Sat. Jan 18th, 2025
Spread the News

මහින්දගේ ඡන්ද වැඩ කඩාකප්පල් කරන්න
මා අත්අඩංගුවට ගන්න හදනවා
– බස්‌නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග

චමින්ද සිල්වා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය කඩාකප්පල් කිරීම සඳහා තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක්‌ පවතින බව බස්‌නාහිර පළාත් ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (02 දා) පැවැසීය.

එහි එක්‌ පියවරක්‌ ලෙස පෞද්ගලික ගනුදෙනුවක්‌ සම්බන්ධයෙන් සිය බිරිඳව ඊයේ (02 දා) පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසයට කැඳවා පැය 08 ක්‌ ප්‍රශ්න කළ බව ද හෙතෙම කීය. එහි තවත් පියවරක්‌ ලෙස අද හෝ හෙට තමාවද මූල්‍ය අපරාධ කොට්‌ඨාසයට කැඳවා බන්ධනාගාරගත කිරීමට සැලසුම් කර ඇතැයි ද ඊයේ සවස සිය නිල නිවෙසේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

ජනවාරි 08 වැනිදා මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය වීමෙන් පසුව පත්වූ යහපාලන ආණ්‌ඩුව ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‍ෂිකයන්ට තාඩන පීඩන කරමින් බන්ධනාගාරගත කරමින් හැසිරෙන බව ද හෙතෙම කීය.

තමා මහ ඇමැති ධුරයෙන් ඉවත් කිරීම සඳහා නොයෙකුත් උත්සාහයන් දරා එසේ කර ගැනීමට නොහැකි වූ තැන තමාට නිශ්ශබ්දව සිටින ලෙස කී බවත් එසේ නොකිරීම නිසා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටින බවත් ඔහු කියා සිටියේය.

තමාගේ වසර 23 ක දේශපාලන දිවිය තුළ මෙතෙක්‌ කිසිදු අල්ලස්‌ හෝ දූෂණ චෝදනාවක්‌ එල්ල වී නැතැයි ද ඒ නිසා පෞද්ගලික ගනුදෙනුවක්‌ මුල්කර ගෙන මෙලෙස අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරන බව ද කීය.

මොන චෝදනා එල්ල කළ ද මහින්ද රාජපක්‍ෂ මහතා එක්‌ව මෙම ආණ්‌ඩුව පරාජය කර නව රජයක්‌ බිහිකිරීමට කටයුතු කරන බව ද පැවැසීය.

Protected by Security by CleanTalk