගේ රාජ තේජස ද සසළ කළේ ය.
එපමණක් ද නොව හෙළ කිරුළට, අධාර්මික රාජ්‍ය පාලනයකට ඉඩක් නැති බව, තම රුධිරයෙන් සපත කොට පෙන්වීය.
එදින පටන් මතු පරපුරට,සත් හැවිරිදි මද්දුම බණ්ඩාර වීර කුමරු කියා දුන්නේ කුමක්ද? මේ රටේ රාජ්‍ය පාලනය යුක්ති ධර්මය අනුව හරියට කරපල්ලා! යන හඬ නොවේද? එහි රැස් වූ, අනෙකුත් නිල ලත් නිලමේ වරුන් සහ ප්‍රභූ පිරිස් ඇතුළු සියලු වැසියන්ට ද එදින පටන්, මතු පරපුරට ද හඬ ගා කියා සිටියේ, යුක්ති ධර්මයට පටහැනි ලෙස රටේ රාජ්‍ය පාලනය කිරීමට, රජුට කිසිවෙක් උපකාර නො කරපල්ලා! යන හඬ නොවේ ද? ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින භූමියේ සිට ( ලංකාද්වීපයට) අපරාධ නොකරපල්ලා! යන හඬ නොවේද?
එසේ නම් යුක්ති ධර්මයට පටහැනි ලෙස, අධාර්මිකව, මේ ලංකාද්වීපය පාලනය කරන, කරවන සියලු ම දෙනා සහ ඒ ලෙසට අනුබල දෙන සියලු පුරවැසියනුත් සිහි තබා ගත යුතුව ඇත්තේ,
“අයියණ්ඩී බිය නොවන්න මැරෙන හැටි මම පෙන්වන්නම්” යන, සත් හැවිරිදි මද්දුම බණ්ඩාර වීර කුමරුන්ගේ, අභීත හඬ හමුවෙහි සහ හිස ගැසීමෙන් ගලා ගිය, පොළොව සිපගත්, ඒ වීර කුමරුන්ගේ රුධිරය හමුවෙහි දණින් වැටී සමාව ගත යුතු පුද්ගලයන් වන බවය.
එසේ නොවන්නේ නම්, “අපිදු මහ දක්ෂ කෙරුම් කාරයෝ; අපි දන්නවා! අපි තමයි හොඳටම කරන්න, දන්නේ, අපි තමයි හොඳටම කළේ” ය’යි කියන කරන, සිතන, තමාගේ ප්‍රතිරූපය මහත් උජාරුවෙන් උත්කංසනය කරන ඇත්තන් සැම දෙනා ම, වීර මද්දුම බණ්ඩාර කුමරුන් ඉදිරියේ අඟුටු මිට්ටන් වන බව කිව යුතු ය. ඔවුන්ගේ කියුම් කෙරුම් නිරුවත් වන බව ද කිව යුතු ය.

ඒ එදා වීර මද්දුම බණ්ඩාර ගැන
ය.
මේ මෙදවස පුදුම බණ්ඩාර ගැන ය. එසේත් නැති නම් පුදුම බණ්ඩාරලා ගැනය .
මොවුන් ද
“මැරෙනා හැටි මම පෙන්වන්නම්”
කියන සෙයකි. ඒ රටේ පාලනය පිළිබඳව කතා පැවැත්වීමේදී ය.
මෙසේ හඬ නැඟුම, පුදුම බණ්ඩාර නැමති පිරිසගේ ය .ඔවුන් මැරෙන සැටි පෙන්වන්නේ තමන් මැරී නොව. අනුන්ට මැරෙන්න සැලැස්වීමෙනි. නො එසේනම් ජනතාවගේ අධ්‍යාත්මයේ ගුණ ධර්ම මරා දැමීමට සෑම උපකාරයක් ම කරන, කරවන ලෙස කටයුතු කරමින් ය. ජාතියේ, බෞද්ධ ජීවන පැවැත්මේ, සිංහල කුල පදනමේ, විශේෂයෙන් සිංහල බෞද්ධ කුල පදනමේ හැදියාව සහ අධ්‍යාත්මික සාර ධර්ම මරා දැමීමට කටයුතු කරන කුමන්ත්‍රණකාරී වැඩ පිළිවලවල් ඇති කර දියත් කිරීමෙන් ය.
ඒ මෙදා ” පුදුම බණ්ඩාරලාගේ හැටිය.

