Spread the News

මහසෙන් නමට
මහ විරෝධ

ශ්‍රේෂ්ඨ රජතුමකුගේ නමක්‌
කුණාටුවකට යෙදීම ලැඡ්ජයි

source:
අජිත් අලහකෝන්

නැගෙනහිර ප්‍රදේශයේ පසුගියදා හමාගිය සුළි කුණාටුවට “මහසෙන්”Êයන නම යොදා ඇත්තේ 2003 දී ශ්‍රී ලංකාව කළ යෝජනාවකට අනුව අන්තර්ජාතික කමිටුවකින් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

ව්‍යසනකාරී හා පීඩාකාරී සුළි කුණාටුවකට “මහසෙන්” යන නාමය යෙදීම ලැඡ්ජාවට කරුණක්‌ යෑයි කියමින් රට පුරා මේ දිනවල දැඩි විරෝධතාවක්‌ එල්ල වෙමින් තිබේ.

මහසෙන් යනු මින්නේරි දෙවියන් නමින් ශ්‍රී ලාංකිකයන් සලකන ශ්‍රේෂ්ඨ රජතුමකු නිසා සුළි කුණාටුවට “මහසෙන්” නම භාවිත නොකිරීමට ඉදිරියේදී වගබලා ගන්නැයි සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා ද ඊයේ (13 දා) ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්වරියට උපදෙස්‌ දී ඇත.

ඒ අනුව මහසෙන් යන නම සුළි කුණාටු නම් ලැයිස්‌තුවෙන් වහා ඉවත් කරන ලෙසට ඒ පිළිබඳ වූ අන්තර්ජාතික කමිටුවට දැනුම් දෙන ලෙස ඇමැතිවරයා ලේකම්වරියට පවසා ඇත.

ලෝක කාලගුණ විද්‍යා සංගමයත් ආසියානු පැසිපික්‌ ශාන්තිකර සාගරයේ ආර්ථික කොමිසම සාමාජිකත්වය දරන බෙංගාල බොක්‌ක හා අරාබිය ආශ්‍රිත සුළි කුණාටු පිළිබඳ කමිටුව විසින් “මහසෙන්” යන නම පසුගියදා නැගෙනහිර ප්‍රදේශයේ හමාගිය සුළි කුණාටුවට යොදා ඇත.

එම කමිටුව විසින් කළ ඉල්ලීමකට අනුව 2003 වසරේදී සුළි කුණාටු සඳහා නම් අටක්‌ ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්‌ “දිවයින” ට පැවසුවේය.
ශ්‍රී ලංකාව මෙන්ම ඉන්දියාව, මාලදිවයින, පාකිස්‌තානය, තායිලන්තය, බුරුමය ආදී රටවල් ද මෙසේ සුළි කුණාටු සඳහා නම් ඉදිරිපත් කර ඇත.

මාලා, රශ්මි, බන්දු, මහසෙන්, ප්‍රියා, ආසිරි, සෝබා යන නම් ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් කර ඇති අතර මින් පෙර හමා ගිය සුළි කුණාටුවක්‌ “බන්දු” යන නමින් නම් කළ බව ද ඉහත නිලධාරියා කීය.

මෙවර ද ශ්‍රී ලංකාවේ නමක්‌ යෙදීමට වාරය ලැබුණු නිසා ජාත්‍යන්තර කමිටුව “මහසෙන්” යන නම ඊට යොදා ඇතැයි ද ඉහත නිලධාරියා කීය.

මින්නේරි දෙවියන් නමින් ජනතාව අතර ප්‍රසිද්ධ මහසෙන් රජුගේ නම ව්‍යසනකාරී හා පීඩාකාරී සුළි කුණාටුවක්‌ සඳහා යොදාගැනීම පිළිබඳ මේ වන විටත් රටේ විවිධ මට්‌ටමේ පුද්ගලයන් සහ සංවිධානවලින් විරෝධතා මතුවන බව ද එම නිසා මෙම නම වහා ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ද ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇත.