Sat. Jan 18th, 2025
Spread the News

මලික් සමරවික්‍රම මහතා ඉවත් කළ යුත්තේ ඇයි?

Posted on April 11th, 2018

ලසන්ත වික්‍රමසිංහ ලේකම් තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය

තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය විසින් අද දහවල් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධ ප්‍රවෘත්තිය.

අත්සන් කරන ලද සිංගප්පූරු-ශ්‍රී ලංකා ගිවිසුම මඟින් ශ්‍රී ලංකාව පාවාදීමකට ලක් කර ඇති බව තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය පෙන්වා දෙයි. සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළදාම අමාත්‍යවරයා දැනුවත්ව රට පාවා දීමක නිරත වන නිසා ඔහුව එම තනතුරුන් පහකරන ලෙස ජනාධිපතිතුමාගෙන් ලිඛිත ඉල්ලීමක් සිදු කළ බව එම සංගමය පවසයි.

එහිදී අදහස් දැක්වූ එම සංගමයේ ලේකම් ලසන්ත විකමසිංහ මහතා..

වීඩියෝව

https://www.youtube.com/watch?v=KJu1Ql_MLmE

සිංගප්පූරු-ශ්‍රී ලංකා ගිවිසුම ගිවිසුම නිසා සිංගප්පූරුවට වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 10 ක බදු මුදලක්‌ ඉතිරි වන බව සිංගප්පූරු වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රකාශයක සඳහන් විය. එහි අර්ථය වන්නේ, සිංගප්පූරු භාණ්‌ඩ සඳහා ආනයනික බදු වශයෙන් ලංකාවට ලැබෙන මුදලින් අවම වශයෙන් රුපියල් මිලියන 1500 ක බදු ආදායමක්‌ වාර්ෂිකව මෙම ගිවිසුම නිසා රජයට අහිමි වූ බවයි. ඒ වෙනුවට ලංකාවෙන් සිංගප්පූරුවට අපනයනය සඳහා ලැබුණේ මොනවාද යන්න සලකා බලන විට මෙම නිලධාරීන් කෙතරම් බරපතළ පාවා දීමක නිරත වූයේ දැයි පැහැදිලි වේ. සිංගප්පූරුව ආනයනික බදු ඒකපාර්ශවිකවම ඉතා අවම මට්‌ටමක පවත්වා ගන්නා රටකි. නව ගිවිසුම මගින් ශ්‍රී ලංකාවට බදු සහන ලැබුණු භාණ්‌ඩ වලින් 99%ක්‌ම සියලුම රටවල් සඳහා සිංගප්පූරුව විසින් මින් පෙරත් ආනයනික බද්දෙන් නිදහස්‌ කර තිබූ භාණ්‌ඩමය. එසේම මෙම ගිවිසුම තුළ, යම් භාණ්‌ඩයක අගයට සිංගප්පූරුව තුළදී එකතු කළ අගය මැන බැලීම (Rule of Origin) සඳහා වන කොන්දේසිය ඉතාම දුර්වල ලෙස අන්තර්ගත කර ඇත. ඒ අනුව සිදුවන්නේ වෙනත් රටවල නිපදවන භාණ්‌ඩද සිංගප්පූරුව හරහා ශ්‍රී ලංකාවට බදු රහිතව ඇතුළු වීමයි. මෙය දේශීය කර්මාන්තකරුවාට එල්ලවන මරු පහරක්‌ වනු ඇත.

රජය විසින් ළඟදීම එට්කා ගිවිසුම අත්සන් කරන්න සූදානම් වී සිටියි. එම ගිවිසුමෙන් වාසි ලැබෙන බව ප්‍රකාශ කළ ආචාර්ය හර්ෂ ද සිල්වා, මහාචර්ය රොහාන් සමරජීව ආදී ආර්ථික විශේෂඥයන් තම සංගමය විසින් ප්‍රකාශයට පත්කළ ‘එට්කා නෑයෙක්ද? ආක්‍රමණිකයෙක්ද?” කෘතිය පළ වීමෙන් පසුව සත්‍ය කරුණු එළිදැක්වුණු නිසා එට්කා ගිවිසුම පිළිබදව කතා කිරීම නතර කර ඇත. නමුත් සංවාදයක් නැති වුවද දුෂිත පුද්ගලයන් යොදා ගෙන එම කටයුත්ත සමාජයට හොර රහසේ සිදු කරගෙන ගොස් දැන් අවසානයට ළඟා වී ඇත.

