කෝවිඩ් නිසා ජීවිතේ ගොඩක් දේ මගහැරුනා. ඒ මගහැරුනු ඒවා අතරින් ගොඩක්ම මගහැරුනදේ කියලා මට දැනෙන්නේ අම්මයි අප්පච්චියි බලන්ඩ යන්ඩ නොලැබුන එක. තරුණ කාලේ සිංහල සිංදුවක් ඇහුනත්, English සිංදුවක් ඇහුනත් ඒ හැම සිංදුවක්ම ඇහුනේ යොවුන් ආදරේට ලියපු සිංදු විදිහටයි. වයසට යනකොට ඒ සිංදු ඇහෙන්නේ ඈත රටක වයසට ගිය මවක් සහ පියෙක් එයාලාගේ පොඩි දුවට කියන සිංදු වගෙයි. කාලයත් එක්ක ජීවිතේ නොයෙක් හැගීම සහ අත්දැකීම් අපිට කොච්චර වෙනස් විදිහට දැනෙන්නේද කියලා බලපුහාම හරි පුදුමයි නේද කියලා මට අනේක වාරයක් හිතෙනවා. ඒ උනාට කෝවිඩ් නිසා පොඩි පොඩි වාසිත් උනා. කෝවිඩ් නිසා නුවර පෙරහැරත් හතර දේවාලත් එකට එක කරලා ගෙදර ඉදන්ම ඔක්කොම internet එකෙන් බලාගන්ඩ පුලුවන් program එකක් ගියා. ඒ පෙරහැරත්, දේවාලත්, නුවර වීදිත් දකිනකොට මගේ හිත මගේ පුංචි කාලෙ සිදුවීම් කීපයක ගෙනගියා.
මම පහේ ශිෂ්‍යත්වට ලීවේ ධර්මරාජ primary එකේ. මට තාමත් මතකයි අම්මයි අප්පච්චියි මාව උදේන්ම එක්ක ගිහින් මාලිගාවට මල් පූජා කරලා නාථ දේවාලෙටත් පඩුරු දාලා තමා විභාගයට එක්ක ගියේ. පිං පෙටිටියට පඩුර ටාන් ගාලා හොද සද්දෙට වැටුන නිසා මම හිතුවා ඉන්න දෙවියන්ට ඒක ඇහිලා මට අනුකම්පා කරලා මාව පාස් කරයි කියලා. මට ඔය ශිෂ්‍යත්වය පාස් වෙන්ඩ ඕන කම තිබ්බේ අපේ අම්මාට තිබ්බ බයට. අම්මා ඉස්සර ටවුමට ගිහාම සීවලී පොත් කඩෙන් ශිෂ්‍යත්ව පොත් අරන් අප්පච්චිට පෙනෙන්නේ නැතිවෙන විදිහට කාර් එකේ කාපට් එක යට හන්ගනවා. අප්පච්චි අපිට කීවේ, “අනේ මන්දන්නෑ අපේ කාලේනම් මෙහෙම tuition කියලා දෙයක් තිබ්බෙත් නෑ, අපි ඔච්චර පාඩම් කරෙත් නෑ. ඔහොම පාඩම් කරොත් මේ ලමයිට පිස්සු හැදෙයි” කියලයි. ඉතිං අම්මා හොරෙන් හොරෙන් මට පොත් ගෙනත් කොයිවේලේත් ඉගැන්නුවා. ඉස්කෝලේ ඇරිලා එනකොට අම්මා මට ශිෂ්‍යත්ව papers හදලා, හරියට time කරලා, මට ඒවාට ලියන්ඩ කියනවා. ලංකාවේ පහේ පන්තියේ ලමයි එකපාරනේ ශිෂ්‍යත්වට ලියන්නේ. ඒ උනාට මම වෙන්ඩ ඇති ඒ විභාගෙයට තිස් හතලිස් ගනනක් ලියපු ලංකාවේ එකම ලමයා.