2022 වසරේදී සුරාවෙන් සුරා බදු රුපියල් කෝටි 17 000 ක් ලාභ උපයා ඇති බවත් 2023 වසරේ රුපියල් කෝටි 21 700 ක ඉලක්ක ගත ආදායමක් අපේක්ෂිත බව මාධ්‍ය විසින් වාර්තා කර තිබිණි.
කෝටි 17 000 සුරාවෙන් ලාභ උපයන විට එම මුදලට එහි නිෂ්පාදන පිරිවැය ද එකතු වූ විට සුරාවට වියදම් වූ සමස්ථ මුදල ගෙවා ඇත්තේ දේශීය හා විදේශීය )ජනතාව විසිනි. මෙයින් බහුතර මුදල ස්වදේශික ජනතාවගේ ය. මෙම සමස්ථ මුදල, පුද්ගලිකව හෝ තම දරු පවුලේ සුභ සාධනයට යෙදවීමට තිබුණු මුදල් ය.
ඇතමෙක් සුරා නිෂ්පාදනය කරමින් ද සුරා අපනයනය කරමින් ද සුරා සැල් ඇති කර, සුරාව රට පුරා ව්‍යාප්ත කර, රටේ ජනතාව සුරාවට ඇබ්බැහි කර, දුසිල් බවට පත් කර, වැසියන්ගේ අධ්‍යාත්මික පණ නල මරා දැමීමට ක්‍රියා කරත්.
රාජ්‍ය මට්ටමින් “සුරා සැණකෙළියක්” පැවැත්වීමට සූදානම ඇති බව එක් පුගුලෙකු විසින් කියා තිබිණි.

බුදු රදාණෝ මංගල සූත්‍රයේ
” මජ්ජපානා ච සංඤ්ඤ්මො”
“ඒතං මංගල මුත්තමං”
මද්‍ය පානයෙන් වැලකීම ද
උත්තම මංගල කාරණය වන බව ද වදාළහ.
එසේ නම් සමබුදු දේශනාව අනුව මධ්‍ය පානය කිරීම අව මඟුලකි.
තථාගත බුදු රදහු

“ඉත්‍ථිධුත‍්තො සුරාධුත‍්තො අක‍්ඛධුත‍්තො ච යො නරො,
ලද‍්ධං ලද‍්ධං විනාසෙති තං පරාභවතො මුඛං.”
පරාභව සූත්‍රයේ වදාළහ.

යම් මිනිසෙක් ස්ත්‍රීධූර්ත (ලොල්)වූයේ සුරාධූර්ත (ලොල්) වූයේ සූදුවට ලොල් වූයේ ලද ලද දෑ වනසා ද එය පිරිහෙන පුඟුල්හුගේ දොරයි.” වදාළ දේශනාව අනුව යමෙක් සුරා පානය කරන්නේ ද ලද ලද දෙය විනාශයට හේතු වන දොරක් බව පැහැදිළි ය.

තථගත සම්බුදු රදහු
“පඤ‍්චිමා භික‍්ඛවෙ, වණිජ‍්ජා උපාසකෙන අකරණීයා. කතමා පඤ‍්ච:
සත්‍ථවණිජ‍්ජා, සත‍්තවණිජ‍්ජා, මංසවණිජ‍්ජා, මජ‍්ජවණිජ‍්ජා, විසවණිජ‍්ජා.
ඉමා ඛො භික‍්ඛවෙ, පඤ‍්ච වණිජ‍්ජා උපාසකෙන අකරණීයාති.” යි යනුවෙන්
(වණිජ‍්ජා සුත‍්තං අඞ‍්ගුත‍්තර නිකාය පඤ‍්චක නිපාත)
වදාළහ.
” මහණෙනි, උපාසුහු විසින් නො කටයුතු වෙළඳාම් පසකි. කවර වෙළඳාම් පසක් ද? යත්,
සත්ව හිංසා පිණිස ආයුධ වෙළඳාම, සත්ව වහල් වෙළඳාම, මස් වෙළඳාම (මස් පිණිස සතුන්), මද්‍ය වෙළඳාම (සියලු මත් පැන් හා මත් කාරක ද්‍රව්‍ය), විෂ වෙළඳාම, මහණෙනි. මේ වෙළඳාම් පස උවසුහු විසින් නො කටයුතු වෙළඳාම් පස ය.” යනු එහි සිංහල තේරුම ය.