රජය ආර්ථික ගිවිසුම් වලට එළැඹෙන්නට උත්සාහ කරන්නේ ඉන්දියාව, චීනය සහ සිංගප්පූරුව යන අපට වැඩිම වෙළද හිඟියන් ඇති රටවල් සමඟයි. මෙවැනි අවාසිදායක ගිවිසුම් නිසා වෙළද හිඟය වැඩි වී ඉදිරියේදී විශාල ආර්ථික ගැටලුවල්ට මුහුණ දීමට සිදුවනු ඇත. රටින් වැඩිපුර පිටවන මුදල යළි කෙසේ හෝ රට තුළට ගෙන්වා ගැනීම්ට සිදු වේ. ඒ සඳහා මැදපෙරදිගට මවුවරුන් යැවීම, ජාතික සම්පත් විකුණා දැමීම හා විදේශීය ණය ලබා ගැනීම් වැඩි කරන්නට සිදු වනු ඇත. මෙය මේ රට විනාශ කිරීමේ පැහැදිළි කුමන්ත්‍රණයකි. මලික් සමරවික්‍රම මහතා මෙහිදී විදේශීය බලවේගවල ඉත්තෙකු ලෙස යොදා ගැනේ. එසේම මලික් සමරවික්‍රම මහතාට මෙවැනි වගකීමක් දැරීමට අවශ්‍ය  සුදුසුකමක් නැත. ඔහු සතුව ප්‍රමාණවත් අධ්‍යාපන සිදුසු ක්අමක් නැති අතර මහජන නියෝජිතයෙකුද නොවේ(ජාතික ලයිස්තුව) . ඔහුට දේශපාලනය කිරීමට ඇති එකම සුදුසුකම පාසල් කාලයේ පටන්  රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ සහකරු වීම පමණකි. මේ කාරණා මත නම් රටේ අනාගත පරපුරේ ඉරණම විසදෙන්න්නේ ඒ සඳහා ඉඩ නොදිය යුතුය. 

එසේම සිංගප්පූරු ගිවිසුම සම්බන්ධයෙන් සහ නව වෙළඳ ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය ලබා ගැනීමෙදී මලික් සමරවික්‍රම අමාත්‍යවරයා ජනාධිපතිතුමාව නොමඟ යවා ඇත.

ජනාධිපතිතුමා විසින් මලික් සමරවික්‍රම මහතා එම අමාත්‍යාංශයෙන් ඉවත් කළ යුතු අතර මේ සියලු දුර්ධාන්ත ක්‍රියාවන් සඳහා මැදිහත් වී ඇති අමාත්‍යාංශ ලේකම් චාන්දනී විජේවර්ධන මහත්මියද එම තනතුරෙන් පහ කළ යුතුය. එසේම දූෂිත එට්කා සාකච්ඡා කණ්ඩායමද විසුරුවා හැරිය යුතුය. නැතහොත් මේ පාවාදීම් හමුවේ ජනාධිපතිතුමාද බරපතල අර්බුදයකට ලක්වීම වැළැක්විය නොහැකිය.

එහිදී අදහස් දැක්වූ සංගමයේ සභාපති කපිල පෙරේරා මහතා.

වීඩියෝව

https://www.youtube.com/watch?v=kOwKauF7rZs

පසුගිය අප්‍රියෙල් දෙවෙනිදා අතිගරු ජනාධිපති තුමාට ලිපියක් යොමුකරමින් තොරතුරු තාක්ෂණ වෘත්තීය වේදීන්ගේ සංගමය ලෙස අපි පෙන්වා සිටියේ සංවර්ධන උපායමාර්ග සහ අන්තර්ජාතික වෙළඳාම පිළිබඳ අමාත්යංශය අක්‍රමිකතා රාශියක් පසුගිය කාලය තුලසිදුකොට ඇති බවයි. 

එහෙයින්ම මලික් සමරවික්‍රම ඇමති තුමා, අමාත්‍යංශ ලේකම් චාන්දනී විජේරත්න මහත්මිය එම අමාත්‍යංශයෙන් ඉවත් කොට වෙළඳ ගිවිසුම් පිලිබඳ සාකච්ඡා කණ්ඩාම විසුරුවා අමාත්‍යාංශයත් එම සාකච්ඡා කණ්ඩාමත් ප්‍රතිසංවිධානය කරන මෙන් ඉල්ලා සිටියා.