මට මතකයි එදිරිවීර සරස්චන්ද්‍ර මහතාගේ මනමේ නුවර Anthony’s College එකට ඇවිත් අප්පච්චිට tickets හම්බ වෙලා තිබ්බා. මේ සිද්දිය උනේ ශිෂ්‍යත්වට දවස් කීපයකට කලින්. ඔන්න ඉතින් අප්පච්චියි, අයියයි, අක්කයි මනමේ බලන්ඩ යන්ඩ ලැහැස්ති වෙලා, අප්පච්චි අම්මාගෙන් අහනවා “ඇයි මනමේ බලන්ඩ යන්ඩ එන්නේ නැද්ද?” කියලා. අම්මා මට එදත් සූපුරුදු පරිදි papers හදලා ඔක්කොම ලැහැස්ති කරගෙන හිටියේ. මම හිතන් හිටියේ මනමේ මාර්ගයෙන් practice test නොකර ගෙදරින් පැනගන්ඩ. මම හිතපු විදිහට වැඩේ සිදු උනේ නෑ. අම්මා අප්පච්චිට කීවේ, “ඕන කෙනෙක් ඕන මනමයක් නටාගන්ඩ, මේ ලමයා යන්නේ නෑ.” කියලා.
මම ඉතින් ගෙදර ඉදන් night class! නාථ දේවාලේ පංසල කියන්නේ මට හොදට පුරුදු තැනක්. ධම්මාලෝක හාමුදුරුවෝ ඉන්න කාලේ අප්පච්චි හරියට පංසලට ගියා. ඒ ගියේ ඉතින් රට ජාතිය ආගම වෙනුවෙන් විප්ලව කරන්ඩ සාකච්ජා කරන්ඩ. අප්පච්චි එක්ක මම නාථ දේවාලේට ගිහාම ඉස්සරහා කෑල්ලේ තියෙන බංකුවක වාඩි වෙලා පංසලේ ඉන්න බලු පැටව් දිහා බල බලා ඉන්නවා. ඉදහිටලා මදුරුවෝ කීපදෙනෙකුත් තලනවා. Internet එකේ ගිය program එකේ බුදු මැදුරයි බෝ ගහයි දැක්කාම මට මතක් උනේ අම්මා එක්ක ඒ බෝ ගහට බෝදිපූජා කරපු දවස්. අයියා OLs වලට ලියපු දවස් අටේම අම්මා මහින්ද හාමුදුරුවෝ එක්ක බෝදි පූජා කරලා කීවේ අයියා ඉතාමත්ම ඉහලින් පාස් වේවා කියලයි. අය්යා හැමදාම වගේ පංතියේ එක, දෙක, හෝ තුන වගේ උන නිසා අයියාට D අටක්ම ලැබෙයි කියල අම්මා හිතුවා. හිතපු විදිහට D අටක් නොලැබුන නිසා අම්මා අයියාගේ හදහන බලවාගත්තා. ගෙඩිගේ විහාරේ චන්දානන්ද හාමුදුරුවෝ ඒක බලලා කීවේ අයියාට රාහුගේ අපලේ කියලයි. ඉතිං අම්මා මහින්ද හාමුදුරුවෝ එක්ක දිගටම බෝදි පූජා කරා. අයියාට පස්සේ අක්කාට. අක්කාට පස්සේ මට. අම්මාගේ බෝදි පූජා දිගටම ගියා. අපේ ගෙදර හන්තානේ නිසා ගෙදර ඉදන් බලනකොට මාලිගාවේ රත්තරන් වහලේ පේනවා. එදා අම්මා ප්‍රාර්ථනා කරේ අපි තුන්දෙනා හොදින් ඉගනගෙන ලෝකේ කොහේ හරි සතුටින් ඉන්නවා දකින්ඩ ආසයි කියලයි. අම්මා කවදාකවත් කියන්නේ නෑ, අපි වයසයි, අපිට තනියම වැඩ කරගන්ඩ බෑ, ඔයාලා ඇවිත් මාවයි අප්පච්චිවයි බලාගන්ඩ කියලා.