තථගත සම්බුදු රජාණන් වහන්සේ ව්‍යග‍්ඝපජ‍්ජ සුත්‍රයෙහි
“එවං සමුප‍්පන‍්නානං ව්‍යග‍්ඝපජ‍්ජ භොගානං චත‍්තාරි අපායමුඛානි හොන‍්ති: ඉත්‍ථිධුත‍්තො හොති සුරාධුත‍්තො අක‍්ඛධුත‍්තො පාපමිත‍්තො පාපසහායො පාපසම‍්පවඞ‍්කො.”
(ව්‍යග‍්ඝපජ‍්ජ සුත්‍රය .අට‍්ඨකනිපාතො දුතියො පණ‍්ණාසකො ගොතමීවග‍්ගො)
යනුවෙන් වදාළ සේක.

“ව්‍යග්ඝපජ්ජය, මෙසේ උපන් භෝගයනට අපාය මුඛයෝ සතර දෙනෙක් වෙත්: ස්ත්‍රීධූර්ත වෙයි, සුරාධූර්ත වෙයි, අක්‍ෂධූර්ත වෙයි, පවිටු යහළුවන් ඇති පාපසහායයන් ඇති පවිටනට බෙහෙවින් නැඹුරු වූ වෙක් වෙයි.”
එහි තේරුම ය.
මෙහි සුරා ධූර්ත බව නම් මද්‍ය හෝ මත් ද්‍රව්‍ය සංඛ්‍යාවට යන සියල්ල ය.

වණිජ්ජා සූත්‍ර අටුවාවේ මජ්ජවණිජ්ජා හෙවත් මද්‍ය වෙළදාම විස්තර කොට ඇත්තේ

“මජ‍්ජවණිජ‍්ජාති යංකිඤ‍්චි මජ‍්ජං කාරෙත්‍වා තස‍්ස වික‍්කයො.”
යනුවෙනි.
“මජ්ජවණිජ්ජා යනු කිසියම් මද්‍යයක් තනා එය විකිණීමයි,”
යනු එහි තේරුම ය.!

බුදු රදුන්ගේ දේශනාව අනුව යමෙක් මද්‍යසාර නිපදවීමෙන්, මද්‍යසාර විකිණීමෙන්, හා මද්‍යසාර භාවිතා කිරීමෙන්, දුසිල් කමට, මෙලොව පරලොව පිරිහීමට, භෝග විනාශයට, දුප්පත් වීමට, දියුණුව විනාශ වීමට, සුගතිය වැසීමට, අපායට හෙවත් දුගතියට යෑමට, හේතු වන පාප කර්මයකි. අකුසල කරමයකි.
බුදු රදුන්ගේ දේශනාවට පිටින් ගොස්, බුදුරදුන්ගේ දේශනාව තුට්ටුවකට මායිම් නොකර, මද්‍යසාර නිපදවා මද්‍යසාර රටේ ව්‍යාප්ත කොට බීමට සලස්වා ජනතාව දුසිල් බවට පමුණුවා, අපාය සහායකයන් වී, රට පාලනයට ආදායම් ඉපයීමට ඇතමෙක් කටයුතු කරන්නාහ.
පුද්ගල දුෂ්චරියට ජනතාව ඇද දමන්නේ ය.

ඒ මේ පුදුම බණ්ඩාරලගේ හැටි ය!

දිනය 2020 අගෝස්තු 12 වෙනි දා ය. ස්‍ථානය මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික මගුල් මඩුව ය. කාර්ය 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසු නව රජයේ
අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ය.

තථාගත සම්බුදු රදුන්ගේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින දළදා මාළිගාව, තථාගත බුදු රදුන් උදෙසා ම පූජා වී ඇති ශුද්ධ භූමියකි. දළදා මාළිගාව තථාගත සම්බුදු රදුන් සන්තක ය. සම්බුද්ධ ශාසන සන්තක ය.
සම්බුද්ධ ශාසන සන්තක භූමි, සිද්ධස්ථාන, පැවතිය යුත්තේ සම්බුදු රදුන්ගේ අභිප්‍රාය පිණිස ම ය. බුදු රදුන්ගේ අභිප්‍රායෙන් බාහිරව, කිසිදු කටයුත්තක් ශාසන සන්තක භූමි තුල පැවතීමට ඉඩක් නැත. පැවැත්වීමට ඉඩක් නැත.