මෙහිදී මූලික වශයෙන් ආකාර 4ක අක්‍රමිකතා සිදුවී පවතිනවා

  1. ජාත්‍යන්තර වුවමනාවන්ට අනුකූලව කටයුතු සිදුවීම.
    1. ඇමරිකානු උපදේශකයන් 3දෙනෙකුගේ උපදෙස් වලට අනුකූලව සංවර්ධන උපායමාර්ග සහ අන්තර්ජාතික වෙළඳාම පිළිබඳ අමාත්‍යංශය සිය කටයුතු මෙහෙයවයි.
    2. සිගප්පුරුව සමග වෙළඳ ගිවිසුමට ඔන්න මෙන්න කියා තිබියදී, ලංකාවේ සාකච්ඡා කණ්ඩාමේ කිහිපදෙනෙකු, සිංගප්පූරු සාකච්ඡා කණ්ඩායමේ ප්‍රධානීන්ගෙන් පුහුණුවක් ලැබීමට පිටත් කිරීම, අමනෝඥ ක්‍රියාවකි. වෙළඳ ගිවිසුම් පිලිබඳ පුහුණුවක් ලබාදීමට තවත් ඕනා තරම් රාජ්‍යයන් තිබියදී, අදට සාකච්ඡා පවත්වන රටක සාකච්ඡා කණ්ඩායමේ අයවලුන්ගෙන් පුහුණුව ලැබීම අනුමත කිරීම පැහැදිලි අක්‍රමිකතාවකි.
    3. නවසීලන්ත ජාතිකයෙකු ලවා අන්තර්ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් සකස් කිරීමට උත්සාහ දැරීම, මහබැංකු අධිපති කම සිංගප්පුරු වැසියෙකුට පැවරීමට වඩා දෙවැනි නොවේ. නවසීලන්ත පුරවැසිභාවය හිමි ආචාර්ය රවී රත්නායක Bridging the Gap නමැති එන් ජීඕ ආයතනයේ සාමාජිකයෙකි. එම ආයතනය හරහා මේ පුද්ගලයා ASEAN සංගමයේ සාමාජික රටවලට ශ්‍රී ලංකාවට භාණ්ඩ අපනයනය සඳහා පෞද්ගලික උපදේශකයෙකු ලෙසද කටයුතු කරයි. සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳාම අමාත්‍යාංශයවිසින් ශ්‍රී ලංකාවට ආනයනය කරන භාණ්ඩවලින් බදු සහන ලබාදෙන භාණ්ඩ ලයිස්තුව සකස් කිරීමේ වගකීම මොහුට ලබාදීම ඉබ්බා දියේ දැමීමකි. පිටරටවල වුවමනාවලට සේවය කරමින් වැටුප් ලබන අතරම ඒ රටවලව අවශ්‍ය පරිදි මෙරට තුළ වැඩ කරනවාටදෙනවාට අපේ බදු මුදලින්ද මේ දූෂිතයෝ වැටුපක් ලබති.