ඒත් මට හිතෙනවා දැන්නම් අම්මා ජනේලෙන් මාලිගාව දිහා බලන් අපි තුන්දෙනා ඉක්මනට අම්මයි අප්පච්චියි බලන්ඩ එයි කියලා ප්‍රාර්ථනා කරනවා ඇති කියලයි. මට මතකයි මම AFS Scholarship එකට දාපුහාමත් අම්මා මාව දේවාල හතරටම එක්ක ගියා. මල් පූජා කරලා කපු මහත්තයාට “කාරනාව” කීවාම, කපුමහත්තයා ඕන් රූන් රූන් රූන් කියලා මගේ නමත් ඒ අතරටම අමුනලා “අචලා ගුණසේකර දියණියට මේ ශිෂ්‍යත්වය ලැබේවා ලැබේවා ලැබේවා” කියලා කීවා. මම ඉතින් අම්මාගේ ලගින් වාඩිවෙලා වැදගෙන,”ඔය තිරය එහා පැත්තේ මොනවද දන්නේ නෑ තියෙන්නේ” ඒ කාලේ දැන් වගේ එච්චරම ඇපල් තිබ්බේ නැති නිසා “පූජා වට්ටිය කපු මහත්තයා අපිට දෙනකොට ඇපල් ගෙඩිය තියෙයිද” කියන සිතිවිලි හිතේ පුරවාගෙන වැදගෙන හිටියා.
ඉතින් නුවර පෙරහැර සහ අපේ අප්පච්චි ගේ අට්ටාල විප්ලවය කියලා මේකට නම දැම්මේ මෙන්න මේ පහල හේතුව නිසයි. ඉස්සර නුවර පෙරහැරට මාලිගාව ඉස්සරහා මහමළුවේ ලොකුවට සීට් දාලා ඒවා ලොකු ලොකු ගනනට විකුනනවා. ඒකට කීවේ, “පත්තිරිප්පුවේ අට්ටාල” කියලයි. පලවෙනි රන්දෝලි පෙරහැර දවසට ජනාධිපති, අගමැති, ඇමතිලා, මංත්‍රීලා, සහ ආංඩුවේ ලොකු ලොකු අය එයාලාගේ පවුල්වල කට්ටිය එක්ක ඒ සීට් වල වාඩි වෙලා පෙරහැර බලනවා. හැම අවුරුද්දේම පෙරහැර ලන් කරලා ලස්සනට තියෙන මහමලුවෙ වලවල් හාරලා සීට් ගහනවා. පෙරහැර ඉවර උනාම, සති ගනන් බාගෙට ගලවපු සීට් වැස්සට තෙමිලා මහමලුව පිස්සන් කොටුවක් වෙනවා. ඉතින් ඕකට අපේ අප්පච්චි හරිම විරුද්ධයි.
ඉස්සර හිටපු දියවඩන නිලමේ තමා විජේරත්න අංකල් (නිශ්ශංක ව්ජේරත්න දියවඩන තුමාගේ අප්පච්චි) ඒ කාලේත් වැව රවුමේ කාර් රේස් තිබ්බා. මට මතකයි විජේරත්න අංකල් සහ එයාගේ පවුලේ අයත් එක්ක අපි තුන්දෙනයි, අම්මයි, අප්පච්චියි මාලිගාවේ ඉදන් කාර් රේස් බැලුවා. අපේ අප්පච්චි දවස වගේ පත්තර වලට සතියකට වරක් “අට්ටාල” ගැසීමට විරුද්දව බොහෝම සැරට ලියනවා. ඒවා කියවන අය අප්පච්චිට “නියමයි… නියමයි” කියලා තව තවත් උනන්දු කරනවා. ඉතින් අප්පච්චිත් තව තවත් සැරට “අට්ටාල” business එකට විරුද්ධව ලියනවා. දවස පත්තරයත් ඒවා පල කරනවා. අප්පච්චි හැමදාම කීවේ “අට්ටාල” ගසා මුදල් ඉපයිමේ ක්‍රමය වැරදි දෙයක් කියලයි. මම ඒ කාලේ දෙකේ තුනේ වගේ හිටියේ. ඉතිං මගේ ආසාව උනේ නම් අප්පච්චිට හම්බ වෙන ටිකට් වලින් ගිහින් අනිත් ලොකු ලොකු අයත් එක්ක එකට වාඩි වෙලා පෙරහැර බලන්ඩයි.