තථාගත සම්බුදු රදුන්ගේ අභිප්‍රාය පිළිබඳව, ත්‍රිපිටක ගත ධර්ම විනය අනුව පහත පරිදි කැටි කර දැක්වීම තථගතයන් වහන්සේගේ දේශනාවට පටහැනි නො වන බව අපගේ අදහස ය. එනම්-
” දාන, ශීල, භාවනා යන ත්‍රිවිධ පුඤ්ඤ ක්‍රියා සහ ශීල, සමාධි, පඤ්ඤා යන ත්‍රී ශික්ෂා යන සයාකාර ධර්ම දෙවි, මිනිසුන් වෙත එළවීමත්, එකී ධර්ම දෙවි මිනිසුන්ගේ චිත්ත සන්තානවල වඩවා ඒ තුලින් සත්වයා අපායෙන් මුදවා සුගතියට පැමිණවීම ත්, සසර ගමන නවතා නිවන් අවබෝධය කරවීම ත් පිණිස ය.”
බුද්ධ සන්තක බුදධ භූමියක් තුල බුදු රදුන්ගේ අභිප්‍රායට පිටින්, දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවි මිනිසුන් සහිත සත්ව ප්‍රජවෙහි කිසිවෙකුටත් ම ක්‍රියා කිරීමට, පැවතීමට ඉඩක් නැත.

යමෙක් තථගත දේශනාවට අනනුකූලව, තථාගතයන් වහන්සේගේ අභිප්‍රායට බාහිරව, කායික, වාචසික, මානසික, ක්‍රියා පවත්වන්නේ ද ආර්ය උපවාද කර්මය ද කර ගනී.
ආර්ය උපවාද කර්මය ආනන්තරිය පාප කර්මය හා සමාන අකුසල කර්මයකි.

බුදු රදුහු මිච‍්ඡා දිට‍්ඨිකම‍්ම සමාදාන සුත්‍රයෙහි

“දිට‍්ඨා මයා භික‍්ඛවෙ සත‍්තා කායදුච‍්චරිතෙන සමන‍්නාගතා වචීදුච‍්චරිතෙන සමන‍්නාගතා මනොදුච‍්චරිතෙන සමන‍්නාගතා, අරියානං උපවාදකා, මිච‍්ඡාදිට‍්ඨිකා මිච‍්ඡාදිට‍්ඨිකම‍්මසමාදානා. තෙ කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපන‍්නා.”
(ඛුද‍්දක නිකාය ඉතිවුත‍්තක පාළි, තික නිපාතො, තතිය වර්ගය- )
යනුවෙන් වදාළහ.

“මහණෙනි, කායදුශ්චරිතයෙන් යුක්ත වූ වාග්දුශ්චරිතයෙන් යුක්ත වූ මනෝදුශ්චරිතයෙන් යුක්ත වූ ආර්යයන්ට (බොරුවෙන්) චෝදනා කරන්නා වූ මිත්‍ථ්‍යාදෘෂ්ටික වූ මිත්‍ථ්‍යාදෘෂ්ටි හේතුවෙන් දැඩි කොට ගත් කර්ම ඇති සත්ත්‍වයෝ මා විසින් දක්නා ලදහ. ඔවුහු කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරුගති ඇති විවස ව වැටීම් ඇති නිරයෙහි උපදින්නාහු ය.”
යනු එහි තේරුම ය.

බුදු රදුන් විසින් , කාය දුෂ්චරිතය, වචී දුෂ්චරිතය, මනෝ දුෂ්චරිත, පිළිබඳව වදාරා නැවත් ආර්ය උපවාදය පිළිබඳව වදාරන ලද්දේ එතරම් ම එය බරපතල බැවිනි.
බුදු රදුන් අන්‍ය ඇතැම් සූත්‍රවල ද මේ සම්බන්ධව වදාරා ඇත.

ආර්ය උපවාදය යනු බුද්ධාදී ආර්ය උතුමන්ට විරුද්ධව දෙවන මතයක් දැරීම ය. (උප+වාද හෙවත් උපවාද ) උප යන උපසර්ග පදය නාමයකට හෝ ධාතුවකට යෙදීමෙන්, සාමන්‍ය තේරුම ගත කළ මුල් ස්වරූපයට වෙනස් වූ දෙවෙනි වූ , එසේත් නැතින්ම් මුල් ස්වරූපයෙන් බාහිර වූ යන අරුත් ගෙන දේ. වාදය යනු වචනය, මතය යන තේරුම ය.
මෙහි ආර්ය උපවාද යනු බුදු රදුන් ඇතුළු ආර්ය උතුමන්ගේ මතයට දෙවෙනි මතයක් ගැනීම, ඒ මතය මත පිහිටා වචන කීම, ආර්ය උපවාද කර්මය සිද්ධ වේ.
මේ සූත්‍රයට අරුත කියන පරමත්ථ දීපනී අටුවාවෙහි ආර්ය උපවාද කර්ම විස්තර කර ඇත්තේ මෙසේය.

