ආදරය ප්‍රේමය ලිංගිකත්වය අඩු වැඩි වශයෙන් සතුන්ට මෙන්ම මනුෂ්‍යයන්ට ද සදාකාලිකවම අවශ්‍ය වෙනවා.නමුත් මනුෂ්‍යාගේ ආදරය සතුන් අතර ඇති ආදරයට වඩා ආධ්‍යාත්මික දාර්ශනික, සාහිත්‍යමය වශයෙන් ඔප් නැංවෙමින් වෙනත් මානයකින් සමාජගතවන ලෞකික මෙන්ම ලෝකෝත්තර බවකින් ද පරිපූර්ණ වී ඇති සුවිශේෂී වූ ප්‍රපංචයක්.අවාසනාවකට වාගේ මිනිසාගේ ආදරයට ඊනියා ශිෂ්ටාචාරයන් එබිකම් කිරීම ඇරඹුන දා සිට ආගම ජාතිය වර්ගය හා කුලය අනික් හැම නිර්ණායකයකට වඩා වැදගත් යැයි සලකන්නට පුරුදුවිම නිසා ආදරයේ ඇති ගුණාත්මක වටිනාකම දිනපතාම පිරිහෙමින් පවතිනවා.
හංස යුවලක ආදරය උදාහරණයක් ලෙස ගතහොත් වසර මිලියන ගණනක් තිස්සේ එකම සහකරුවෙක් සහ එකම සහකාරියක් සමග ජීවිත කාලයක් පුරා වෙන් නොවී ජීවත් වන ආකාරය දියුණුයි කියන මිනිසුන්ට හිතාගන්නට වත් බැරිය.මීට ප්‍රධානම හේතුව සතුන් අතර වාණිජත්වයක් නොතිබීමයි. ඔවුන් අතර සියලුම ගනුදෙනු ස්වභාවයේ එන නීතිරීති හා පද්ධති වලට අනුකූලව සිදු කෙරේ.විවාහයේදී දෑවැදි සොයන සමාජයක් විවාහය භාණ්ඩ මිලදී ගැනීමක් හෝ එම භාණ්ඩ වලට කරන ගෙවීමක් ලෙස සලකමින් පරිභෝජනයේදී පමණක් ආදරය නැමැති ලේබලය අලවති.දික්කසාදය දින ඉකුත් වූ ආදරයක නටබුන් අතරට එක්වන විට, දෙවන හෝ තෙවන විවාහයන්වල ගුණාත්මක බව ලැබෙන ආදායම අනුව තීරණය කිරීමට මිනිසා පෙළඹී ඇත.
ගරාවැටුණු ගෙයක සුන්බුන් ඉවත් කර, එම ස්ථානයේ අලුතින් ගෙයක් ඉදි කරන්නා සේ, දෙවැනි විවාහයේ දී අලුත් ආදරයක් පිළිබඳ සිතුවිල්ලද නිදන කාමරයට අලුත් ඇඳක් මිළදී ගැනීම වැනි දෙයකින් ආරම්භ කිරීමට සැලසුම් කිරීමද අලුත් දෙයක් නොවේ.නිවස අලුත් වුවත් නිදන කාමරේ ඇඳ අලුත් වුවත්, සහකරුවා හෝ සහකාරිය ගෙන් එක් අයෙක් අලුත් විය හැකි වුවද, ආකල්පමය වශයෙන් ජීවිතයේ කිසිම වෙනසක් සිදු වී නැත.ආශාවන් මුදුන් පමුණුවා ගැනීම හැර ජීවිතයට අලුත් දෙයක් එකතු වී නැත. ආදරයට සාපේක්ෂ වටිනාකමක් පමණක් ලැබෙන සමාජයක පුද්ගල විමුක්තිය යනු තවත් එක වංචනික උත්සාහයක් පමණයි.-
එඩ්වර්ඩ්-15.03.2023