ඉතිං එක පාරක් අප්පච්චි කීවා අපිට පෙරහැර බලන්ඩ යන්ඩ ලැහැස්ති වෙන්ඩ කියලා. අපි ඉතිං ආසාවෙන් ලැහැස්ති උනා. මට ටිකක් මතකයි අම්මා අප්පච්චිට කියනවා, “ඕන විප්ලවයක් කරගන්ඩ” කියලා. හැබැයි අම්මා මස්ටඩ් ක්‍රීම් ගාලා sandwiches හදලා දුන්නා. අපි පාරවල් වහන්ඩ කලින් ටවුමට ගිහින් අප්පච්චි කාර් එක අර නුවර YMCA/Commercial Bank එකේ petrol shed එක ලග පාක් කරලා අපි මාලිගාව පැත්තට ඇවිදින් ගියා. අපි ගියේ ඒ අට්ටාල ගහල තියෙන පැත්තට. මට ඉතිං හරි සතුටුයි, මොකද ඔය අට්ටාල හරියෙන් යනකොට නැට්ටුවොත් ලොකු ලොකු කරනම් ගහලා ලස්සනට නටනවා. පෙරහැරේ හොදම කෑලි ඒ හරියේදි තමයි බලගන්ඩ පුලුවන්. අපි මෙහෙම ඇවිදන් ගිහින් අප්පච්චි එක තැනකදි නැවතුනා. අට්ටාල ඉවරවෙන තැනයි සාමන්‍ය පාරේ වාඩිවෙලා පෙරහැර බලන මිනිසුන් අතරේ අඩි විස්සක විතර නිකන් හිස් ඉඩ ප්‍රමානයක් වෙන්කරලා තිබ්බා. අප්පච්චි අපිව අරන් ගියේ ඒ තහනම් කොටසේ ඉදන් පෙරහැර බලන්ඩයි. මට නම් ඉතින් චුට්ටක් ලැජ්ජාත් හිතුනා. ඒ ලග පාරේ හිටිය අයටත් අප්පච්චි කීවේ, “එන්ඩ එන්ඩ මෙහෙ තව ඉඩ තියෙනවා” කියලයි. ඉතිං තෙරපි තෙරපි හිටපු ගෑනු පිරිමි ලමයි එක්ක අර තහනම් කෑල්ලට ඇවිත් ඔන්න පෙරහැර බලන්ඩ ලෑස්ති වෙලා ඉන්නවා. මම ඉතිං අපරාදේ ආවේ කියලා හිත හිතා දාඩිය දාගෙන ඒ මිනිස්සු අතරේ තෙරෙපි තෙරෙපි ඉන්නවා. ටිකකින් කකුල් රිදෙන නිසා බිම වාඩි උනා. අක්කයි අයියයිත් වටපිට බල බලා ඉන්නවා. ඔන්න එතකොටම පොලිස් කාරයෙක් ඇවිත් කියනවා, “මේ කොටසේ ඉන්ඩ තහනම්. සල්ලි ගෙවලා බලන අයගේ ආරක්ෂාවට මෙතන ඉඩ තියන්ඩ ඕන. ඔය අය මෙතන ඉඩ තියලා වහාම එහාට යන්ඩ” කියලා. අපේ අප්පච්චි, “රාලහාමි, එහෙම කියන්නේ කොහොමද, ලොකු ලොකු අය සල්ලි ගෙවලා ටිකට් ගත්තාට හැමෝටම සල්ලි නෑනේ ඒ සීට් වල ඉදන් පෙරහැර බලන්ඩ. ඇයි සල්ලි වලට පෙරහැර විකුනන්නෙ.” කීවා. රාලහාමිට හොදටම කේන්ති ගිහින් අපි ඔක්කොලාටම සැර දැම්මා. ඒත් අප්පච්චි අනිත් අයට කීවේ යන්ඩ එපා, අපි විරෝධය පලකරලා මෙතනම ඉදලා පෙරහැර බලමු කියලයි. ඔන්න ඉතින් ටිකක් වෙලා යනකොට ලොකු පොලිස් කාරයෙක් එනවා අස්සයා උඩ. අස්සයා දත් එහෙමත් පෙන්නලා සද්ද දැම්මා අපිට. එක රාලහාමි කෙනෙක්, “ඔය කට්ටිය arrest කරන්ඩ වෙනවා” කියලා කීවා. මට එතකොට නම් බයත් හිතුනා. මට මැවිලා පෙනුනා විජය කුමාරණතුංග හිරේ ඉන්න ෆිල්ම් වල කෑලි. මම අඩන්ඩ පටන් ගත්තා. අක්කා මාව ලන්කරන් “නංගි අඩන්ඩ එපා” කිවා. අප්පච්චි රාලහාමිලාට කීවේ “අපි යන්නේ නෑ, අපි අට්ටාල ගහලා සල්ලි හම්බකරන ක්‍රමයට විරුද්ධයි කියලයි.” කොහොම හරි අප්පච්චියි අපි තුන්දෙනායි තව එතන හිටපු සාමාන්‍ය මිනිසුන් එක්ක දිගටම උද්ඝෝෂණය ගෙනිච්චා. පෙරහැර ඉවර උනාම අපි petrol shed එකට පයින් ගිහින් කාර් එකේ නැගලා ගෙදර ගියා. අට්ටාල ගැසීම අවුරුද්දකින් වගේ නැවතුනා. අප්පච්චිගේ අට්ටාල විප්ලය ජයග්‍රහනය කලා.