“අරියානං උපවාදකාති බුද‍්ධාදීනං අරියානං අන‍්තමසො ගිහිසොතාපන‍්නානම‍්පි ගුණපරිධංසනෙන අභූතබ‍්භක‍්ඛානෙන උපවාදකා අක‍්කොසකා ගරහකා.”

“අරියානං උපවාදකා යනු බුද්ධාදී ආර්යයන්ට යටත් පිරිසෙයින් සෝවාන් වූ ගිහි අයට ද ගුණ නැසීමෙන් බොරු චෝදනා කිරීමෙන්, දොස් කියන්නා වූ ආක්‍රෝශ කරන්නා වූ ගරහන්නා වූ සත්ත්වයෝ.” යි
යනු එහි තේරුම ය.

වචනයෙන් ද සිතින් ද දුෂ්චරිත වීම සහ මිච්ඡාදිට්ඨික බවින් යුතු වීම ම බුදු රදුන් ඇතුළු ආර්යයන්ට විරුද්ධ වීම බැවින් ආර්ය උපවාද කර්මය සිද්ධ වේ. එය ඉතා බරපතල ආනන්තරිය පාප කරමයක්, අකුසලයක් බව තත් අටුවාව විස්තර කරන්නේ මෙසේය.

“එත්ථ ච වචීමනොදුච‍්චරිතග‍්ගහණෙනෙව අරියූපවාදමිච‍්ඡාදිට‍්ඨීසු ගහිතාසු පුනවචනං මහාසාවජ‍්ජභාවදස‍්සනත්‍ථං නෙසං. මහාසාවජ‍්ජො හි අරියූපවාදො ආනන‍්තරියසදිසො

“මෙහි වචී-මනෝ දුශ්චරිත ගැනීමෙන් ම අරියූපවාදය, මිථ්‍යා දෘෂ්ටිය ද ගත්කල්හි ද එම (අරියූපවාද ආදිය සිදු වේ.) නැවත කීම (ඒවා) මහාසාවද්‍ය බව දැක්වීම පිණිසය. ඒවා අතරින් ආර්ය උපවාදය මහාසාවද්‍යය ආනන්තරිය සමානය. “
යනු එහි තේරුමය.

2020 නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම පිළිබඳව විමසා බැලීම වටී. 2020 අගෝස්තු 12 වෙනි දින ශ්‍රී දළදා මාලළිගාවේ ඓතිහාසික මගුල් මඩුවේදී නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම සිදු වුනි.
දිවුරුම් දුන් අමාත්‍ය මණ්ඩලයෙහි ධීවර ආමත්‍ය ධූරය සහ විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය සහ ඉස්සන් ඇති කිරිම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ධූරය ද විය. එදින එම ආමාත්‍ය ධූරවල ද දිවුරුම් දීම සිදු විය.

ශ්‍රී දළදා මාළිගාවෙහි, සම්බුදු රදුන් සන්තක බුද්ධ භූමියෙහි ප්‍රාණඝාතය කිරීමට ප්‍රතිඥා දීම පුදුම සහගතය. තථාගත බුදු රදුන්ගේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ අමතක වූ සෙයකි.
තථාගත ශාරීරික ධාතුන් වහන්සේ ජීවමාන සම්බුදු රදුන් ම බව, සමනතපාසාදිකා විනය අටුවාවෙහි දක්වා ඇත. මහ මහිඳු මහරතුන් වහන්සේ සහ දේවානම්පිය තිස්ස මහ රජුන් අතර ඇති වූ සංවාදය අටුවාවෙහි දක්වා ඇත්තේ මෙසේය-