නිවැරදි ක්‍රමවේදයෙන් පටහැනිව සිදුවන සාකච්ඡා

  1. මෙම කිසිදු ගිවිසුමක් සම්බන්ධව ශක්‍යතා අධ්‍යයනයක් සිදුකොට නොමැති අතර, එම ගිව්සුම් මගින් රටට සිදුවන අවාසි ගණන් බලන්නේද ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුවය.
  2. පැහැදිලි ජාතික ප්‍රතිපත්ත්යක් නොමැති බවත්, එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරවන ආයතන සහ ක්‍රමවේදයන් නොමැති බවත්, ඒ සඳහා අමාත්‍යංශය අවංක උත්සහයක් නොදරීමත් මෙහිදී මතුව පෙනෙයි
  1. ආර්ථික වශයෙන් පාඩු සිදුවන ගිවිසුම් කරා එළඹීම.
    1. සිංගප්පුරු ගිවිසුමේ අලාභය රජය විසින් පවා පිළිගෙන ඇති අතර විද්වතුන් බොහෝදෙනෙකු පෙන්වා දී තිබෙයි.
  2. බැදීයාවන් පිලිබඳ ගැටුම් ඇතිකරන පත්වීම
    1. සිය හදිසි අභාවය සිදුවන තෙක්ම එට්කා ගිවිසුමේ සහ චීන-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමේ ප්‍රධානියා වශයෙන් කටයුතු කර ඇත්තේ ආචාර්ය සමන් කැලේගමයි. ඔහු එසේ කටයුතු කර ඇත්තේ බහුජාතික සමාගමක ශ්‍රී ලංකා ශාඛාවේ සභාපතිවරයාවශයෙන් කටයුතු කරන අතරය. එම බහුජාතික සමාගම විසින් ප්‍රධාන වශයෙන් සිදු කරන්නේ ඉන්දියාවේ සහ චීනයේ නිපදවන භාණ්ඩ මෙරටට ආනයනය කර අලෙවි කිරීමය. එවැනි සමාගමක සභාපතිවරයෙක් ආනයනික බදු සහන ලබා දෙන භාණ්ඩලැයිස්තුව තීරණය කෙරෙන ගිවිසුමක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන කණ්ඩායමක ප්‍රධානියා ලෙස පත් කිරීම ඉතා පැහැදිලිවම බැදියාවන් අතර ගැටුමක් නිර්මාණය කිරීමකි.
    2. කැලේගමගේ අභාවයෙන් පසුව එම තනතුර සඳහා පත් කළ කේ. ජේ. වීරසිංහ සම්බන්ධ කාරණය වඩාත් ජුගුප්සාජනකය. කේ. ජේ වීරසිංහ මෙම ආර්ථික ගිවිසුම් සඳහා සාකච්ඡා කණ්ඩායමේ සාමාජිකයකු වශයෙන් කටයුතු කරන අතර ඒකාබද්ධ ඇඟලුම්සංගම් සංසඳයේ (Apparel Association Forum – JAAF) උපදේශකයෙකු වශයෙන් “වැටුපක්” ලබාගත්තේය. ඇඟලුම් නිෂ්පාදනය හෝ ඇඟලුම් වෙළඳාම සම්බන්ධයෙන් හෝ ප්‍රවීණයකු නොවූ වීරසිංහ ඊනියා උපදේශකයෙකු ලෙස ඉහළ වැටුපක් එම ආයතනයෙන්ලබාගත්තේ කෙසේද යන්න අනෙකුත් දේශීය නිෂ්පාදකයන්ගේ ඉරණම සමඟ බැදී පවතින්නකි. වීරසිංහ මහතා කොතෙක් උත්සාහ දැරුවත් මෙම ඇඟලුම් කෝටාව ඉවත් කිරීමට ඉන්දියාව තවම එකඟ වී නොමැති වීම මඟින් සිය කේවල් කිරීමේ බලය උපරිමමට්ටමකට පවත්වා ගැනීමට ඉන්දියාව සමත් වී තිබේ. වීරසි‍ංහට එය ඉටු කරගැනීමට නම් ඉන්දියවට අවශ්‍ය ඉන්දියානු භාණ්ඩ වැඩි ප්‍රමාණයක් සඳහා ශ්‍රී ලංකාවේදී බදු සහන ලබාදීමට සිදුවේ.  ඒ මඟින් සිදු වන්නේ ජනාධිපතිතුමා රැක ගත යුතු යයි පවසනදේශීය නිෂ්පාදකයා විනාශ වීමයි. කේ. ජේ. වීරසිංහ  ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසඳයෙන් ලැබුවේ වැටුපක්ද අල්ලසක්ද යන්න තීරණය කිරීම එතරම් අපහසු නොවේ.
    3. ආචාර්ය රවි රත්නායකගේ පත්වීම සම්බන්ධයෙන්ද පෙර සඳහන් කල පරිදි බැදීයාවන් පිලිබඳ ගැටුම් ඇතිකරයි

සංවර්ධන උපායමාර්ග සම්බන්ධ අමාත්යංශය මගින් රටේ සංවර්ධනය කෙරෙහි සිදු ඇති මෙහෙවරක් වීද? අපගේ විශ්වාසයේ හැටියට පක්ෂ ප්‍රතිසංවිධානය කරන යුගයක ඊට මත්තෙන් කලයුත්තේ මෙවන්වූ අක්‍රමිකතා සහිත අමාත්‍යංශයන් ප්‍රති සංවිධානය කිරීමයි. 

ස්තූතියි

ලසන්ත වික්‍රමසිංහ

ලේකම්

තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය

Protected by Security by CleanTalk