එදා ඉදලා රට ජාතිය බේරගන්ඩ විප්ලව කරපු අප්පච්චි අදත් ඒ විප්ලව ගෙනියනවා. අප්පච්චිගේ කෙලින් කතා කිරීම නිසා ලොකු ලොකු අය ගොඩ දෙනෙක් අප්පච්චි එක්ක තරහා උනා. මාලිගාවේ ඉදන් වැව වටේ කාර් රේස් බලනවා වගේ විශේෂ වරප්‍රසාද ගොඩාක් අඩු උනා. අප්පච්චිගේ ලියන මේසයට, උන බට වලින් හදපු table lamp එකට, 1974 ඉදන් අතේ බදින ලා නිල්පාට Seiko ඔරලෝසුවට එහෙම කතා කරන්ඩ පුලුවන් නම් කොච්චර කතා කියයිද? මම වයස 17න් ලංකාවෙන් ගිහින් ඉදහිට ඉදහිට ලංකාවට ගියත්, අම්මයි අප්පච්චියි කීප වරක්ම අපිව බලන්ඩ ආවා. ඒත් දැන් මට වයස පනහ පැනලත් තාමත් අපි හැතැප්ම දස දහසක් ඈත. සමහර වෙලාවට අහස දිහා බලන් “මේ අහසම නේද අම්මටයි අප්පච්චිටයිත් පේන්නේ” කියලා මම ආසාවෙන් අහස දිහා බලන් ඉන්නවා. ඒ කාලේ යොවුන් ආදරේට ලියපු සිංදු මට අද ඇහෙන්නේ ඈත ඉන්න අම්මයි අප්පච්චියි මට කියන සිංදු වගේ. අසූ වෙනි උපන් දිනයට අපි ඔක්කොම එකතු උනා. ඒ උනාට මේ අවුරුද්දේ උපන් දිනේට නම් එන්ඩ ලැබෙන්නේ නෑ. ඒ කෙසේ උනත්, මේ සංසාර ගමනේ මම හැමදාමත් අම්මාගේත් අප්පච්චිගේත් චූටි වේවා කියන ප්‍රාර්ථනාවනම් එදා වගේම අදත් තියෙනවා.
අපිට ඉන්න තැනක සංතෝසෙන් පරෙස්සම්න් ඉන්ඩ කියලා කොයි වේලේත් කිවත්, අප්පච්චිත් ගෙදර ජනේලෙන් මාලිගාව දිහා බලන් හිත යටින් අපි තුන්දනා ඉක්මනින් දකින්ඩ ලැබේවා කියලා කොච්චර ප්‍රාර්ථනා කරනවා ඇත්ද. ඉතින් අප්පච්චි, එදත් අදත් රට ජාතිය ආගම වෙනුවෙන් සටන් කරන අපි වෙනුවෙන් කැපවීම් දහසක් කල (අදටත්) ඔබට සුභ උපන් දිනයක් අපි ප්‍රාර්ථනා කරනවා!
-අචලා ගුණසේකර
Reference: අසූ වෙනි උපන් දිනය: Under the shadow of Lakegala | ලකේගල පාමුළ