“අථායස‍්මා මහාමහින්‍දො වුත්‍ථවස‍්සො පවාරෙත්‍වා කත‍්තිකපුණ‍්ණමායං උපොසථදිවසෙ රාජානං එතදවොච – “මහාරාජ, අම‍්හෙහි චිරදිට‍්ඨො සම‍්මාසම‍්බුද‍්ධො, අනාථවාසං වසිම‍්හ, ඉච‍්ඡාම මයං ජම‍්බුදීපං ගන‍්තු”න‍්ති. රාජා ආහ – “අහං, භන‍්තෙ, තුම‍්හෙ චතූහි පච‍්චයෙහි උපට‍්ඨහාමි, අයඤ‍්ච මහාජනො තුම‍්හෙ නිස‍්සාය තීසු සරණෙසු පතිට‍්ඨිතො, කස‍්මා තුම‍්හෙ උක‍්කණ‍්ඨිතත්‍ථා”ති? “චිරදිට‍්ඨො නො, මහාරාජ, සම‍්මාසම‍්බුද‍්ධො, අභිවාදනපච‍්චුට‍්ඨානඅඤ‍්ජලිකම‍්මසාමීචිකම‍්මකරණට‍්ඨානං නත්‍ථි, තෙනම‍්හ උක‍්කණ‍්ඨිතා”ති. “නනු, භන‍්තෙ, තුම‍්හෙ අවොචුත්‍ථ – ‘පරිනිබ‍්බුතො සම‍්මාසම‍්බුද‍්ධො’”ති. “කිඤ‍්චාපි, මහාරාජ, පරිනිබ‍්බුතො;”
(හේවාවිතාරණ මුද්‍රණය පිට 48,49)

ඉක්බිති ආයුෂ්මත් මහා මහින්ද මහා ස්ථවිරයන් වහන්සේ වුසූ වස් ඇති සේක් වස් පවරා ඉල්මස මැදි පොහොය දිනයෙහි රජු අමතා ‘මහරජ! අප විසින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දක්නා ලද බොහෝකල් ඇත්තාහ. අපි අනාථ වාසයෙන් විසුම්හ, එහෙයින් දඹදිව යන්නට කැමැත්තම්හ’යි කීහ. එකල්හි රජතෙමේ ‘ස්වාමීනි! ඔබවහන්සේලාට සිවුපසයෙන් උපස්ථාන කරමි, මේ මහජනයාද ඔබ වහන්සේලා නිසා තිසරණයෙහි පිහිටියේය, කුමක් හෙයින් ඔබවහන්සේලා උකටලී වූවහුදැ’යි විචාළේය. ‘මහරජ! අප විසින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බොහෝ ඈත කල්හි දක්නා ලදහ. අපට උන්වහන්සේට වැඳීමට දැක නැගීසිටීමට ඇඳිලි බැඳීමට සැලකිලි දැක්වීමට තැනක් නැත්තේය, එහෙයින් අපි උකටලී වූම්හ’යි වදාළ සේක. ‘ස්වාමීනි! ඔබවහන්සේලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවියාහු’යි වදාළාහු නොවහුදැ’යි රජතෙමේ ඇසීය. ‘මහරජ! අප විසින් කියන ලද්ද සත්‍යය, එහෙත් උන්වහන්සේගේ ශාරීරික ධාතුහු ඇත්තාහ’යි වදාළ සේක.
යනු එහි සිංහල තේරුම ය.

මේ විස්තර විවරණය අනුව ජීවමාන බුදුරදුන් වැඩ හිදිනා භූමියෙහි හිදිමින් ප්‍රාණවද කිරීමට දිවුරුම් දීම ආර්ය උපවාදය ඇති කර ගැනීමකි.
ධීවර යන වදනට සම්බන්ධ කිසිවක් මාළුන්ගේ සැප දුක විමසීම පිණිස නො පවතී.
පඤ්ච ශීලයෙහි සහ දස කුසල්වල පළවන සික පදය සිඳීමට බුදු රදුන් සන්තක ශුද්ධ භූමිය යොදා ගැනීම, ලංකා ඉතිහාසයට එක් වූ අවසනාවන්ත සිදු වීමක් බව කිව යුතු ය. සුරා සම්බන්ධ ආයතන හිමි අමාත්‍ය ධූරය පිළිබදව ද කිව යුත්තේ මේ ලෙස ය. එහි ප්‍රතිවිපාක ද මෙලොව නො ලැනුණා යැ’යි නො කිය හැක.

ඇත්මෙක් නැගුම සඳහා කුකුළන් බෙදත්. ඌරු පැටවුන් බෙදත්. සතුන්ගේ මස් නගා අපාගත වෙත්.
රටේ ආර්ථික සවියත් අධ්‍යාත්මික බලයත් සිඳලූ ඒ මේ පුදුම බණ්ඩාරලාගේ හැටි ය!

More….